සතාගෙ තැනට අපි ඇවිල්ලා ඌට හිරිහැරකරගෙන ජීවත්වෙනවට වැඩිය අපි පරෙස්‌සම්වෙන්නයි හැම තිස්‌සෙම බලන්නේ



පුළුවන් කාලෙ ළඟ හිටපු කිසි කෙනෙක්‌ ආවෙ නැහැ සර් අපිව බලන්න. අපි කෑවද කියල බලන්න කෙනෙක්‌ නැතිවුණා. ඒ දවස්‌වල මට සල්ලි තිබුණු කාලෙ සමහර නෑදැයො හිටියා මේ දරුවො දෙන්නව නොදැක නින්ද යන්නෙ නෑ කියලා රෑ දවල් නැතිව හොයාගෙන ආපු අය. අපිට බැරිවෙද්දී එහෙම කියපු කිසිකෙනෙක්‌ අපි මැරුනද කියලවත් බැලුවේ නැහැ සර්. මට මේ සමාජය ගැන පුදුම කලකිරීමක්‌ තියෙන්නේ. ඒ දවස්‌වල අපි තුන්දෙනාම එකතුවෙලා උදේ හවස කොහොඹ කොළ, වෙනිවැල්, කහ දාලා වතුර රත්කරලා නානවා. අපිමයි සර් අපේ වැඩ සේරම කරගත්තේ. මම මගේ ආගමේ හැටියට යේසුස්‌ වහන්සේගෙන් උදව් ඉල්ලුවා. වෙන මට කරන්න දෙයක්‌ තිබුණේ නැහැ. කොහොම හරි ඔහොම ගිහින් අවුරුද්දකින් එකහමාරකින් විතර අපිව සම්පූර්ණයෙන්ම සනීප වුණා. 




| ඉන්ද්‍රජිත් සුබසිංහ



ඇගේ කථාව 'චිත්‍රපටි' කථාවකි. විටෙක ඒ ජීවිතය රෝස මල් යහනාවක්‌ විය. තවත් විටෙක කටු පඳුරු අතර පැටලී ඒ දිවිය නන්නත්තාර විය. දෛවය විසින් ජීවිතයක්‌ මේ තරම් පරාසයක විසි කරයිද? ඇගේ ජීවිතය චිත්‍රපට එකක්‌ නොව, චිත්‍රපට මාලාවක්‌ නිපැවුමට තරම් සිදුවීම් වලින් පොහොසත්ය. එහෙත් ඒ ජීවිතය මේ මොහොතේ ආර්ථිකය අතින් අන්ත දුප්පත්ය. මෙයට වසර 8 කට එපිට ඇමෙරිකාවේ ජීවත් වූ, මෙයින් සිව් වසරකට පමණ එපිට මෙරට 'දෙයියනේ කියා' කරදරයක්‌ නැති ජීවිතයක්‌ ගතකළ ඇය, මම මේ ලියන මොහොත වන විට පුල්මුඩේ නැමැති දුෂ්කර ගම් පෙදෙසේ පැල්පතක අලි එලවමින් සිටින්නීය.


සිතාගත හැකිද දෛවයේ සරදම්හී රඟ...


එදින ඇයත්, පුංචි වයසේ අහිංසක දියණියත්, දඟකාර හුරුබුහුටි කොළු පැටවාත් ඇමරිකාවේ සුර ලෝකයෙන් ගිලිහී පුල්මුඩේට කඩාපාත්වූ තැන ඉදිකරගත් පැල් කොටයේ අපගේ පැමිණීම බලාපොරොත්තුවෙන් රැඳී සිටියේය.


අප මඟ සොයාගෙන ඒ ඉසව්වට යන විට ගිණිගහන අව්වෙන් හාත්පස කැකෑරෙමින් තිබිණි. කෝකිලායි කලපුව හෙවත් මුලතිව් දිස්‌ත්‍රික්‌ මායිම පෙනෙන මායිමේ පිහිටි ඇගේ 'දුප්පත් මාලිගයේ' දිස්‌නය අපේ ඇස්‌ නිලංකාර කළේය. ඒ එය රනින්, රිදියෙන්, කිරි ගරුඬින් සැදුණ නිසා නොවේ. එහි බිත්ති වලින් භාගයක්‌මද, වහලද අලුත් ටකරන් තහඩුවලින් සැදී තිබූ නිසාය.


මෙවන් අවුකාෂ්ඨකයක මෙලෙස තැනුණු නිවසක සිටීම මොනතරම් කායික පීඩා ගෙනදෙන්නක්‌දැයි සිතාගත හැකිය. ඒ සා කායික පීඩා, චිත්ත පීඩා, ආර්ථික පීඩා දරාගනිමින් වුව ඇයත් දරු දෙදෙනාත් හදවතින් නැගුණු සිනහවෙන් යුතුව අප පිළිගත්තෝය.


'එන්න සර්¨. මේක තමයි මගේ මාලිගාව. දිස්‌ ඉස්‌ මයි පැලස්‌'


ඇය ඒ රැඳුණු සිනහවට තවත් පණ දෙමින් සරදමක්‌ කරන ස්‌වරයෙන් පැවසුවාය. එහෙත් ඒ සරදම ඇගේ දෛවයටම බව මට හැඟුණි.





මහජන බැංකුව - පුල්මුඩේ
චන්ද්‍රිකාගේ බැංකු ගිණුම් තොරතුරු - මෙසේය.
ඒ.වී.සී ගුණවර්ධන, අංක 352200140004821
දුරකථන අංකය- (+94) 713626182



'මේ දෙන්නට පන්සල් යන්න ඕනෙය කියලා අපි පන්සල් යන්නයි ලැහැස්‌ති වුනේ. අපි හිතුවා සර්ලා පරක්‌කු වෙයි කියලා'


ඇය ආගමෙන් කතෝලිකය. දරු දෙදෙනා බෞද්ධය. එහෙත් ටික කලකට පෙර මේ සියලුදෙනා මුස්‌ලිම්ය.


එකල ඒ දියණිය නෆාසා නම් වූවාය. පුතු ෆයිසාල් නම් විය. අද දියණියගේ නම සමාධිය. පුතුගේ නම චමල්කය. එහෙත් අම්මා විසින් පුතුව අමතනුයේ ඇන්ඩෲ නමිනි. දුවව අමතනුයේ එලිසෙබත් නමිනි. සැබැවින්ම ඒ ඇගේ මව සහ පියාගේ සැබෑ නම්ය. තම දෙමාපියන් සිහිවනු වස්‌ එලෙස තම දරුවන් අමතන ඇය අමුගොඩ විදානෙලාගේ චන්ද්‍රිකා ගුණවර්ධනය.


