සපුමල් කුමරුගේ සත්‍ය මඟුල් කඩුව දුටු දැනට ජීවතුන් අතර සිටිනා එකම පුද්ගලයාගේ හෙළිදරව්ව


කෝට්ටේ ඓතිහාසික අනුහස් සහිත සපුමල් කුමරුගේ කඩුවේ කතාව ගැන ඒ ගැන ඉතා හොඳින් දන්නා දැනට ජීවතුන් අතර සිටින එකම පුද්ගලයා යැයි කියන වියතෙකු විසින් 'ලංකා ඊ නිව්ස්' වෙත හෙළි කළ ඉතා වැදගත් කරුණු රැසක් හෙළි කරන බව ලංකා ඊ නිව්ස් පසුගියදා කීවෙමු. අපට හමුවූ එම නිහ~ වියතාගේ ගේ කතාව මෙසේ සටහන් කරමු. ජීවිතයේ සැඳෑ සමයේ සිටින ඔහුට බියෙන් තොරව සිටීමට අවශ්‍ය බැවින් අපට ඔහුගේ නම ගම හෙළිකළ නොහැක. මේ ඔහුගේ කතාවයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යුගයට අයත් පුරාවස්තුවක් වන සපුමල් කුමරුන්ගේ අසිපතක් සොයාගිය පුද්ගලයන් විසින් කෝට්ටේ පුරාන රජමහා විහාරවාසී භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කිරීමේ පුවත අසන්නට ලැබීමෙන් මා මහත් කම්පනයටත් සංවේගයටත් පත් වූයෙමි. මෙම පාපී ක්‍රියාව සිදුකරන ලද්දේ වරදවා වටහා ගැනීමකින් හෝ වැරදි සහගත තොරතුරු මත පදනම් වීමකින් හෝ විය හැකියැයි මට සිතෙන හෙයින් එයට සම්බන්ධ මා දන්නා තොරතුරු කිහිපයක් හෙළිදරුව් කිරීම සඳහා මෙම අවස්ථාව සුදුසු යැයි සලකා මෙම තොරතුරු හෙළි කරන්නේ මෙසේ වැරදි පාරේ යමින් මේ අපරාධකරුවන් තවත් වටිනා ජීවිත බිලිගැනීම වැලැක්වීමේ අභිප්‍රායෙනි.

මෙම තොරතුරු මා දැන ගන්නා ලද්දේ මීට වසර 30 කට පමණ පෙර වුවත් එම තොරතුරු මෙසේ ඉදිරිපත් කිරීමට අවස්ථාවක් හෝ අවශ්‍යතාවයක් හෝ පැන නැගුනේ නැත. ඒත් අද එළැඹ ඇත්තේ එම තොරතුරු කවර හෝ ආකාරයකින් ඉදිරිපත් කළ යුතුම තත්ත්වයකි.

