''අලි මිනිස් ගැටළුවට ස්ථිර විසඳුම් දෙනවා'' - අනුර



“අද ඔබලා මුහුණදෙන තවත් බරපතළ ප්‍රශ්නයක් තමයි අලි ප්‍රශ්නය. 2017 දී අලිගහල 92ක් මැරිලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් සදාකාලික අබ්බගාතයෝ වෙලා. නිවාස විශාල ප්‍රමාණයක් විනාශවෙලා. වගාබිම් විශාල ප්‍රමාණයක් හානිවෙලා. මේ ආණ්ඩුවලට අලි ප්‍රශ්නයටවත් උත්තර නැහැ. එක පැත්තක අක්‍රමවත් සංවර්ධනය. කැලෑ අක්කර දහස් ගණන් එළිකළා. ඒවායේ හිටපු අලි ගම් වදින්න පටන් ගත්තා. උන්ව පාලනය කරන්න සැලැස්මක් හැදුවේ නැහැ.

 දැනට තිබෙන හොඳම විසඳුම විදුලි වැට. ආණ්ඩුව කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා වෙන ඒවාට. නෙළුම් කුළුන හදන්න බිලියන 24යි. කෝටි 2400යි. ලංකාවේ අලි ඉන්න කැලෑ සහ ගම්මාන වෙන්කරලා විදුලි වැටවල් ගහන්න එච්චර සල්ලි යනවාද? සූරියවැව පිට්ටනියට දශලක්ෂ 5000යි. ලංකාවෙම අලි ප්‍රශ්නය විසඳන්න තිබුණා මේ සල්ලිවලින්. ඒවා නොකර ක්‍රිකට් ගහන්නේ නැති පිට්ටනි හැදුවා. අලි – මිනිස් ගැටලුවට ස්ථිර වශයෙන් විසඳුම් දෙන පාලනයක් අපි හදනවා.'' යනුවෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (23) වැල්ලවාය නගරයේ පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමින් පැවසුවේය. 


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වා දුන්නේ, 

2015 ආණ්ඩුව මොකද කළේ ? 


“2015 රාජපක්ෂ පාලනය බිඳවට්ටලා රනිල් වික්‍රමසිංහගෙ පාලනයක් හැදුවා. දැන් අවුරුදු 5ක් රට පාලනය කරමින් තිබෙනවා. 2015 මහින්දගේ ආණ්ඩුව වැට්ටුවේ ඇයි? ජනතාව මත අධික බදුබර පැටෙව්වා. රුපියල් 350/- පොහොර මිටිය 500/- කළා. කෘෂි රක්ෂණ මණ්ඩලයට පාඩු කරලා ගොවි විශ්‍රාම වැටුප කපල දැම්මා. ඉඩම් ඩෝල් කොම්පැනියට වික්කා. කිරි පිටිවලට පෙට්‍රල්, ඩීසල්වලට ජනතාවට දරාගන්න බැරිතරම් අසීමිත බදු ගැහැව්වා. ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා. වංචා, දූෂණවල කෙළපැමිණි ආණ්ඩුවක් බවට රාජපක්ෂ ආණ්ඩුව පත්වුණා. ඒ නිසා ජනතාව 2015 ඒ ආණ්ඩුව වට්ටලා අලුත් ආණ්ඩුවක් හැදුවා. දැන් නැවතත් මොකද, වෙලා තිබෙන්නේ. අලුතෙන් හදපු ආණ්ඩුවත් දැන් ගෙදර යවන්න ඕනෑ කියලා කල්පනා කරනවා. ඔව්, මේක පරාජය කරන්න ඕනෑ. හැබැයි බලයට ගේන්න ඕනෑ කවුද? 2015 දී ජනතාව මේ රට විනාශ කළා කියල, හොරකම් කළා කියලා, බදුබර පැටෙව්වා කියලා, බඩුමිල වැඩිකළා කියලා, අපේ  ඉඩම් පිටරට කොම්පැනිවලට වික්කයි කියලා, ගොවි විශ්‍රාම  වැටුප අහෝසි කළා කියලා, ගෙදර යවපු රාජපක්ෂලාගේ පාලනයක්ද ආපහු හදන්න ඕනෑ. අපි ජනතාවගෙන් ඉල්ලනවා 2015 පිහිටවපු ආණ්ඩුව යළි පිහිටුවන්න එපා කියලා. 2015 දීපු කිසිම පොරොන්දුවක් ඉටුනොකළ රනිල්ගේ ආණ්ඩුව පරාජය කරමු. පරාජය කරලා ආපසු ගේන්නේ පරණ ආණ්ඩුවද? අපි ජනතාවට කියන්නේ මේ ආණ්ඩුව පරාජය කරල අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක් නොවැම්බර් 16 වැනිදා හදමු. 2015 රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළේ වැරදි හින්දනේ. ඒ නිසා අපි ජනතාවට කියනවා නොවැම්බර් 16 ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණ ඉදිරියේ කතිරය ගහලා අපේ, ඔබේ පාලනයක් ගොඩනඟන්න කියලා.