දෛවයට අනුව ඔවුන් සියලුදෙනා සර්ව ආගමික, සර්ව භාෂා පසුබිමක උරුමක්‌කරුවෝය. තිදෙනාටම අපූරුවට සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම කථා කළ හැක.


එවැනි හැකියාවක්‌ ඔවුනට ලැබුණේ කෙසේද ? ඇමරිකාවේ සිට ඔවුන් පුල්මුඩේ නම් මේ දුෂ්කර ගම් පියසක අලියා- සර්පයා සමඟ ජීවත්වන්නට යෙදුනේ කෙසේද යන්න මේ වන විට ඔබට මහා කුතුහලයක්‌ වනු නියතය.


මේ ඔවුන්ගේ කථාවයි.


ඇගේ කථාව චිත්‍රපටි මාලාවකට ප්‍රස්‌තුථයකැයි අපි පෙර සඳහන් කළෙමු. ඒ කථාවේ සියලු පරිච්ඡේද සටහන් කිරීමට නම් පත්තරයේ එක්‌ පිටක්‌ නොව පත්තර ගණනාවක්‌ අවශ්‍ය වනු ඇත. එබැවින් ඇගේ කථාවේ මුල් පරිච්ඡේද කිහිපයක්‌ ප්‍රායෝගික සහ මානුෂික හේතූන් මත කපා දැමීමට සිදුවිය. වර්තමානයට වඩාත් ආසන්න සිදුවීම් මාලාව පමණක්‌ මෙසේ සටහන් කරමු.


තම පවුලේ උදවිය සමඟින් පුල්මුඩේ හැදුණු වැඩුණු චන්ද්‍රිකාට තම අසල්වැසි මුස්‌ලිම්, දමිළ ආශ්‍රයෙන් දෙමළ භාෂාව හොඳින් කථා කළ හැකි විය. කුඩා කල සිට නොදන්නා ඉංග්‍රීසි වචනයක්‌ ඇසුනොත් එහි තේරුම දැන ගැනීම පිණිස ශබ්ද කෝෂය අතතබාගෙන සිටීම පුරුද්දක්‌ වූ ඇය මහත් පිපාසාවෙන් ඉංග්‍රීසි බසද උගෙන සිටියාය. එහෙත් අනෙකුත් විශේෂ අධ්‍යාපන සුදුසුකමක්‌ නොවූ බැවින් 1997දී ගෘහ සේවය පිණිස ලෙබනන් රටට යන්නේ ජීවිතයට සැමදාම පරදින්නට ඉඩ දිය නොහැකි නිසාය. එහෙත් ඇයට ලෙබනන්හී තමන් රැඳුණු නිවසින් කෑම බීම ටිකවත් හරිහැටි නොලැබුණේය. දිනෙක ඇය තීරණයක්‌ ගෙන ගෙදරින් පැනගත්තේ පැනගැනීම හැරුණු විට අන් කිසිදු තීරණයක්‌ නොමැතිවය. නිවසින් එළියට පැනගත්තද ඉන් එහා ලෝකයක්‌ ගැන ඇය නොදත්තාය. ඇය අන්ත අසරණ වුණි. ජීවිතය මහා හෙලකට වැටෙමින් තිබෙන අයුරේ බියක්‌ දැනුණු මොහොතක පිදුරු ගහෙත් එල්ලෙන මානසිකත්වයක සිටියදීය ඇයට ඔහු හමුවන්නේ. ඔහු සූඩාන ජාතිකයෙකි. ඒ වන විට ඔහුට එක්‌සත්ජාතීන්ගේ සරණාගතභාවය හිමිව තිබුණි. එක්‌සත්ජාතීන්ගේ සරණාගතභාවය හිමිවීම යනු ආර්ථිකයෙන් යහපත් රටකට 'වීසා' ලැබීමක්‌මය. ඒ වන විට විදේශ ගමන් බලපත්‍රය, වීසා ආදී පිටරටක රැඳී සිටීම සඳහා අත්‍යවශ්‍ය කිසිවක්‌ තමන් අත නොතිබී චන්ද්‍රිකාට පිහිටක්‌ ලැබිය හැකිනම් ඒ එවැන්නකු වෙතින්ම පමණක්‌ විය.


'මට ඒ වෙලාවෙ වෙන කරන්න දෙයක්‌ තිබුණේ නැහැ සර්¨. මම හිත හදාගත්තා ඒ දෙයට. ඇත්තටම ඒ කෙනා ගාව මම අගයකරපු සමහරක්‌ හොඳගති තිබුණා. එයා මුස්‌ලිම් ජාතිකයෙක්‌ නිසා මට කිව්වා මුස්‌ලිම් ආගමට අරගෙන මාව බඳිනවා කියලා'


ඒ අනුව චන්ද්‍රිකාට, අබ්දුල් හයි නමින් යුත් මේ සූඩාන ජාතිකයා සමඟ විවාහ දිවියට පිවිසීමට සිදුවේ. ඒ අයුරින් අවුරුදු 2 ක්‌ පමණ සිටින විට දියණිය ඔවුන්ගේ පවුලට එකතු වූවාය. සටහන ආරම්භයේ දැක්‌වූ ලෙසින් ඇයට නෆාසා ලෙසින් නමක්‌ ලැබෙන්නේ එලෙසය. ඉන් වසරකට පමණ පසු හෙවත් 2000 වසරේදී මොවුනට එක්‌සත් ජාතීන්ගේ සරණාගතභාවයේ 'ආනුභාවයෙන්' ඇමරිකාවට (වොෂින්ටන් ස්‌ටේට්‌හී සියාටෙල්) යැමට අවස්‌ථාව හිමිවුණි. එහි ගොස්‌ වසරකට පමණ පසු මේ තිදෙනා සිව්දෙනෙකු කරමින් පුතුද පවුලට එකතුවිය. ඔහුට ෆයිසාල් නම ලැබුණේ එලෙසිනි.


සරණාගතයින් ලෙසින් සැලකීම හේතුවෙන් ඔවුනට ජීවත්වීම සඳහා අවැසි බොහෝ පහසුකම් ඇමරිකානු රජය විසින් සපයාදී තිබුණි. ජීවිත ඉතා සැහැල්ලු විය. 'රජයේ වියදමෙන්' ඔවුන්ගේ ජීවිත සුවසේ ගලාගියේය.


