හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඔබට කිසිදින යුක්තිය ඉටු වන්නේ නැත

| අමිල ගුණරත්න

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනයට ලක්කිරීම සම්බන්ධ නඩුව අද කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවවූ අවස්ථාවේ සිදුවීමට අදාල සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන බව අධිකරණයට දැනුම් දෙන ලදී. මෙම නඩු විභාගයෙන් පසු අදහස් දැක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙසේ පැවසුවාය.

"ඡායාරූපවල ඉන්නේ මගේ තාත්තා පාරේ වැටී මිය ගොස් සිටි ආකාරය..මේ වගේ දුකක් කිසිම දුවකට අත්නොවිය යුතුයි. දැන් මාස 6 ක් තිස්සේ නිලධාරීන් මේ සම්බන්ධ ප‍්‍රධාන සැකකරුව කොටු කර නොදී මගහරිමින් සිටිනවා. මේ නිලධාරීන් මං ඉන්න තැන හිටිය නම් තේරෙයි මේක මොන තරම් අසාධාරණයක්ද කියන එක..මරණය කාටත් පොදුයි..එත් මේ වගේ ජීවිත උදුරගන්න කාටවත් අයිතියක් නෑ..අද රටම බලන් ඉන්නෙ මේකට සාධාරණයක් ඉටුවෙනකං…එහෙම නැතිවුණොත් මේ ඔක්කොම කට්ටිය මා එක්ක ඒවි..එහෙම නැත්නම් අපි පාරට බහිනව.."

නමුත් ලංකාවේ කරුණු කරනා සිදුවන ආකාරයට අපට හැඟෙන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කිසිදින යුක්තිය ඉටු නොවන බවයි.ශ‍්‍රී ලංකාවේ අපරාධ නඩුවලදී වැරදිකරුවන් වන පුද්ගලයන්ගේ අනුපාතිකය 4%කි. යුරෝපා රටවල එය 85% කි. ලංකාවේ අපරාධ ගණයට වැටෙන නඩුවලදී වැරදිකරුවන් වන්නන්ගේ ප‍්‍රතිශතය 4%ක් තරම් පහළ මට්ටමක පවතින්නේ නම් නීතිය ක‍්‍රියාත්මක කිරීම හා නීතිය පසිඳලීම යන අංශ දෙකේ ඇතිවී තිබෙන බරපතල කඩ වැටීම සහ දේශපාලන ඇඟිලි ගැසීම් නිසාය. ඊට අමතරව මිනී මරා යහතින් දේශපාලන කරගෙන සිටින සුසන්ත පුංචි නිලමේ , චන්දන කත්රිආරච්චි , ලොහාන් රත්වත්ත වැනි පුද්ගලයන් සිටින රටක තව වසරකින් දෙකකින් පමණ දුමින්ද සිල්වා ලංකාවට පැමිණ නිරුපද්‍රිතව දේශපාලනය කිරීම ගැන පුදුම විය යුතු නැත.

ලංකාව යනු නිතිය සහ යුක්තිය නොමැති රටකි. ලංකාවේ යුක්තිය යනු ශක්තියයි. එනම් බලවන්තයා ජය ගැනීමයි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මැරකම් කළේය. දුමින්ද සිල්වා මැරකම් වලට අමතරව කුඩුද විකුණුවේය. එමගින් ඔහු බලවන්තයා විය. මේ නිසා දුමින්ද සිල්වාට ඇති අනුග්‍රහයෙන් 10 % වත් මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට නැත. මේ නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට යුක්තිය ඉටුවීම යනු සිහිනයකි.