කෝට්ටේ සංඝ ඝාතනය: රජකඩු සොරකම සැඟවීමේ කුමන්ත්‍රණයේ තවත් තොරතුරු එළියට


ආන්දෝලනයට තුඩු දී ඇති කෝට්ටේ සංඝ පීතෘවරුන් දෙදෙනා ඝාතනයට අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වෙනත් කිසිදු පොලිස් අංශයක ප්‍රශ්න කිරීමකට ඉඩ නොදී හනිකට රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම පිළිබඳ පොලීසියේ අංශ තුල බලවත් කනස්සල්ලක් තිඛෙන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

ඉතාමත් වැදගත් දේ වන මෙම පළමු සැකකාර මංජුශ්‍රී නම් බස්නායක නිලමේ වරයා පළමු කට උත්තරයේදී සඳහන් කළ රාජකීය කඩුවක් සොරකම් කිරීමට පැමිණීමේ කතාව යටපත් කිරීමයි. පොලීසිය පවසන්නේ ඒ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබූ කොළඹ ජාතික කෞතුකාගාරයේ පෞරාණික රාජකීය කඩු 8 ක් සොරකම් කර තිබියදී ඒ පිළිබඳ සැකකරුවෙකු හෝ අත් අඩංගුවට ගෙන නොතිබියදී තවත් තැනෙක රාජකීය කඩු සොරකමේ පැමිණි පුද්ගලයාගෙන් අඩුම ගණනේ කෞතුකාගාර කඩු සොරකම පිළිබඳව හෝ ප්‍රශ්න කිරීමක් සිදුකිරීමට ඉඩ දී නැති බවයි.

අනෙක් අතට මේ වන විට ඉතා විශාල වශයෙන් කිසිදු තොරතුරක් නැති නොවිසඳුනු සොරකම් විශාල ගණනක් වාර්තා වී තිබියදී පවා ඒ ගැන හෝ ප්‍රශ්න කිරීමකට ඉඩ නොතබා මෙම සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හදිසි වී තිබීම ගැන පොලීසියේ අවංක පොලිස් නිලධාරීන් දැඩි සේ කලකිරී සිටී. නාරාහේන්පිට පොලිස් වසමේ පමණක් මේ වන විට නොවිසඳුණු සොරකම් 2000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

මෙම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන ලද්දේ කුප්‍රකට අනුර සේනානායක බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අණ පරිදි මිරිහාන කොට්ඨාශ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක‍ෂක වරයා පමණි. වෙනත් කිසිදු නිලධරයෙකුට මෙම සැකකරුවන් හමුවීමට පවා ඉඩ දී නැත. අඩුම ගණනේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුට හෝ මෙම සැකකරුවන් මුණ ගස්වා නැත. මෙම මෙහෙයුම් ඒකකයේ ප්‍රධානියා වන්නේ මිරිහානේ හිටපු කුප්‍රකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන්ගේ ද ඉතා හිතෛෂී හෙංචයියෙක් වන අතර කුප්‍රකට දේශබන්දු දස වතාවක් පමණ දුරකථනයෙන් තම හෙංචයියා අමතා උපදෙස් දී තිබේ. දේශබන්දු මේ වන විට මාතර ප්‍රදේශය බාරව කටයුතු කරයි. අනුර සේනානායක සහ දේශබන්දු දෙදෙනාම මරා රෙජීමයට කඩේ යන දූෂිත නිලධාරීන්ගෙන් අංක එකේ පසුවන්නන් ය. මරා රෙජීමය තම සුදු කොඩි මිනීමරුවන් නිදහස් කරගන්නා ලද්දේ ද අනුර සේනානායක යොදවාගෙන ය. භාරත ඝාතනය, ලංකා ඊ නිව්ස් ගිනි තැබීම ආදී ප්‍රකට අපරාධ විකෘති කර යට ගැසීමට මරා රෙජීමය යොදවා ගත්තේ දේශබන්දු ය.

පළමු සැකකාර මංජුශ්‍රී බස්නායක නිලමේ දේශබන්දු නුවර ප්‍රදේශයේ ඉදිකරගෙන යන ඔහුගේ එක් බංගලාවක ඉදිකිරීම් සඳහා අත දිග හැර මුදල් වියදම් කළ පුද්ගලයෙක් බවද වාර්තා වේ.

පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ කෞතුකාගාර කඩු සොරකමත් කෝට්ටේ රාජකීය කඩු සොරකමේ පැමිණ ඝාතන දෙකක් සිදුකිරීමත් අතර අනිවාර්ය සම්බන්ධයක් තිඛෙන බවයි.

මේ අතර කෞතුකාගාරය අයත් ජාතික උරුමයන් බාර අමාත්‍යාංශය විසින් කෞතුකාගාර කඩු සොරකම ගැන තමන්ගේ පරීක‍ෂණයක් සිදු කිරීමට යයි. එය ලබන සඳුදා 26 හෙට ආරම්භ වෙන බව එහි ලේකම්වරිය කාන්ති විෙජ්තුංග පවසයි. මෙහි සැක කටයුතු කාරණය වන්නේ පසුගිය 16 වෙනිදා සොරකම සිදුවී අමාත්‍යාංශය විසින් පරීක‍ෂණ කමිටුවක් පත් කර පරීක‍ෂන කරන්න යන්නේ දවස් 10 ක් තරම් විශාල කාලයකට පසුව වීමයි. පරීක‍ෂණයකට අදාල සාක්කි වෙනස් කරන්නේ නම් ඒ සඳහා දින 10 ක කාලයක් යනු ඕනෑවටත් වඩා වැඩි කාලයකි.

කෞතුකාගාර සොරකම ගැන පොලිස් පරීක‍ෂණ සියයට 50 ක් පමණ සාර්ථකව කරගෙන යද්දී ඔවුන්ගෙන් එය ඉවත් කර පරීක‍ෂණ රහස් පොලීසියට බාර දුන්නේ ය. රහස් පොලීසිය යනු මේ වන විට රාජපක්ෂ රෙජීමය විසින් තනිකරම මෙහෙය වන දූෂිත ආයතනයක් වී තිබේ. මේ කාලයේ ඉන් කෙරෙන්නේ පරීක‍ෂණ සිදු කිරීම නොවන අතර රෙජීමයට අවශ්‍ය ආකාරයට පරීක‍ෂණ විකෘති කිරීම බව පොලිස් දෙපාර්තමේන්තුව පුරාම ප්‍රසිද්ධ කාරණයකි.

හොඳම උදාහරණය නම් භාරත ලක්ෂ්මන් ඝාතන පරීක‍ෂණ රහස් පොලීසිය විසින් විකෘති කරන ලද ආකාරය ය. මේ වන විට සියළු ඝාතන වල වැරදි කරු කිරීමට යන්නේ භාරතගේ රියැදුරු වූ එක් ඇසකුත් අහිමි කරගෙන දිවිබේරාගත් ගාමිණී මහතා ය. කුඩු දුමින්ද ආත්ම ආරක්ෂාවට වෙඩි තැබූ පුද්ගලයෙකු කිරීමට සියලූ සාක්කි රහස් පොලීසිය විසින් විකෘති කර තිබේ. මෙසේ විකෘති කරන්නේ දුමින්ද සිල්වා පළමුවෙන් වෙඩි තැබූ බවට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී සිදුකළ සාක්කි දෙකක්ම තිබියදී ය.