එහෙත් මේ අතර තවත් දෙයක්‌ සිදුවෙමින් පැවතුණි. චන්ද්‍රිකාගේ ස්‌වාමිපුරුෂයා ඇමරිකානු විරෝධී අයෙක්‌ බව සෙමෙන් සෙමෙන් ඇයට වැටහෙන්නට විය. ඇමරිකානු විරෝධී 'යටිකූට්‌ටු' වැඩ ඔහු අතින් සිදුවෙන බවක්‌ ඇයට දැනුණි.


කෙළෙහිගුණ දත් ඇයට මෙය කිසිසේත් නොරිස්‌සුවේය.


'ඇයි මනුස්‌සයෝ මෙහෙම කරන්නේ. මේ අපිට නිකම් කන්න බොන්න දීලා අපිව බලාගන්න රට. අපේ ජීවිතවලට සෙතක්‌ කරපු රට. අපි ගැන විශ්වාස කරලා අපිට ඉන්න හිටින්න දීපු රට. එහෙව් රටට ඇයි විරුද්ධකම් කරන්නේ. කෙළෙහි ගුණයක්‌ නැති වැඩ කරන්න එපා.....'


කන්න දුන් අත සපාකන ජාතියේ වැඩ ඇයට බලාගෙන සිටීමට නොහැකි විය. එහෙත් ඔහු එය කනකට නොගත්තේය. මෙය දෙදෙනා අතර අඬ දබර ඇතිකිරීමට හේතුවක්‌ විය. ඇමෙරිකානු විරෝධී මුස්‌ලිම් සටනේ පුරුකක්‌ වූ ඔහුට චන්ද්‍රිකාගේ මේ විරෝධය මහා වදයක්‌ බවට පත්විය. ඔහුට තම පවුලේ සමගියට වඩා තම ඇමරිකානු විරෝධී සටන වැදගත් විය.


මේ සඳහා කිසිදු බුරුලක්‌ තම භාර්යාවගෙන් නොලැබෙන විට ඔහු කෙමෙන් පවුලෙන් ඈතට ගියේය. එහි උච්චතම අවස්‌ථාවක ඔහු සිය භාර්යාව සහ දරු දෙදෙනා හැරදමා ඇලස්‌කාවට පැන ගියේය. එයට හේතුව එක්‌කෝ නිදහසේ තම කටයුතු කරගෙන යැමය. නැතිනම් තමා ඇමරිකානු ආරක්‍ෂක අංශවලට හසුවෙතැයි යන බියක්‌ විය යුතුය.


ඒ කෙසේ වෙතත් මේ මිනිසාට යහතින් සිටීමට අවස්‌ථාවක්‌ ලැබුණේ නැත. මොහුගේ හැසිරීම පිළිබඳ ඇස ගසාගෙන සිටි ඇමරිකානු රාජ්‍ය බුද්ධි අංශ විසින් මොහුව ඇලෙස්‌කාවේදී අත්අඩංගුවට ගත්තේය. එයට හේතුවී තිබුණේ ඇමෙරිකානු ලෝක වෙළෙඳපොළට ත්‍රස්‌තවාදී ප්‍රහාරය දා එයට සතුට පළකරමින් ඔහු විසින් ඊ-මේල් පණිවුඩයක්‌ සිය හිතවතකුට යවා තිබීමයි. එය බුද්ධි අංශවල උකුසු ඇසට හසුවේ යෑයි ඔහු කිසිවිටෙක නොසිතුවද ඔහු නොසිතූ සියල්ල සිදුව තිබිණි. මේ කිසිවක්‌ නොදත් ඔහු තමන්ව අත්අඩංගුවට පත්වීමත් සමග සිතුවේ සිය බිරිඳ විසින් ආරක්‍ෂක අංශ වලට තොරතුරු ලබාදී තමාව පාවා දී ඇති බවකි. බුද්ධි අංශ විසින් ප්‍රශ්න කිරීමේදී ඇලෙස්‌කාවට පැමිණීම සඳහා සාධාරණ හේතුවක්‌ දැක්‌වීමටද ඔහුට අවශ්‍ය විය. හැරත් යන යකා කොරහා බිඳගෙනම යන පරිද්දෙන් තම බිරින්දෑ කෙරෙහි හටගත් අසාධාරණ සැකයෙන් යුතුව ඇයට 'පහරක්‌' දීමටද ඔහුට අවශ්‍ය විය. එක ගලින් කුරුල්ලන් දෙදෙනෙක්‌ බිම දැමීමට සිතූ ඔහු (ඇලෙස්‌කාවට පැමිණීමට සාධාරණ හේතුවක්‌ සහ බිරිඳගෙන් පළිගැනීම) තමන්ට පවුල අතහැර ඇලෙස්‌කාවට පැමිණීමට සිදුවූයේ තම බිරිඳගේ නොමනා හැසිරීම් නිසා බවත්, ඇය බේබදු කන්තාවක්‌ බවත්, ඇය බීමතින් තමන්ට සහ දරුවන්ට හිරිහැර කරන බවත් එය ඉවසීමට බැරිම තැන තමන්ට මෙවැනි තීරණයක්‌ ගැනීමට සිදුවූ බවත් පැවසීය. තමන්ගේ හැරයැම කෙරෙහි හටගත් වෛරයෙන් යුතුව ඇය ආරක්‍ෂක අංශ වලට බොරු තොරතුරු දී ඇතැයිද ඔහු පවසා සිටියේය.


ඒ වන විට ඔහු කවුරුන්ද යන්න බුද්ධි අංශ වටහාගෙන සිටියද ඔහු විසින් බිරිඳට කරන චෝදනාව සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට කටයුතු යෙදිණි. ඒ සමඟම ඇයගෙන් ප්‍රශ්න කිරීමටද ඔවුනට අවශ්‍ය විය.