සාමාන්‍ය ජනතාවට දේශපාලනේ එපාවෙලා

අපි කොහොමද මේ රට හදන්නේ. දැන් සාමාන්‍ය ජනතාවට දේශපාලනය එපා වෙලයි තියෙන්නේ. ගොඩක් අය කියන්නේ මට නම් දැන් දේශපාලනය තිත්ත වෙලයි තියෙන්නේ කියල. ඔය කවුරු ආවත් එකයි. ඡන්දෙ කාලෙට කියන ඒවා නොවෙයි කරන්නේ. ඒ නිසා අපි වැඩ කළොත් අපි කයි, කියන දේශපාලනය ගැන කලකිරිල ඉන්න මිනිස්සු තමයි දැන් හුඟක් ඉන්නේ. මේ අර්බුද සියල්ල හැදුවෙ දේශපාලනයෙන්. අපේ අධ්‍යාපනය, සෞඛ්‍යය සේවය, නීතියක්, විනයක් නැති රටක් හැදුවේ අපේ කෘෂිකර්මාන්තය විනාශ කළේ, මේ ආණ්ඩු තමයි. හැබැයි මේ අර්බුදයෙන් ගොඩ ඒමේ උත්තරය තිබෙන්නෙත් දේශපාලනයේම තමයි. මොන දේශපාලනයෙන්ද? අර්බුදය හැදුවේ වැරදි දේශපාලනයෙන්. හොරකම් කරන, නාස්ති කරන, ඥාති සංග්‍රහ කරන, රට ගැන නොහිතන, දේශපාලනයෙන් තමයි මේ අර්බුද හැදුවේ. එහෙනම් ගොඩයන්න කරන්න ඕන මොකක්ද? නිවැරදි දේශපාලනය, හොරකම් නොකරන, රටට ආදරය කරන දේශපාලනය, නොවැම්බර් 16 අපි මේ වැරදි දේශපාලනයෙන් මිදෙමු.


රට හැදීමේ පළමු පියවර අශුද්ධ දේශපාලනයයි 

රට හැදීමේ පළමු පියවර මේ අශුද්ධ දේශපාලන පොරපිටිය ශුද්ධ කිරීමයි. එක පැත්තකින් ඡන්ද ගන්නවා. අනෙක් පැත්තට පනිනවා. අපිට බලය දෙන්න. අපි නීතියක් හදනවා එහෙට මෙහෙට පැන්නොත් මන්ත්‍රී ධුරය අහෝසි වන විධියට. මේ පනින්නෙ කෝටි ගණන් සල්ලි කුට්ටිවලට. අර කුමන්ත්‍රණය වෙලාවේ මෛත්‍රී ජනාධිපතිවරයාම කිව්වා අපිට 113 හදාගන්න තිබුණ. මන්ත්‍රීවරුන්ගේ මිල වැඩි නිසා ඒක අමාරු වුණා කියලා. එක මන්ත්‍රීවරයෙකුගේ මිල කෝටි 500 දක්වා නැග්ගා කියලා එතුමා කිව්වා. අපි මේක නතර කරන නීති ගේනවා.

