ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ ආශ්චර්ය



l අමිල ගුණරත්න

ආයුර්වේදයේ සහ සිංහල පාරම්පරික වෙදකමේ ගැන සමහරු පාරට්ටු කරති. මෑතකදී කැඩුම් බිඳුම් වෙදකමේ රහස් සොයා විදේශ සිසුහු පැමිණ හොරිවිල හේරත් හාමි පාරම්පරික වෛද්‍යවරයාගේ පුත් ආයුර්වේද වෛද්‍ය එස්.එන්. එච්. සෙනෙවිරත්න මහතා හමුවී දේශීය ශාඛවලින් ඇට බද්ධ කිරීම, පත්තු බැඳීම, පෙට්ටනි තැවීම ආදිය ගැන අධ්‍යයනයක යෙදී සිටින බව මාධ්‍ය වාර්තා කරයි. මේ ගැන සමහරු විස්සෝප වෙති . මෙවැනි පාරම්පරික රහස් බටහිරට නොදිය යුතු බව පවසති.

ඇත්තටම වෙදකමක රහස් තිබිය හැකිද ? ආයුර්වේදයේ සහ සිංහල පාරම්පරික වෙදකම තුල ඉතා පරම්පරාගත තදබල කුහකකමක් සහ ඉර්ශියාවක් තිබේ. ඒ නිසා ඔවුන් දැනුම ගුරු මුෂ්ටි ලෙස සඟවාගෙන පිටතට නොදී සිටියහ. මේ නිසා ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ දැනුම කාලයත් සමගම අභාවයට පත් විය. අද බොහෝ ආයුර්වේද වෙදුන් බටහිර බෙහෙත් අධි මාත්‍රා කසාය සමග කලවම් කොට රෝගීන්ට දෙති. ඇදුම දියවැඩියාව ඇති රෝගීන් මෙම කසාය නිසා මුලදී රෝග ලක්ෂණයේ අඩුවක් පෙන්නුවද ප්රෙඩ්නිසලොන් වැනි ස්ටෙරොයිඩ් වර්ග කසාය හෝ කල්ක චුර්ණ වශයෙන් ලෙඩුන්ට දීම නිසා ඔවුන්ගේ අක්මා විනාශවී යති.

නමුත් බටහිර වෙදුන් අපේ වෙදුන් මෙන් දැනුම යටිමඩි ගසාගෙන ඒවා වළපල්ලට ඇත ඇරියේ නැත. ඔවුන් ඒවා වැඩි දියුණු කළහ ඒ පිලිබඳ කථිකා , සම්මන්ත්‍රණ පවත්වා පොත්පත් ලියා දැනුම බෙදා ගත්හ. ඒ නිසා ඔවුන්ගේ විද්‍යාව කාලයත් සමග දියුණු විය. බුලත් අතක් පමණක් ගෙන රෝගීන්ට වෙදකම් කරනවා කිව්වාට අපගේ වෙදුන් තරම් කුහක ලිං මැඩි මානසිකත්වයකින් ක්‍රියා කරන කොටසක් කොහෙවත් නැත. ඔවුන් කලේ පාරම්පරික දැනුම සඟවාගෙන ඒවා කාලයත් සමග වළපල්ලට ඇරීමයි. යන්තමට හෝ ප්‍රගතියක් තිබෙන ප්‍රතිකාර ක්‍රමයක් අද ඉතිරිව ඇත්නම් එයද සැඟවීමට තැත් කරති. බෙහෙත් වර්ග වල රහස් අරගෙන සුද්දා පේටන්ට් සදා ගනීවි යයි බියෙන් ඒවා කාටවත් නොදෙති.