'දවසක අපේ ගෙදරට එකපාරටම එෆ්. බී. අයි එකෙන් ආවා. ඇවිත් මාව එක පැත්තකට අරගෙන ගියා. දුවව ගෙයි තවත් තැනකට අරගෙන ගියා. ගිහින් දුවගෙන් අහලා තිබෙනවා ඔයාගෙ අම්මා මත්පැන් බොනවද කියලා. ඒ අතරේ ඒ අය ගෙයත් පරීක්‍ෂා කළා මත්පැන් තියෙනවද කියලා දැනගන්න. දුව දීපු උත්තර වලිනුත් ගෙයි එහෙම මොකුත් නොතිබුණ නිසාත් අරයගේ චෝදනා බොරුවක්‌ කියලා ඒ අයට දැනුණා. ඒත් ඒ අය එයා හැසිරුණු විදිහ ගැන මගෙන් දිගට හරහට ප්‍රශ්න ඇහුවා. මට කිසිවක්‌ වසන් කරන්න පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. එයා මගේ මහත්තයා වුණත් ඒ වෙලාවේ හැටියට දරුවන් දෙදෙනා වෙනුවෙන් මට ඇත්ත කියන්න වුණා. ඒත් එයා කරපු ඒ වැඩ නිසා මට අනන්ත කරදර වෙන්න වුණා. මාව හිරේ දැමේමෙ නැතත් මට උසාවියට යන්න වුණා. එහේ උසාවිය හරිම සංකීර්ණයි සර්¨. සමහර වෙලාවට නීතිඥ මහත්වරු වටකරගෙන මගෙන් ප්‍රශ්න අහනකොට මම අන්ත අසරණ වෙලා මට කෑගහලා ඇඬුනා.


දරු දෙදෙනෙකු සමඟ තනිවූ ඇයට තම ස්‌වාමිපුරුෂයාගේ ක්‍රියා හේතුවෙන් ඉවරයක්‌ නැති මානසික පීඩා විඳගන්නට සිදුවිය.


'ඒත් මගෙ හිත දන්නවනේ සර් මම නිකමටවත් වරදක්‌ කළේ නැහැ කියලා. ඒ විශ්වාසය විතරයි මට තිබුණේ. අන්තිමේදි මගෙ වරදක්‌ නැහැ කියලා ඔප්පු වුණා. ඒ පරීක්‍ෂණ කරපු කණ්‌ඩායමේ ලොකු මහත්තයා අපේ ගෙදරට ඇවිත් කිව්වා චන්ද්‍රිකා ඔයාගෙ කිසිම වැරැද්දක්‌ නැහැ කියලා අපි දැන් දන්නවා. ඒත් ඔයාගෙ මහත්තයා ඔයා ගැන ගොඩක්‌ බොරු කිව්වා. ඒ නිසයි අපිට මෙහෙම කරන්න වුණේ කියලා'


'ඇත්තටම මට ඒ වෙලාවෙ හරිම දුකක්‌ ආවා සර්ග¨. මම ඒ මනුස්‌සයා වෙනුවෙන් ගොඩක්‌ කැපකිරීම් කළා. ඒත් අන්තිමේදි මට විඳින්න වුණේ එහෙම දේවල්'


චන්ද්‍රිකාගේ නිදොස්‌ බව ඔප්පු විය. එහෙත් ඇයට ඇමරිකාවේ පදිංචියට අවශ්‍ය 'ග්‍රීන් කාඩ්'පත නොලැබිණි. ඒ සිදුවීම් මාලාව ඇරඹීමට ප්‍රථම එය ඇයට ලැබෙන්නට ඔන්න මෙන්න කියා තිබුණද එම සිදුවීම් සමඟින් එය ඇගෙන් ඈතට ගියේය. ඇය නිවැරදිකාරියක බව ඔප්පු වුණිද ඇය පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් සිටීමට අදාළ අංශ වලට අවශ්‍ය වූ බැවින් විය යුතුය එසේ වූයේ. වසර දෙකක කාලයක්‌ බලා සිටියද ඇයට ග්‍රීන් කාඩ් නොලැබිණි.


මේ අතර කාලයක්‌ සිරකරුවෙක්‌ ලෙසින් සිටි චන්ද්‍රිකාගේ සැමියාට විරුද්ධව උසාවියේ නඩු ඇසිණි. තමන්ට කුමන වරදක්‌ කළද ඇය ඔහු බැලීමට උසාවියට ගියාය. සිරකරු ඇඳුම ඇඳ මාංචු පළඳවා ඔහුව රැගෙන එනු දුටු ඇයට ඉහිළුම් නැතිව හැඬුම් ආවේය. අවසානයේ ඔහුව ඇමරිකාවෙන් පිටුවහල් කෙරිණි. දරු දෙදෙනා සමඟ චන්ද්‍රිකා තනි විය. ඒ වන විට ඇය රෝගී උපස්‌ථානය පිළිබඳ පාඨමාලාවක්‌ හදාරා රැකියාවක්‌ ලෙසින් එය සිදුකර ඉතිරිකරගත් මුදලක්‌ විය. තවද ඇගේ අසරණභාවයට කරුණාවෙන් උපකාර කළ වයස්‌ගත අයෙක්‌ද විය.


වයස අවුරුදු තුනේ හතරේ පසුවන දරුවන් බලාගනිමින් රැකියාවක්‌ කිරීමට අපහසු බැවින්ද, ග්‍රීන් කාඩ් අවස්‌ථාව තමන්ට තවදුරටත් පමාවූ බැවින්ද ඇය දරුවන් සමග නැවත තම මව්රට බලා ඒමට තීරණය කළාය. තමන් එතෙක්‌ ඉතිරි කරගත් මුදල සහ තමන්ගේ අසරණභාවයට උපකාර කළ පුද්ගලයා තවදුරටත් උපකාර කරන බවට වූ පොරොන්දුව මත විශ්වාසය තබා ඇය ලංකාවට පැමිණියේ කරදරයක්‌ නැතිව දරු දෙදෙනා සමග ජීවත්වීමට හැකිවෙතැයි බලාපොරොත්තුවෙනි.


එසේ පැමිණි ඇයට මෙරට හැටියට ජීවත්වන්නට 'ඇති පදං' මුදල් තිබිණි. මොවුන්ට කරුණාව දැක්‌වූ පුද්ගලයාද මුදල් එවන්නට විය. ඇය තම අක්‌කා සහ ඥාතීන් වෙසෙන සිය මවගේ උපන් ගම වන මීගමුවේ පදිංචියට පැමිණියාය. නිවසක්‌ද ගොඩනගා ගත්තාය. කිසිදා මසුරු චරිතයක්‌ නොවූ ඇය අතදිගහැර තම ඥාති හිතවතුන් වෙනුවෙන් වියදම් කළාය. හතරපරම්පරාවම ගොඩ දැමීම ඇගේ අරමුණ විය. මේ අතර ඇය එකල ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්‌ඩායමක නියාමක ගායිකාව බවටද පත්වූවාය. සිංහල, ඉංග්‍රීසි සහ දමිල යන සියලු භාෂාවන්ගෙන් අපූරුවට ගී ගැයීම පිණිස ඇයට තිබූ හැකියාව විසින් ඇයට මේ අවස්‌ථාව උදා කරදී තිබිණි.


