පාතාලයට ගිය ශ්‍රී ලාංකික දේශපාලනය

| අමිල ගුණරත්න

මහත්මා දේශපාලනය ශ්‍රී ලංකාවෙන් තුරන් වෙන්නේ බණ්ඩාරනායක ඝාතනයත් සමගය. ඉන්පසු දේශපාලනය කුමන්ත්‍රණ සහ හොර ජාවාරම්කරුවන්ගේ සූදුවක් බවට පත් වේ. හැටේ දශකයේදී ශ්‍රී ලංකාවේ දේශපාලනය කුමන්ත්‍රණ වලට නතුවේ. සමගි පෙරමුණ රජය බලයට පත් වන්නේ මෙවැනි අවදියකය. නමුත් 70 වේ සමගි පෙරමුණු රජයේ තිබු අසීමිත රාජ්‍ය ඒකාධිකාරය සමග නිලධාරිවාදය , හෙන්චයියලා තොග පිටින් බිහිවීම සිදුවේ. ඉන්පසු කිරිපිටි පැකට් එකක් ගැනිමටත් මෙම දේශපාලන පහඳන් පසු පස යාමට සිදුවේ. පුද්ගලික අංශයේ කොඳු කඩා ඇති බැවින් පුද්ගලික අංශය මගින් රැකියා ජනනය කිරීමක් නොකරයි. සීමිත රජයේ රැකියා වලට තරුණ තරුණියෝ පෝලිම් ගැසෙති. තානායම් පත්වීම් , අල්ලස් , අත යට ගනුදෙනු බහුලව සිදුවේ.

නිදහසින් පසු කිසිම පක්ෂයක් විසින් දේශපාලන වශයෙන් ජනතාව අවදි කලේ නැත , දේශපාලනික සවිඥානයක් ලබා දුන්නේ නැත. කලාකරුවන් පාලකයන්ට ප්‍රශස්ති ගයා පාන් කෑල්ලක් සොයා ගත්තා මිසක තම දේශයේ ජනතාව අවදි කලේ නැත. එහි ප්‍රතිපලය වුයේ ලංකාවේ චන්දදයකයන් යනු අදේශපාලනික, බුද්ධි හීන මැටිමෝලුන් පිරිසක් බවට පත් වීමය. ඔවුන් දේශපාලකයන්ගේ දඬු අඩුවට අසුවී , පතාලයන්ගේ පිඩනයට ලක් වෙවී තමන්ගේ පිඩකයාටම යලි යලි චන්දය දී ඔවුන්වම බලයට පත් කොට ඉල්ලාගෙන කති.
1977 දී බලයට පත් වූ ජේ ආර් මෙම ක්‍රමය උඩු යටිකුරු කළේය. දේශපාලනය පාතාලකරණය හා පාතාලය දේශපාලකයන් සමග විවුර්තව ගනුදෙනු ඇරඹෙන්නේ මේ කාලයේ ය. ජේ ආර් ස්ත්‍රී දුෂක ගෝනවල සුනිල්ට සමාව දී නිදහස් කරයි. රනිල් වික්‍රමසිංහ ගෝනවල සුනිල් ගේ කැපකරු පියා බවට පත් වේ. පාතාලය මගින් සිරිල් මැතිවු , ප්‍රේමදාස , ගාමිණී දිසානායක, ඇතුලත්මුදලි වැනි ප්‍රබල දේශපාලකයන් රහස් ගනුදෙනු කරති. ප්‍රතිවාදීන් මැඩීමට පාතාලය මිටියක් කර ගනියි. සෝමපාල මරා දමන්නේ මෙම පාතාල ජුන්ටන් විසිනි. ඉන්පසු යාපනයේ පුස්තකාලයට ගිනි තැබීම , කළු ජුලිය ක්‍රියාත්මක කිරීම පසුපස සිටියේ මෙම දේශපාලන අනුග්‍රහ ලැබූ පාතාල කල්ලි ය. ප්‍රේමදාස පාතාලය සමග ගනුදෙනු කලේ සුචරිතයේදී සිරිසේන කුරේ මගිනි. අපේ ළමයෙකු ලෙස හැඳින්වූ සොත්ති උපාලි මේ කාලයේ පාතාලයේ රජ කෙරුමා විය.

මෙම මජර දේශපාලන ක්‍රමය වෙනස්කරනවා කියා සිවිල් ජනතාවාදී බලවේග මතින් බලයට පැමිණි චන්ද්‍රිකා සියල්ලන්ම ඇන්දුවේය. ජනතාවාදී බලවේග කියා චන්ද්‍රිකා ඔසවා තැබූ ඔස්තාර්ලාටද තමන්ගේ න්‍යාය පත්‍රයන් තිබුණි. තානාපතිකම් , සංස්ථා සභාපතිකම් , විශාල බැංකු නය ලබාගැනීම් වැනි අවශ්‍යතා ඔවුනට තිබුණි. මොවුන් සියලුදෙනාට කොකා පෙන්වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකවරුන් හොරකම් කරන්නේ නැහැ කියමින් හොරකම් කලාය. පාතාලය පෝෂණය කලාය. බැද්දගානේ සංජිව මගින් ඇය අනෝජා වීරසිංහගේ ගෙට ගිණි තැබීම , රූකාන්තට පහර දීම වැනි තුට්ටු දෙකේ වැඩද කර ගත්තාය.