මෙම සිද්ධිය සිදුවුනේ මට මතක හැටියට එක්දහස් නවසිය අසූවේ දී පමණ විය යුතුය. එවකට මාදිවෙල ඊයම්පෝරුවේ ගංගාරාම පුරාණ විහාරයේ විහාරාමාධිපතිව වැඩ විසූවේ පූජ්‍ය තලංගම ධම්මදින්න ලොකු හාමුදුරුවන් ය. උන්වහන්සේ
කෝට්ටේ සංඝ පරම්පරාවට අයත් ය. එසේම බත්තරමුල්ලේ සුභූති හිමියන්ගේ සංඝ පරම්පරාවටද සම්බන්ධතා ඇත්තෙකි. (බත්තරමුල්ලේ සුභූති හිමියන් ගැන ඇති ජනප්‍රවාද අනුව උන්වහන්සේ ගුප්ත විද්‍යාවන් පිලිබඳ උසස් දැනුමකින් යුක්තව යකුන්ගෙන් පවා වැඩ ගත් අයෙකි.) කෙසේ නමුත් තලංගම ධම්මදින්න හිමියන්ද නක්ෂත්‍රය, යන්ත්‍ර මන්ත්‍ර කටයුතු, ඡන්දස් ශාස්ත්‍රය හෙවත් සෙත්කවි සෑදීම පිලිබඳවත් දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් මනා ලෙස දැන සිටියෙකි. මා උන් වහන්සේ සමග දීර්ඝ කාලයක් තිස්සේ සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ගිය අතර මගේ ව්‍යාපාරික කටයුතු වලදී අවශ්‍ය නැකැත් ආදිය සාදා දෙනු ලැබුවේ එතුමන් විසිනි. ඒ අනුව කිසියම් කටයුත්තක් සඳහා නැකතක් සාදවා ගැනීම පිණිස දිනෙක සන්ධ්‍යා වරුවේ මම උන් වහන්සේ මුණ ගැසීමට විහාරස්ථානයට ගියෙමි. මා එහි යනවිට එවකට ප්‍රදේශයේ ජනප්‍රිය දේශපාලන නායකයෙකු වූ ඇල්මන් පීරිස් මහතා ද එහි පැමිණ සිටියේය. අපේ හාමුදුරුවෝ මා වෙනුවෙන් වේලාව වෙන් කර දී තිබුනද පීරිස් මහතා පැමිණ සිටියේ හදිසි අවශ්‍යතාවයකට බව මට කී උන් වහන්සේ වෙනත් යොදා ගත් වැඩක් නැතිනම් තමන් සමග ගමනක් යාමට එන ලෙස මගෙන් ඉල්ලා සිටියහ. මාද ඊට එකඟ වූ අතර අපගේ වාහන විහාරස්ථානයෙහිම තබා හිමියන්ගේ ඔස්ටින් කේම්බි්‍රජ් මෝටර් රථයෙන් අපි ගමන පිටත් වූයෙමු. වාහනය පැදවූයේ ද උන් වහන්සේගේ තවත් සමීප හිතවතෙකු වූ ඔබහේන පාරේ මාටින් අයියා ය. වාහනයට නගින්නට පෙර උන් වහන්සේ මගෙන් ප්‍රශ්න කිහිපයක් විමසූ අතර ඉන් මට තේරුම් ගියේ ගුප්ත විද්‍යවන්ට අනුව කිලි කුණු ලෙස සැලකෙන යම්දෙයකට ඒ මොහොතේ මා ගෑවී ඇතිදැයි සැක හැර දැන ගැනීමට එම ප්‍රශ්න විමසූ බවයි. ප්‍රශ්න විමසීමෙන් පසු සෑහීමට පත් වූ උන් වහන්සේ පිරිසිදු රෙදි කඩකින් කට ගැට ගැසූ පැන් පිරවූ මැටි කොතලයක් මගේ දෑතට දී එය ප්‍රවේශමෙන් තබා ගන්නා ලෙස උපදෙස් දුන්නෝය.

වාහනයේ නැගී යන අතර තුර උන් වහන්සේ කීවේ මෙම ගමන රහසක් ලෙස තබා ගන්නා ලෙසත් මෙහිදී තමන් දකින දේ කිසිවෙකුට කීමෙන් වළකින ලෙසත් ය. මම එය මේ දක්වා රැකගෙන සිටියෙමි. කොළඹ දෙසට ගමන් කළ අප නැවතුනේ කොළඹ නගර මායිමේ වූ විහාරස්ථායකය. එතැනට අප යන විට තරමක් රෑ බෝ වී තිබූ අතර පින්වතුන් කිහිප දෙනෙකු පමණක් වූ අතර ඔවුන් එම කටයුතු සිදුකර පිටත්ව යන තුරු අපට බලා සිටින්නට සිදු විය. රාත්‍රී 9 පමණ වන විට ඒ අය පිටත්ව ගිය අතර අප නා හිමියෝ එම විහාරයේ විහාරාධිපතීන් වහන්සේ සමග සුහද කතා බහක පසු වූහ. අපට තේරුම් ගියේ උන්වහන්සේලා දෙනම ඉතා සමීප මිත්‍රත්වයක් ඇති අය බවයි.