තම දරුවන් දෙදෙනාට භාෂා ප්‍රශ්නය මත මෙරට සිංහල මාධ්‍ය පාසලකට යෑවීමට නොහැකි වුවද ඇය ඔවුන්ව ජාත්‍යන්තර පාසලකට දමා ඉගැන්වූවාය. ජීවිතය කිසිදු උපද්‍රවයකින් තොරව ගලාගියේය. අත මිට සරු කල ඇය වටා අඩු නැතිව ඥාති හිතවතුන් රැස්‌විය. එහෙත් (ඇයට අනුව) මෙය ඉවසාදරා සිටීමට නොහැකි ඊර්ෂ්‍යාකාර පිරිසක්‌ද විය. ජීවිතය අනෙක්‌ පසට හැරෙන්නට පටන්ගත්තේය. පුතුට චර්ම රෝගයක්‌ වැළඳිණි. පසුව එය දියණියට බෝවිය. අවසානයේ චන්ද්‍රිකාද එම රෝගයට ගොදුරු විය. කිසිම ප්‍රතිකර්මයකින් එය සුවපත් නොවිණි. මේ වන විට ඇය තමන් ඉතිරිකරගෙන පැමිණි මුදලින් වැඩි පමණක්‌ තම ඥාතීන්ගේ අභිවෘද්ධිය පිණිස වැය කර තිබිණි.


සිදුවන විට සියල්ල සිදුවනවා යෑයි කියන්නට මෙන් මොවුන් වෙනුවෙන් ඇමරිකාවේ සිට මුදල් එවූ වියපත් තැනැත්තාද හදිසි අනතුරකට ලක්‌ව එකතැන් විය. එතැනින් 'ඇමෙරිකානු ආධාර' අහවර විය. මොවුන් තිදෙනාගේ රෝගී තත්ත්වය උත්සන්නවත්ම ඇගේ පොකට්‌ටුව හිඳී ගියේය. වෙනදා තමන්ගේ පිරිවර වූ පිරිස්‌ පැත්ත පළාතක නොආවේය. මේ අගහිඟකම් ඇරඹෙන අවදියේ ඇය ඉතා ආදරය කළ ඥාති පුතකුට විදේශ රැකියාවකට යැමට මුදල් හදිස්‌සියක්‌ හේතුවෙන් තම නිවස උගස්‌ කර මුදල් ලබාදීමට ඇය ක්‍රියා කර තිබිණි. එයද උගසට සින්න විය. මෙලෙස තමන් සතු සබ්බ සකලමනාවම සිඳී යද්දී රෝගය හේතුවෙන් මුළු සමාජයම මොවුන්ව පිළිකුල් කළේය.


'පුළුවන් කාලෙ ළඟ හිටපු කිසි කෙනෙක්‌ ආවෙ නැහැ සර් අපිව බලන්න. අපි කෑවද කියල බලන්න කෙනෙක්‌ නැතිවුණා. ඒ දවස්‌වල මට සල්ලි තිබුණු කාලෙ සමහර නෑදැයො හිටියා මේ දරුවො දෙන්නව නොදැක නින්ද යන්නෙ නෑ කියලා රෑ දවල් නැතිව හොයාගෙන ආපු අය. අපිට බැරිවෙද්දී එහෙම කියපු කිසිකෙනෙක්‌ අපි මැරුනද කියලවත් බැලුවේ නැහැ සර්. මට මේ සමාජය ගැන පුදුම කලකිරීමක්‌ තියෙන්නේ. ඒ දවස්‌වල අපි තුන්දෙනාම එකතුවෙලා උදේ හවස කොහොඹ කොළ, වෙනිවැල්, කහ දාලා වතුර රත්කරලා නානවා. අපිමයි සර් අපේ වැඩ සේරම කරගත්තේ. මම මගේ ආගමේ හැටියට යේසුස්‌ වහන්සේගෙන් උදව් ඉල්ලුවා. වෙන මට කරන්න දෙයක්‌ තිබුණේ නැහැ. කොහොම හරි ඔහොම ගිහින් අවුරුද්දකින් එකහමාරකින් විතර අපිව සම්පූර්ණයෙන්ම සනීප වුණා. දොස්‌තර මහත්වරුන්ට ලෙඩේ හොයාගන්න බැරිවුණත් අන්තිමේදි ඒ අය කිව්වේ අපි වැලේ දාපු රෙද්දකට බල්ලෙක්‌ගේ ඇඟේ තියෙන විෂබීජයක්‌ මුහුවෙලා ඒකෙනුයි මේක වුණේ කියලා. අපි ඒ වෙනකොට අවුරුදු ගණනාවක්‌ ඇමරිකාවෙ ඉඳලා අපේ හම ඒ දේශගුණයට හුරුවෙලා තිබුණු නිසා මේ දේශගුණයෙදි ඒ විෂබීජය පහසුවෙන් අපේ හමට ඇතුල් වෙලා කියලයි ඒ අය කිව්වේ'


ඒත් ඒ වින්නැහිය ගැන චන්ද්‍රිකා සිතන්නේ වෙනකකි.


'ඇමරිකාවෙ හිටපු මම ඔය මන්තර ගුරුකම් විශ්වාස කරපු කෙනෙක්‌ නෙමෙයි. ඒත් විශ්වාස කරන්න සිද්ධවුණා සර්. අපිට එකපාරටම මේ මොකද වුණේ කියල බලද්දී එක තැනකින් කිව්වා අපිට ඥාතියෙක්‌ම හූනියමක්‌ කරලා තියෙනවා. අපිව නැතිවෙලා, කුණුවෙලා, පාරෙ හිඟමනට වැටිලා, මැරිලා යන්නයි ඒ හූනියම කරලා තියෙන්නේ කියලා. ඇත්තටම ඒ කියපු දේවල් ඔක්‌කොම පිළිවෙළටම එහෙම සිද්ධවුණා සර්. කව්ද හිතන්නේ අපි හිටපු හැටියට මෙහෙම දෙයක්‌ වෙයි කියලා. ඒ නිසා මට දැන් ඒ දේවල් පිළිගන්න සිද්ධවෙලා තියෙනවා'


ධර්මයට අනුව එය ඇය සහ දරුවන්ගේ බරපතළ කර්ම විපාකයක්‌ වුවත් චන්ද්‍රිකා තමන්ට විඳින්නට සිදුවූ අත්දැකීම් ඇසුරින් එහි ස්‌වභාවය එසේ ගලපාගෙන සිටින්නීය.