ඊළඟ කාරණය මන්ත්‍රීවරු අවුරුදු 5ක් පාර්ලිමේන්තු ගියහම, පහක් කිව්වාට පහම යන්න ඕනෙත් නැහැ. මාස 3කට එක දවසක් පාර්ලිමේන්තුවට ගියාම ඇති. අවුරුද්දට හතර පාරයි අවුරුදු පහට විසිපාරයි. පාර්ලිමේන්තුවේ දොරෙන් ඇතුල්වෙලා එළියට ආවහම ඇති. ඒ විසිපාරට ෆෙන්ෂන් එක ලැබෙනවා. ඒක කපාහරින පාලනයක් අපි හදනවා. අයවැය කියවන දවසට මැති ඇමතියෝ රොත්තම පුටුවලම නිදි. පාර්ලිමේන්තුවට එන්නේ ගෙදර ඉන්න ඕන අය. ලෙඩ කඳන්. අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවා වයස 84 දේශපාලනඥයොත්. ඒ ගොල්ලන්ට කවුරු හරි කනවැල අල්ලන්න ඕන. පාර්ලිමේන්තුවට එන්න, මැරෙන කල් දේශපාලනය කරන්න ඕන කෙනෙකුට පුළුවන්. හැබැයි අපි මැරෙන කල් මන්ත්‍රීකම් නම් කරන්න දෙන්නේ නැහැ. අපි බලයට ආවොත් අවුරුදු 70ට වැඩි කිසිකෙනෙකුට ඡන්දය ඉල්ලන්න බැරිවෙන ආකාරයට නීතියක් දානවා...



මහජනයගේ දේපොළ හොරකම් කරපු අයට මැතිවරණය තහනම් 

රජයේ ඕනෙම රැකියාවකට යනකොට පොලිස් වාර්තාවක් ගෙනියන්න ඕන. නමුත් අපේ රටේ මන්ත්‍රීල වෙනව උසාවියේ නඩු තියෙන අය. එක ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙකුට මහාධිකරණයෙත් නඩු තියෙනවා. ලංකාවේ ග්‍රාමසේවක කෙනෙක් රැකියාවට ගන්නේ නැහැ මහාධිකරණයේ නඩුවක් තියෙනවා නම් අපි නීතියක් ගේනවා, මහජනයගෙ දේපොළ හොරකම් කරපු, මහජනයට අපරාධ කරපු, නඩු තිබෙන කිසිම දේශපාලනඥයෙක්ව මැතිවරණ තරග කිරීම තහනම් වන පරිදි.


දේශපාලන පිටිය ශුද්ධ නොකර මේ රට හදන්න බැහැ 

දේශපාලන පිටිය ශුද්ධ නොකර මේ රට හදන්න බැහැ,  2015 මැතිවරණ වේදිකාවල වැඩිපුරම කථා කළේ හොරකම් ගැන. අද අර දෙන්නම හොරකම් ගැන කථා කරන්නේ නැහැ. හොරුන්ට දඬුවම් දෙනව කියලා ඔවුන්ට කියන්න බැහැ. මොකද ලොක්කොම හොරු නිසා. හොරකල්ලි වේදිකාව උඩ ඉන්දගෙන කියන්න පුළුවන්ද හොරකම් නතර කරනවා කියලා. හොරකම් නතර කරන එකම පාලනය ජාතික ජන බලවේගයේ පාලනයයි. හොරකම් කරපු දේපළ නැවත රජයට භාර දෙන්න අපි මාස 2ක් කල් දෙනවා. නැතිනම් වහාම ඒවා රජයට පවරා ගන්නා පාලනයක් අපි හදනවා. අපි ආණ්ඩුවක් හදන්නේ කාගෙන්වත් පළිගන්න නොවෙයි. මහජනයාගේ දේපොළ කව්රුහරි කොල්ලකාලා තිබෙනවා නම් ඒවා නැවත මහජනයාට අත්පත් කරදෙන එක අපේ වගකීමක්. මේවා කරන  කොට දේශපාලනයට එන්නේ පිරිසිදු මිනිස්සු විතරයි. හොරු එන්නේ නැහැ. දූෂිතයෝ අපරාධකාරයෝ දේශපාලනයට එන්නේ නැහැ. අපේ රටේ සියලු අපරාධ පිටපුස ඉන්නේ දේශපාලනඥයෝ. අද දේශපාලනය, අපරාධකරුවන්ගේ මඩ ගොහොරුවක්. අද අපේ රට පාලනය කරන්නේ අපරාධ කාරයෝ. ඔවුන්ව දේශපාලන පිටියෙන් ඉවත්කරලා අපි මේ දේශපාලන පිටිය පිරිසිදු කරනවා.