මහින්ද රාජපක්ෂ බලයට පත් වන විට මිනිසුන් තුල සාධාරණ සමාජයක් කෙරෙහි යම් අපේක්ෂා තිබුණි. ඔහු ඇතුළු හමුදා ප්‍රධානින් සහ ආරක්ෂක ලේකම්වරයා ප්‍රමුක පිරිස එල් ටී ටී ඊ ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කර දැම්මේය. නමුත් ජනතාවට පුර්ණ නිදහසක් නොලැබිණි. පාතාලය ක්‍රමක් ක්‍රමයෙන් මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම්වරයා ග්‍රහණයට ගත්තේය. මෙහි කූටප්ප්‍රාප්තිය සිදු වුයේ මුල්ලේරියාව වෙඩි තබා ගැනීමෙනි. ලාබාල දැරිවියක් දුෂණය කල , පාතාලය සමග සමීප සබඳතා ඇති , මත්ද්‍රව්‍ය ජාලයන් හසුරවන දුමින්ද සිල්වා වැන්නෙකුට ආරක්ෂක ලේකම් දුන් චරිත සහතිකය මගින් පෙන්නුම් කලේ කුමක්ද ? පාතාලය විසින් ලංකික දේශපාලනය අතික්‍රමණය කර ඇති ප්‍රමාණයයි.

මෙම අවස්ථාවේදී විපක්ෂයේ කාර්යභාරය කුමක්ද ? ලංකාවට සාධනීය විපක්ෂයක් නැත. විපක්ෂයේ සාමාජිකයන්ගේ ද අත් වල ලේ තැවරී තිබේ . ඔවුන්ගේ ඔඩොක්කුවේද පාතාලයන් නිදාගෙන සිටිති. ඔවුන් පුල පුලා බලා සිටින්නේ රාජපක්ෂවරුන් පෙරලා දමා තමන් බලයට පත්වී රාජපක්ෂවරුන් ඉහගෙන කන වළ වතුර මෝටර් දමාගෙන ඉහගෙන කෑමටය. එම නිසා විපක්ෂය බලයට ආවද ජනතාවට සෙතක් නැත. මෙහිදී විකල්ප බලවේග කොහේද ? ඔවුන් ද දුෂණයේ සහ වංචාවේ ගැලී සිටිති. මැර හා පාතාල දේශපාලනය අවසන් කොට පාරමිතා පුරන ධර්ම රාජ්‍යක් තනන බවට පොරොන්දු දී පැමිණි හෙළ උරුමය ,මෙලෝ සිහියක් නැතිව මුදල් හම්බ කර ගනිමින් ඔවුන්ට ස්වර්ග රාජ්‍යක් තනාගෙන තිබේ. ඉර්ෂියාව , කුහකකම , ද්වේශය හැර සාධනීය යමක් තම අනුගාමිකයන්ට හෝ ජනතාවට දීමට අපොහොසත් වූ ජවිපෙ ද පාතාලය විසින් ඇති ආක්‍රමණය කොට ඇති ශ්‍රී ලාංකික දේශපාලනය නමැති මඩ වගුරේ ඇති තවත් එක් මඩකරියෙක් පමණි.

අවසාන වශයෙන් චන්දදායකයා ගැනත් යමක් කිව යුතුය. නිදහසින් පසු කිසිම පක්ෂයක් විසින් දේශපාලන වශයෙන් ජනතාව අවදි කලේ නැත , දේශපාලනික සවිඥානයක් ලබා දුන්නේ නැත. කලාකරුවන් පාලකයන්ට ප්‍රශස්ති ගයා පාන් කෑල්ලක් සොයා ගත්තා මිසක තම දේශයේ ජනතාව අවදි කලේ නැත. එහි ප්‍රතිපලය වුයේ ලංකාවේ චන්දදයකයන් යනු අදේශපාලනික, බුද්ධි හීන මැටිමෝලුන් පිරිසක් බවට පත් වීමය. ඔවුන් දේශපාලකයන්ගේ දඬු අඩුවට අසුවී , පතාලයන්ගේ පිඩනයට ලක් වෙවී තමන්ගේ පිඩකයාටම යලි යලි චන්දය දී ඔවුන්වම බලයට පත් කොට ඉල්ලාගෙන කති. මෙම අසාධාරණ ක්‍රමයට , පාතාලය රජ වීමට එරෙහිව සිතීමට පවා ඔවුන්ට තර්කානුකුල බුද්ධියක් නැත. මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකාව නුදුරු කාලයේ පාතාලය රජයන මැක්සිකෝවක් , කොලොම්බියාවක් බවට පත් වීම අනිවාර්ය ය. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා මුලින්ම කල යුත්තේ ලංකාවේ චන්දදායකයා දේශපාලනික වශයෙන් සවිඥානික කිරීමය. මේ සඳහා යථාවාදී තථාකාරී ආගමික නායකයන් , ඇත්ත ඇති සැටියෙන් දකින ලේඛකයන් , අදීන කලාකරුවන් සහ උදර පෝෂණය යටි අරමුණ නොකරගත් සිවිල් ක්‍රියාධරයන් පෙරට ආ යුතුය. නැතොත් මෙම පාතාල - දේශපාලන මඩ ගොහොරුවේ සදාකාලිකව අප එරෙනු ඇත.