තමන්ට විඳින්නට සිදුවූ මේ සියලු කටුක අත්දැකීම් හේතුවෙන් ඇයට මුළු මහත් සමාජයම එපා විය. ඇය දරු දෙදෙනා සමග සමාජයෙන් වසන්ව මීගමුවේ ජීවත්වෙද්දී හැංගී සිටින කොටි ගැහැණියක ලෙසින්ද සමාජය ඇයව හඳුන්වා දී තිබිණි.


භාෂා 3 ම චතුර ලෙස හැසිරවීමට ඇයට හැකිවුවද වයස ප්‍රශ්නය හේතුවෙන් ඇයට ආයතනයක රැකියාවක්‌ ලැබීම දුෂ්කර බව ඇය දැනසිටියාය. අවසානයේ ඇය මේ කුරිරු සමාජයෙන් ඉවත්ව තමන් හැදුණු වැඩුණු පුල්මුඩේ ගමට යැමට ඉටාගත්තාය. ඒ වන විට යුද ගිනිදැල් නිවී තිබුණද පුල්මුඩේ පොළොවේ යුද්ධයෙන් ශේෂවූ දෑ ඉතිරිව තිබුණේය. එය විටෙක ජීවිත හානියක්‌ කිරීමට තරම් බරපතළ 'යුද නශ්ඨාවශේෂ' විය. එහෙත් ඇය දැඩි තීරණයක්‌ ගෙන පුල්මුඩේට පැමිණියාය.


'කිව්වට විශ්වාස කරන්න සර් මම පුල්මුඩේට ඇවිත් බහිනකොට මගෙ අතේ රුපියල් දහයක්‌වත් තිබුණේ නැහැ. මේ ඉඩම් කැලෑ වැවිලා තිබුණේ. එහායින් අපේ අයියලාගේ ගෙදර තිබුණා. ඒ වෙනකොට මට කලකිරීම ඇරුණහම වෙන කිසිම බලාපොරොත්තුවක්‌ තිබුණේ නැහැ. මට කිහිපවිටක්‌ම හිතුනා මේ ඉස්‌සරහ තියෙන කොහොඹ ගහේ බෙල්ලෙ වැල දාගන්න. ඒත් අන්තිමේදි මම හිතුවා දරුවො දෙන්නෙකුත් තියාගෙන මම මොකටද බෙල්ලෙ වැලදාගන්නේ කියලා. මේ ගමේ මම දන්න අයනේ ඉන්නේ. ඒ අයගෙන් ඉල්ලගෙන කාලා හරි මම ජීවත්වෙනවා කියලා. නරක දෙයක්‌ කරන්නනෙ බය වෙන්න, ලැඡ්ජ වෙන්න ඕනෙ සර්. එහෙම නැතිව මට මැරෙන්න හේතුවෙක්‌ නෑනේ. නැද්ද ස්‌ර්....?


'හරියට හරි' මම කිව්වා නොවේ. මට එසේ කියවිණි. 'ඒ වෙලාවේ මගෙ හිතට මාර හයියක්‌ ආවා. මම කැත්තක්‌ අරගෙන මේ පඳුරු කපාගෙන කපාගෙන ගියා. මම හිතුවා තනියම පැල්කොටයක්‌ අටවගෙන පුළුවන් විදිහට මෙහේ ඉන්නවා කියලා' ඇය පිරිමින් සිය දෙනෙකුගේ ආත්ම ශක්‌තිය පරදන ජයවයකින් නැගී සිටියාය. කැලය කැපුවාය. යන්තම් වයස අවුරුදු 10 ඉක්‌මවූ, කුඩා කල කුමාර දිවියක්‌ ගත කළ චන්ද්‍රිකාගේ පුතු ඉතා උන්දුවෙන් ඇයට උදව් කළාය. අල්ලපු වත්තේ පිහිටි ඥාති නිවසේ රැඳී සිටිමින් ඒ කටයුතු සිදුකිරීමට අවස්‌ථාව සැලසුනත් එදා වේල සෙයාගැනීම පිණිස නොවිඳිනා දුක්‌ විඳින්නට ඔවුනට සිදුවිය.


'අනේ මගේ මේ දරුවා දෙවියන්ගේ දරුවෙක්‌ ස්‌ර්. මේ කොල්ලගෙ යටි පතුල්වල කටු සියගාණක්‌ ඇනෙන්න ඇති මට උදව්කරන්න ඇවිල්ලා. ඇත්තටම අපි ඉල්ලගෙන කන තැනට වැටුනා ස්‌ර්. සමහර දවස්‌ වලට බඩගින්නට මේ පාරෙ යන කෙනෙක්‌ගෙන් ඉල්ලගෙන කාපු දවස්‌ තිබුණා. අපි ඒ වගේ දුක්‌ වින්දා ස්‌ර්'


අතිශයින් සංවේදීව ඇගේ මුවින් ගිළිහුණු ඒ වදන් අවසානයේ ඇය එතෙක්‌ දරාගෙන සිටි සියලු වේදනාවන් මහා ඇඬුම් හඬකින් පිටකළාය.


අපටද නොදැනී එහි අප සියලු දෙනාගේද ඇස්‌ කඳුළින් තෙත්ව ගියේය.


වසර 6 කට එපිට ඇමෙරිකාවේ ජීවත් වූ ඇයට තවත් වසර හතරක පහක ඇවෑමෙන් පුල්මුඩේ වැනි පෙදෙසක කාගෙන් හරි යමක්‌ ඉල්ලාගෙන ජීවත්වන්නට සිදුවූ හැටි...


එහෙත් ඇගේ ධෛර්යය ලෙහෙසි පහසු නොවීය. ඇගේ වත්තට පසුපසට වන්නට පිහිටි අනුන්ගේ කුඹුරු ටික අලින්ගෙන් බේරාදීමේ කාර්යය ඈ පවරාගත්තාය. ගිණිපෙළි අලි වෙඩි රැගෙන මේ ගැහැණිය තනිව අලින් සමග සටන් වැදුනාය. වරෙක ඇය අලියකු එලවීමට අලි වෙඩි රැගෙන ගිය විටෙක ඇය අලියා නොදැක අඩි 10 ක පමණ පරතරයක අලියාට ලංවිය. ඇය එම සිදුවීම අපට කියද්දී ඇඟේ ලොමු දැහැගැන්විණි.


අම්මා සහ වල් අලියා හොඬවැල් දෙකතුනක පරතරයේ සිටිනු දුටු පුතු මහා හඬින් කෑ ගැසුවාය.