අපි ගුණාත්මක පොහොර දෙනවා 

අපි ගොවියන්ට මේ ලබාදෙන පොහොර සහනාධාරය ලබාදෙන ගමන් ගුණාත්මක පොහොරද ලබාදෙනවා. තේ වගාවට ගෙනාපු පොහොර බාල වර්ගයේ ඒවා කියලා පර්යේෂණවලින් ඔප්පු වුණා. එළවළුවලට දාන්න දෙන්නෙත් බාල පොහොර. ඇමතිවරු, ව්‍යාපාරිකයෝ එකතුවෙලා තමයි මේවා කරන්නේ. අපි ගුණාත්මක පොහොර ලබාදෙනවා, වගේම කලට වේලාවට ඒවා ලබාදෙනවා. කාබනික සහ රසායනික පොහොර මිශ්‍රණයක් අපේ රටේ ගොවීන්ට අපි ලබාදෙනවා. අපේ ඉහළ ප්‍රමිතියෙන් යුක්ත ගම්මිරිස්වලට පිටරට බාල ඒවා ගෙනල්ලා කලවම් කරලා ඉන්දියාවට පැටෙව්වා. අපේ ගම්මිරිස්වල මිල බැස්සා. මේ ජාවාරම කළේ මේ දේශපාලනඥයෝ. පක්ෂ දෙකේම මැති ඇමතිවරු සහ ඔවුන්ගේ ගජමිතුරු ජාවාරම්කාර මුදලාලිලා. මේ ජාවාරම් නතර කරන්න පුළුවන්,  ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි. අපේ වේදිකාවේ ජාවාරම්කාරයෝ නැහැ. කළු ව්‍යාපාරිකයෝ නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරයට ඒ ගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ ගොල්ලන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරයම මෙහෙයවන්නේ කළු ව්‍යාපාරිකයෝ. ගම්මිරිස්වලට සාධාරණ මිලක් ලබාදෙන කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අපි ඇති කරනවා.

අද ඔබලා මුහුණදෙන තවත් බරපතළ ප්‍රශ්නයක් තමයි අලි ප්‍රශ්නය. 2017 දී අලිගහල 92ක් මැරිලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් සදාකාලික අබ්බගාතයෝ වෙලා. නිවාස විශාල ප්‍රමාණයක් විනාශවෙලා. වගාබිම් විශාල ප්‍රමාණයක් හානිවෙලා. මේ ආණ්ඩුවලට අලි ප්‍රශ්නයටවත් උත්තර නැහැ. එක පැත්තක අක්‍රමවත් සංවර්ධනය. කැලෑ අක්කර දහස් ගණන් එළිකළා. ඒවායේ හිටපු අලි ගම් වදින්න පටන් ගත්තා. උන්ව පාලනය කරන්න සැලැස්මක් හැදුවේ නැහැ.


දැනට තිබෙන හොඳම විසඳුම විදුලි වැට

දැනට තිබෙන හොඳම විසඳුම විදුලි වැට. ආණ්ඩුව කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා වෙන ඒවාට. නෙළුම් කුළුන හදන්න බිලියන 24යි. කෝටි 2400යි. ලංකාවේ අලි ඉන්න කැලෑ සහ ගම්මාන වෙන්කරලා විදුලි වැටවල් ගහන්න එච්චර සල්ලි යනවාද? සූරියවැව පිට්ටනියට දශලක්ෂ 5000යි. ලංකාවෙම අලි ප්‍රශ්නය විසඳන්න තිබුණා මේ සල්ලිවලින්. ඒවා නොකර ක්‍රිකට් ගහන්නේ නැති පිට්ටනි හැදුවා. අලි – මිනිස් ගැටලුවට ස්ථිර වශයෙන් විසඳුම් දෙන පාලනයක් අපි හදනවා. මේ ගැටලු විසඳන්න පුළුවන් අපේ පාලනයක් යටතේ පමණයි කියලා, අපි සහතික කරලා කියනවා. ඒක කරන්න අපිට බලය ලබාදෙන්න. අපි තමුන්නාන්සේලාගෙන් ඉල්ලන්නේ එපමණයි.” යන්නයි.