ටික වේලාවකින් ධම්මදින්න හිමියන් අප වෙත නැවත පැමිණියේ තුවා දෙකක් සහ වතුර පිරවූ පාත්‍රයක් ද සහිතවය. ඒ සියල්ල අනෙක් දෙදෙනා අතට දී විදුලි පන්දමක් ද රැගෙන උන් වහන්සේ එම විහාරස්ථානයේ එක්තරා විශේෂ තැනකට අප කැඳවාගෙන ගියහ. එම ස්ථානයේ තිබුනේ තරමක ගල් පුවරුවකි. විදුලි පන්දම පසෙක තැබූ උන් වහන්සේ පාත්‍රයට වතුර ගෙන දෑත සෝදා යම් ගාථාවක් හෝ මන්ත්‍රයක් තම දෑතට මතුරා එම ගල් පුවරුව දෑතින් තල්ලූ කළහ. මිනිසුන් කිහිප දෙනෙකු විසින් වෙර යොදා තල්ලූ කළ යුතු යැයි සිතෙන ගල් පුවරුව උන් වහන්සේ තම දෑතේ හයියෙන් වැඩි අපහසුවකින් තොරව තල්ලූ කළහ. ඉන්පසුව විදුලි පන්දම දල්වා විවෘත වූ කුහරය තුලට ඇල්ලු කල ඒ තුල සිවුරු රෙද්දක එතූ යම් දෙයක් සුරක්ෂිත ලෙස තබා තිඛෙනු අපට දැකිය හැකි විය. උන් වහන්සේ එය දෑතින් ගෙන සිවුරු රෙද්ද ඉවත් කළ විට එය යම් විශේෂ අසිපතක් බව දැක ගැනීමට හැකි විය. ගෙන ආ එක් තුවායක් වතුරෙන් පොඟවා අසිපත පිරිසිදු කළ නා හිමියෝ එය පාත්‍රය මත සිටුවා අතින් අල්ලාගෙන මා විසින් ගෙන එන ලද පැන් කොතලයෙන් අසිපත සේදී යන ලෙස පැන් වත් කරන ලෙස ඇල්මන් පීරිස් මහතාට කීහ. ඒ මහතා එසේ කළ පසු පාත්‍රයට වැටුණු එම පැන් නැවත කොතලයට දමා පෙර පරිදිම කොතලයේ කට ගැට ගසා ගන්නා ලෙස උපදෙස් දුන්හ. පැන් වත් කරන අවස්ථාවේදී උන් වහන්සේ යම් ගාථාවක් සජ්ජායනය කළහ. ඒ කාර්ය හමාර වූ කළ අසිපත පිස දමා සිවුරු රෙද්දෙන් ඔතා පෙර පරිදිම තැන්පත් කොට නැවත ගල් පුවරුව වසා දමන ලදී. මෙම සිද්ධිය එක්තරා ආකාරයක පුදුම උපදවන සිද්ධියක් වුවත් අප කිසිවෙකුත් උන් වහන්සේගෙන් කිසිවක් ඇසුවේ නැත.

නැවත ආපසු එන ගමනේ දී උන් වහන්සේ මෙම අසිපත ගැන විස්තර කළහ. ඒ අනුව අප දැක තිබුනේ සපුමල් කුමරු අභිශේක කරන ලද අසිපත යි. උන් වහන්සේම පැවසූ පරිදි සපුමල් කුමරුගේ අසිපත ලෙස සැලකෙන අසිපත් දෙකක් තිබුනද අනෙක් අසිපත නිවැරදි එක නොවේ. එය යාපනයේ සිටි ආර්ය චක්‍රවර්තීන් පරාජය කිරීමෙන් පසුව එම ජය සංඛේතවත් කිරීම පිනිස කෝට්ටේ රජ වාසල වෙත ගෙන ආ ආර්ය චක්‍රවර්තීන්ගේ අසිපතය.