'ඒ කෑගැහිල්ලෙන් තමයි මම දැක්‌කේ ස්‌ර් අම්මා කෙනෙක්‌ව තම ඇස්‌ ඉස්‌සරහ මරණයකට ලංවෙනකොට දරුවෙකුට ඒක කොහොම දැනෙනවද කියන එක'


නමුත් ඒ මොහොතේ කොහේදෝ සිට පැමිණි බල්ලකු අලියා ඉදිරියට පැමිණීමෙන් අලියාගේ අවධානය එදෙසට හැරී චන්ද්‍රිකා පසුපස එලවනු වෙනුවට අලියා බල්ලා පසුපස එලවීම නිසා ඇය ජීවිතය ලද්දාය. ඇය එලෙස දිවි පරදුවට තබා රකින ලද කුඹුරු කැපූ විට කුඹුරකින් වී මිටිය බැගින් ඇයට 'ගාස්‌තු' ලැබිණි.


ඇය ජීවත්වූයේ එසේය. මේ අතරතුර චන්ද්‍රිකා තනිවම තම නිවස හැදීම ඇරඹීය.


කිසිවකුගේ පිහිටක්‌ උපකාරයකින් තොරව ඇය තනියම කැලයට ගොස්‌ කොටන් කපාගෙන පැමිණියාය.


'මම මේ ගෙදරට මුදුන් ලීය දාගත්තෙත් තනියම ස්‌ර්. ඒකෙ එක කොනක කඹයකින් ගැටයක්‌ දාලා කඹය ගෙයි මැද ලීයෙ 'වී' අකුරෙ හැඩයට කපාගත්ත ඉඩ ඇතුලෙන් දාලා ගෙයින් එලියට ගිහින් කඹේ අනික්‌ කොනින් ඇද්දා. ඇදලා මුදුන් ලීය වහළ මට්‌ටමට ආවට පස්‌සේ ඒ කඹේ අනිත් කොණ එලියේ ගැටගහලා ගිහින් ඉනිමඟ තියලා ඒක දිගේ උඩට නැගලා කරෙන් තල්ලු කරලා එක මැද ලීයක්‌ උඩින් මුදුන් ලීය තියාගත්තා. ඒ විදිහට අනිත් පැත්තත් තනියම තියාගත්තා. ඊට පස්‌සෙ මට මැදලීයයි මුදුන් ලීයයි වදින්න පරාල ඇණයක්‌ ගස්‌සවගන්න කෙනෙක්‌ හිටියෙත් නැහැ. මමම කල්පනා කරලා ගිනිගොඩක්‌ ගහලා පරාළ ඇණ ගිනියම් කරලා අඬුවකින් ඇණයත් අරගෙන මිටියත් අරගෙන තනියම ඉනිමග දිගේ උඩට නැග්ගා. නැගලා ඇණය තියලා මිටියෙන් ගැහුවා. කිසි කරදරයක්‌ නැතිව ඇණය කිඳා බැස්‌සා සර්'


මොහොතකට පෙර හඬාවැටුණු ඇය යළි වීරවරියක්‌ ලෙසින් කතා කරයි.


'මෙහේ ඇත්තෙන්ම බය අලියටයි, සර්පයන්ටයි. සර්පයො ගහන්න ගිහින් අනන්තවත් ජීවිතේ බේරගෙන තියෙනවා. පොඩි එකීව එක අතට අරගෙන අනිත් අතට කැත්ත අරගෙන සර්පයන්ට කොටලා බේරුණු වෙලාවල් තියෙනවා. ඒත් සතාගෙ තැනට අපි ඇවිල්ලා ඌට හිරිහැරකරගෙන ජීවත්වෙනවට වැඩිය අපි පරෙස්‌සම්වෙන්නයි හැම තිස්‌සෙම බලන්නේ'


'ඒ අතරේ අනික්‌ ඔක්‌කොටම වැඩිය මිනිස්‌සුන්ගෙන් බේරිලා ජීවත් වෙන්නත් එපෑ. ගෑණියෙක්‌ තනියම ජීවත්වෙනවා කියන එක ලෙහෙසි වැඩක්‌ නෙමෙයි සර්. ඒත් මම නම් ඒ ජාතියෙන් එන මොකෙක්‌වත් මායිම් කරන්නේ නැහැ. ඒවට යටවුණා නම් මට මෙතන මෙහෙම පැල්කොටයක නෙවෙයි සර් මාලිගාවක්‌ ගහන්න තිබුණා. මගෙ හැටි දන්නෙ නැති (බලය සහිත පිරිසක) එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ මම මෙහෙට ආපු අලුත පොඩ්ඩක්‌ මේ වටේ ගැවසිලා තිබුණා. අන්තිමේදි මම ගිහින් ඒ අයගේ ලොකුතැනටම කිව්වා මට යම් විදිහක බලපෑමක්‌ කළොත් මම ලියුමක්‌ ලියල තියලා දරුවො දෙන්නත් එක්‌කම ජීවිතේ නැතිකර ගන්නවා කියලා. ඊට පස්‌සේ කව්රුවත් ඒවට ආවෙ නැහැ. මම ජීවත්වෙන විදිහට මම හිතන්නෙ නැහැ කාටවත් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. මේ අවට ඉන්න ෙµdaසස්‌ වල ළමයි මට කියන්නේ 'ශක්‌ති අම්මා' කියලා සර්'


මේ අතර ඇය එම ධෛර්යයෙන්ම යුතුව තම දරුවන් දෙදෙනාව පුල්මුඩේ අවට පාසලකට යවා ඉගැන්වීමට උත්සහ ගත්තාය. ඔවුන් දෙදෙනා ඒ පරිසරයේ හොඳින් දෙමළ භාෂාව ඉගෙන ගත්තත් ඔවුන් එතෙක්‌ ලැබූ ජාත්‍යන්තර පාසල් අධ්‍යාපනයට අනුව මෙම අධ්‍යාපනය ඔවුනට ගැලපුනේ නැත. දියණිය ඉගෙනීමට ඉතාම දක්‍ෂය. පුතා දඟකාරය. එහෙත් හරිම ශ්‍රද්ධාවන්තය. ඔහු කුඩා කල පෙරභවය කියූවෙකි. භීෂණ සමයේ තමන් භිෂුවක්‌ බවත්, කැරළිකාර කණ්‌ඩායමක සමාජිකයකු තම කුටියේ සිට අසුවීමෙන් වරදක්‌ නොකළ තමන්වද ආරක්‍ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මරාදැමූ වගක්‌ ඔහු පුංචි වයසේදී නිතර කීවේය. අදටද පැවිද්ද ගැන මහා ඇල්මක්‌ ඇති මේ පිංවත් පෙනුමැති දරුවා අනාගතයේ දිනෙක තම මවගේ කැමැත්ත ලබාගෙන පැවිදි වෙන බව ඔහු පවසයි. (අපට මේ ලිපිය සඳහා පුල්මුඩේ යැම පිණිස මඟ කියූවේ ස්‌වාමීන්වහන්සේ නමකි. උන්වහන්සේ අපට පැවසුවේ මේ දරුවා ගැනය. මේ දරුවාගේ ශ්‍රද්ධාව ගැනය. අහම්බයකින් උන්වහන්සේව මුණගැසී ඉතා භක්‌තිමත්ව වන්දනා කරමින් ඉංග්‍රීසියෙන් උන්වහන්සේ සමග කතාකළ මේ දරුවා සසර පුරුද්දෙන් ධර්මයට ලැදි අයකු බව කියූ උන්වහන්සේ හැකිනම් මේ දරුවාට සෙතක්‌ සැලසෙන යමක්‌ කරන්නැයි ඉතා කරුණාවෙන් ඉල්ලීමක්‌ කළහ)


