කරුණාකර ඔවුන් අත්හරින්න (ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල වෙනුවෙන් ආයාචනයක්)

ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගල ගැන කිසිදු තොරතුරක් නැත. ඔවුන් පැහැරගෙන ගොස් ඇති සැලසුම් සහගත ආකාරය අනුව, ඉහළ ම පෙළේ මැදිහත් වීමකින් තොරව ඔවුන් නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය. ඔවුන් මරා නො දැමිය යුතු යයි ශිෂ්ටත්වයේ නාමයෙන් අපි සියලු දෙනා ඉල්ලා සිටිය යුතු ය. ඔවුන් කිසියම් වරදක් කර තිබේ නම් අධිකරණය හමුවට පමුණුවා දඬුවම් කළ හැකි ය. වත්මන් දේශපාලන උම්මත්තකභාවය නිර්මානය කිරීම පිණිස ප්‍රේමකුමාර් ගුනරත්නම් ජවිපෙ නායකයකු ලෙස විශාල දායකත්වයක් සැපයුවේ ය. එම උන්මත්තකභාවයෙන් ඵල නෙළන අය ඔහුට ඒ වෙනුවෙන් හෝ කෘතවේදිත්වය පළ කළ යුතුව තිබේ. සිය දේශපාලන ගමනේ මෑත සමයේදී ඔහු හා ඔහු නායකත්වය දුන් කණ්ඩායම සිය අතීත ක්‍රියාකාරිත්වයන් දෙස විවේචනාත්මක ඇසකින් බලමින් සමාජය යහපත් ලෙස වෙනස් කිරීම සඳහා කැප වීමේ උනන්දුවකින් කටයුතු කළේ ය. එහෙත්, එය ඔවුන්ගේ දායකත්වයෙන් ගොඩනගන ලද වත්මන් ක්‍රමයට කෙටි කලකින් තීරණාත්මක ලෙස අභියෝගාත්මක වීමේ විභවයකින් යුක්ත දේශපාලනයක් වී යයි සිතිය නො හැකි ය. මන්ද, අද කෙතරම් උතුම් අභිප්‍රායන් ප්‍රවර්ධනය කළත්, ඔවුන් විසින් දශක කීපයක් තිස්සේ සිය බලවේගය දක්කාගෙන ගිය සදාචාරාත්මක අගාධයෙන් ගොඩ ඒම පහසු නැත. ඒ සඳහා තවත් පරම්පරාවක්වත් ගත වනු ඇත. ප්‍රේමකුමාර් ගුනරත්නම් යනු අධ්‍යතන වාම දේශපාලනයේ අමානුෂිකත්වය නිරූපණය කරන නිදර්ශනයකි. ඔහු ජවිපෙ නායකයකුව සිටි කාලයේ ඔහුට අවැසි වී නම්, පාර්ලිමේන්තුව හරහා හෝ නීත්‍යනුකූල පුරවැසියකු වීමේ හැකියාව තිබුණු අයෙකි. එසේ නො කර ගුප්ත ජීවිතයක් ගත කරමින් ඔහු කළේ කුමක් ද? එය හුදු මානසික තත්වයක් නො වේ නම්, ඒ වනාහි පක්ෂයේ පහළ කේඩරය ඊනියා විප්ලව මානසිකත්වයකින් මත් කර ඔවුන්ගේ ශ්‍රමය පටු අරමුණු වෙනුවෙන් සූරාකෑම සඳහා දැනුවත්ව අනුගමනය කළ උපායකි.

ජවිපෙන් වෙන් වූ පසු ජවිපෙ නායකයෝ මේ මිනිසා සතුරාට පාවා දුන් අන්දම අතිශය නින්දිත ය. අප දන්නා පරිදි ඔහු සිටියේ ඕස්ට්‍රේලියාවේ ය. ඒ වනාහි, බොහෝ දුරට වඩා යහපත් ජීවිත සොයා ගිය ගමනකි. සිය හරස් සම්බන්ධතා ජාලය පක්ෂයෙන් බිඳී ගිය මොහොතේ ආපසු පැමිණි ඔහුට ජවිපෙ විසින් කරන ලද තුච්ඡ පාවා දීම නිසා ආපසු යන්නට බැරිව මෙහි හිර වන්නට සිදු විය. සාමාන්‍ය මධ්‍යම පංතික සිහින සහිත පවුලක දරු දෙදෙනෙකුගේ ආදරණීය පියකු වූ ඔහු ලංකාවේදී කෙතරම් අසරණ වන්නට ඇද්ද යන්න සිතා ගන්නට ඔහු පැහැරගෙන යාමට ලක් වූ මොහොත සාක්කි සපයයි. ඔහු මේ රටට ගෙන්වා ගත් ඔහුගේ සගයෝ සමූහ සාකච්ඡාවකින් පසු ඔහු පාළු නිවසක හුදකලා කර සිය කුටුම්භ වෙත පල්ලම් බැස ඇති බව පෙනේ. දිමුතු ආටිගල සහෝදරිය තලවතුගොඩට ගෙන ආවා යයි කියන දුමින්ද නාගමුව ඇය තනිව බසයක නංවා ගොඩගමට පිටත් කිරීම ද සහෝදරාත්මක හැසිරීමක් නො වේ. අප නො දන්නා කරුණු මේ සිද්ධි පසුපස තිබෙන්නට පුළුවන. කෙසේ වෙතත්, මේ වනාහි සාමාන්‍ය මනුස්සකම් හා මේ ඊනියා විප්ලවවාදී දේශපාලනය අතර ඇති පරතරය පෙන්වන ජවනිකා ය. ප්‍රේමකුමාර් ගුනරත්නම් හා දිමුතු ආටිගලගේ ජීවිතවලට හානි කරන්නට කිසිවකු අදහස් කරන්නේ නම්, ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ අන් කිසිවක් නො ව, ප්‍රේමකුමාර් ගුනරත්නම් නායකත්වය දුන් දේශපාලන බලවේගය ප්‍රචණ්ඩත්වය වෙත තල්ලු කිරීම මිස අන් යමක් නො වේ. තම පැවැත්ම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය වපුරන, ත්‍රස්තවාදයට පස සකසන පිරිස් හමුවේ බුද්ධිමත් මිනිසුන් විසින් කළ යුතුව තිබෙන්නේ හැකි තරම් ප්‍රචණ්ඩත්වයෙන් ඈත් වීමයි.

Ajith Parakum Jayasinghe