සමහර අයගේ පිළිගැනීම අනුව එම අසිපත කෝට්ටේ රජවාසලට ලැබීමෙන් පසුව කොට්ටේ රාජ පරම්පරාවේ පරිහානිය ආරම්භ විය. රාජධානියේ වියවුල් රාශියක් ඇති වූ අතර විජයබා කොල්ලය වැනි දරුණු අපරාධ රාශියක් ද සිදුවිය. අවසානයේ ප්‍රතිකාලූන් රාජධානිය අත්පත් කර ගන්නා ලද අතර සිංහල රාජධානිය සෙංකඩගල පුරයට පමණක් සීමා විය. ප්‍රතිකාල් වරුන් රාජධානිය කොල්ල කා සම්පත් පෘතුගාලයට ගෙන ගියද මෙම අසිපත ගැන උනන්දුවක් නොදැක්වූයේ එය ලැබූ හෝ ලබා ගත් අයට මහත් විපත් ගෙන ආ බැවින් විය හැකිය. පැරණි ජනප්‍රවාද අනුව මෙම අසිපත අතින් අත ගොස් අවසානයේ ජාතික වීරයෙකු වූ කෝට්ටේ ඊ. ඩබ්. පෙරේරා මහතා වෙත ලැබී තිබේ. එය ලැබුණු දින රාත්‍රියෙහි එතුමාට සිහිනෙන් පෙනුනු සුදු ඇඳගත් කෙනෙකු කියා ඇත්තේ එම අසිපත තමන් සන්තකයේ තබා නොගන්නා ලෙසයි. ඒ අනුව එම අසිපත කෝට්ටේ රජ මහා විහාරය වෙත ලබා දුන්නේ ඊ ඩබ්. පෙරේරා මහතා හෝ එම පවුලේ කෙනෙකු විසින් බව විශ්වාස කෙරේ.

කෙසේ නමුත් පසුගියදා සංඝ ඝාතකයන් විසින් මේ ගන්නට ගියා යැයි කියන අසිපතත් ඇත්තටම පෞරාණික වටිනාකමින් යුක්ත එකකි. එහෙත් එය පසුපස එන මරණීය ශාපයක් ඇති බව නොදන්නා කෙනෙකුගේ උපදෙස් මත සිදුකරණ ලද වරදක් බව පෙනී යයි.

අසිපත් සොයා යන අය දැන ගත යුතු කරුණක් තිබේ. එනම් යුද්ධයට ගෙන යන අසිපත රාජාභිෂේකයට යොදාගන්නා අසිපත නොවන බවයි. මිනිසුන් ඝාතනය කරන ලද අසිපතක් ආශිර්වාද ලත් එකක් වන්නේ කෙසේදැයි කල්පනා කළ යුතුය . අනෙක් අතින් ගත් කළ රජෙකුගේ රාජ්‍යත්වයට අයත් මගුල් කඩුව, ජය කොන්තය, කිරීටය සහ පේරැස් මුදුව ආශිර්වාද කිරීම පෙරදිග අපරදිග වෙනසක් නැතිව සිදුකරන ලද්දකි. එය චිර ජීවනය සඳහා වන ආශිර්වාදයකි.

යාපනය ජයගෙන පැමිණි සපුමල් කුමරු 6 වන බුවනෙකබාහු ලෙස කෝට්ටේ රාජ්‍යයෙහි කිරුළු පළඳින විට ඔහුගේ මගුල් කඩුව ආශිර්වාද ගන්වන ලද්දේ මුල්කිරිගල තිලක පිරිවෙනෙහි සිටි භික්ෂූන් වහන්සේ නමක් විසිනි. එතුමන් සපුමල් කුමරුගේ ජයග්‍රහණය ගැන ප්‍රසාදයෙන් සිටි අයෙක් වන අතර ඒ පිලිබඳව සටහන් කොට කෝකිල සංදේශය නමැති කාව්‍යය රචනා කළ හිමියන් ය. රජුගේ මගුල් කඩුව මහ මුහුද මැදදී විශේෂ ආකාරයකට ආශිර්වාද ගන්වන ලද බවත් ඒ අනුව එයට මහානුභාව සම්පන්න බලයක් ලැබුණු බවත් ජනප්‍රවාද වල කියැවේ.

එම කරුන සත්‍යයක් ලෙස පිළිගැනීමට සිදුවන්නේ අප පෙර දැක්වූ පරිදි තලංගම ධම්මදින්න හිමියන් අසිපත සේදූ පැන් කොතලය ඇල්මන් පීරිස් මහතා වෙත දුන්නේ ඒ මහතාගේ ඉතා සමීප හිතවතෙකු (කවුරුන්දැයි සඳහන් කෙළේ නැත) ඉතා අසාධ්‍ය ලෙස රෝගී වී සිටියදී ඒ සඳහා යම් ආශිර්වාදාත්මක ප්‍රතිකාරයක් ලෙසය. එහිදී විශ්වාස කරන ලද්දේ අසිපත සේදූ පිරිත් පැන් පානය කිරීමෙන් රෝගයාගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙන බවයි.