තමන්ගේ උපන් ආගම මුස්‌ලිම් වුවද, තම මවගේ ආගම කතෝලික වුවද මේ පුතු සහ දියණිය පන්සල් යන්නේ ඒ සසර පුරුද්දෙන්ය. මේ වන විට ඒ දරු දෙදෙනා නැවතත් මීගමුවේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබයි. කරුණාවන්ත මහතෙකු ඉදිරිපත්වී දියණියට සහ පුතාට ඉගෙන ගැනීමට උපකාර ලබාදේ. මේ අතර චන්ද්‍රිකා පුල්මුඩේ තම බිම සමඟ සටන්වදිමින් ජීවිතය ගොඩගැනීමට උත්සාහ කරයි. අද මේ තිදෙනා සතිය පුරා තුන් තැනකය. සමහර සතිඅන්ත වල ඔවුන් එකට මුණගැසේ. දරු දෙදෙනකුගේ අනාගතය ඇගේ හිස මත බරක්‌වී ඇත. ඇයට හෙට දිනය ගැන ඇත්තේ අතිශයින් අහිංසක බලාපොරොත්තුවකි.


'මට මහලොකු දේවල් ඕනෙ නෑ ස්‌ර්. මේ දරුවො දෙන්නව තැන තැන තියන්නේ නැතිව අපි තුන්දෙනාට එකට ජීවත්වෙන්න පුළුවන් විදිහට දෙයක්‌ යෙදෙනවා නම් එච්චරයි. සමහර දවස්‌ වලට පොඩි උන් කතා කරල අඬනවා. දරාගන්න බැහැ මහත්තයෝ. ඒත් ඒ අයට ආරක්‍ෂාව උපකාරය තියෙන තැනට මාත් වැටිලා තව කරදරයක්‌ වෙන්නේ කොහොමද ස්‌ර්. දූ ඉන්න තැනටනම් මම සමහර දවස්‌වලට ගිහින් වැඩපල ටිකක්‌ කරල දීලා එනවා. ඒත් මට ඕනෙ ඒ දෙන්නවම මගේ ළඟ තියාගෙන උගන්වන්න. පුතාව තව අවුරුදු කිහිපයක්‌ බලාගත්තොත් එයා ඉපැදුනේ ඇමරිකාවෙ නිසා එයාට ඇමරිකාවට යන්න පුළුවනි. දුවට ඉගැන්නුවොත් එයා හොඳටම ඉගෙනගනීවි. සල්ලි තියෙනවානම් මට පුළුවන් මෙහේ ඉඳලා ත්‍රීකුණාමලේ ඉස්‌කෝලවලට දාලා ඒ දෙන්නට උගන්නන්න. මට අද තියෙන ඔළුව එදා තිබුණේ නැහැ. ඒ නිසා මට වැරදුනා. ඒත් මේ දරුවන්ට වරදින්න දෙන්න බෑ. මේ අනන්ත දුක්‌ විඳගෙන මාත් එක්‌ක හිටපු රත්තරන් දරුවො දෙන්නෙක්‌ ස්‌ර්. දෙවියන්ගෙ පිහිටෙන් මේ දෙන්නට වරදින එකක්‌ නැහැ'


සැබැවින්ම එය එසේම විය යුතුය. පාඨක ඔබවැනි සංවේදී මිනිසුන් සිටින තුරාවට ඒ දරුවන්ට වැරදීමට ඉඩක්‌ නැත. ඔවුන් දුක්‌ විඳි කාලය අවසන්වෙමින් පවතින බැවින් විය යුතුය ඔබ වැනි මිනිසුන්ට ඔවුන්ගේ කතාව දැනගැනීමට හැකිවන පරිදි මෙවැනි සටහනක්‌ තබන්නට හේතු සකස්‌ වූයේ.


'හිතේ බරක්‌ තියෙනවා නම් සැහැල්ලු කරගන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට උපකාර ලැබේවි'


අප එසේ කියා ඔවුන්ගෙන් සමුගත්තේ ඔබ ගැන විශ්වාසයෙනි. අනේ හැකි දෙයක්‌ කරන්න. ඔබ අප එකතුවෙන් මෙවැනි අසරණ මිනිසුන්ට මෙතෙක්‌ දුන් සැනසිල්ල සුළුපටුද. හොඳයි, අපි ඒ මඟේ තවත් පියවරක්‌ ඉදිරියට තබමු. කාන්තා විමුක්‌තිය ගැන කතාකරන, ළමා සුබසාධනය ගැන කතා කරන මහත්වරු, මහත්මීන්ට දැනගනු වස්‌ (ඉතා පෞද්ගලික කරුණක්‌ වුවද) මෙයද සටහන් කරමු. එදා අපි ඔවුන් සොයා යන විට මේ තිදෙනාගේ එකඟත්වයෙන් දවල් වේල 'කැන්සල්' කර තිබිණි. ගෙයි ඉතිරිව තිබූ හාල් මිට සහ පරිප්පු ඇට කිහිපය රෑ අහර පිණිස ඔවුහු ඉතිරිකරගෙන සිටියහ. එදා අපි අපේ දිවා ආහාරය ඔවුනට පුදා ඒ සතුටින්, කෑ දෙයට වැඩිය දුන් දෙය රසවත් බව ප්‍රායෝගිකව වටහාගත්තෙමු. ඔබටද එවැනි සතුටක්‌ විඳීමට අවස්‌ථාව සලසා මේ සටහන මෙතැනින් නිමකරමු.


ජායාරූප - වාසල සේනාරත්න