පේටන්ට් ක්‍රමය නිසා බෙහෙත් වට්ටෝරු වලට මුල්‍යම වටිනාකමක්, වෙළඳපොළක් ලැබීමත් බෙහෙත් නිෂ්පාදනය මහා පරිමානයෙන් සිදු කිරීමත් ඇති විය. අද රජයේ රෝහල් වල බෙහෙත් වර්ග බොහෝ ගණනක් ඇත්තේ මේ පේටන්ට් ක්‍රමය නිසාය. නමුත් බුලත් අතක් පමණක් ගෙන රෝගීන්ට වෙදකම් කරනවා යන බොරු මානසිකත්වයේ සිටින කුහක ලිං මැඩියන්ට මෙම පේටන්ට් ක්‍රමයේ හරය නොතේරේ. නමුත් එහි ප්‍රතිලාභ දැනුවත්ව හෝ නොදැනුවත්වම ලබා ගැනීමට ඔවුන් නොපැකිළෙති.

අද වකුගඩු බද්ධ කිරීම , බයි පාස් කිරීම වැනි ශල්‍යකර්ම කරන්නේ බටහිර වෙදුන් විසින් දියුණු කරගත් වෛද්‍ය තාක්ෂණයට පින්සිදුවන්නටය. ඔවුන් අපේ ආයුර්වේද සහ සිංහල පාරම්පරික වෙදුන් මෙන් කුහක කමින් දැනුම සැඟවීමට ක්‍රියා කලේ නම් අද අපගේ වියපත්වූ රෝගී ඥාතීහු වළපල්ලට ගොස් බොහෝ කල්ය. අපගේ ආයුර්වේද සහ සිංහල පාරම්පරික වෙදුන් මෙන් නොව ඔවුන් තුල මානව දයාව තිබුණු නිසා අද අපද බටහිර වෛද්‍ය දැනුමේ එල නෙලාගනිමු. බැරිවෙලා හෝ ක්ෂය රෝගය වලකන බී සී ජී එන්නත සුද්දෙක් නොව අපේ වෙදෙක් සොයගත්තේ නම් එය යටිමඩි ගසා කාටවත් නොදී දැනුම වළපල්ලට යන්නට තිබුණි. නමුත් එය සුද්දෙකු සොයාගත් නිසාත් එහි රහසිග බවක් තබාගත යුතු බවත් යම් ජන කොට්ටාශයකට මෙම දැනුම නොදිය යුතු බවත් ඔහු නොකී හෙයින් අද අපටද මෙම දැනුමේ ප්‍රතිලාභ ලබා ගත හැකිය. යම් ලෙසකින් අපගේ මිනිසුන්ට විද්‍යාව , තාක්ෂණය පාලනය කිරීමේ හැකියාවක් ලෝකයේ වෙනත් ජාතින් අභිබවා තිබුනේ නම් අපගේ මිනිසුන් ක්‍රියා කරනුයේ හිට්ලර්ටත් වඩා අන්ත ලෙස බව ආයුර්වේදයේ සහ සිංහල පාරම්පරික වෙදකමේ තිබෙන කුහක මානසිකත්වය තුලින් පෙනී යයි.

බටහිර දැනුමට නිතර බැන වදින මහදැනමුත්තෙකු මහාචාර්ය නලින් ද සිල්වා තමන්ගේ ශරීරයේ සීනි පාලනයට ආයුර්වේදයේ එන කරවිල ඉස්ම බොන්නේ නැත , ඔහු බටහිර බෙහෙත් ක්‍රමානුකුලව ගනී. තව ටික කාලයකින් ඔහු බයි පාස් එකක් ද කර ගනු ඇත. එදාට මහාචාර්ය නලින් ද සිල්වා තමන්ට ආයුර්වේද බයි පාස් එකක් කරන්න යැයි ඉල්ලන්නේ නැත. ඔහු එදාට ඉල්ලන්නේ බටහිර සුද්දා විසින් සොයාගෙන වැඩි දියුණු කරගත් සහ ලෝකයේ සැමටම බෙදා දුන් වෛද්‍ය විද්‍යාත්මක තාක්ෂණයයි.