මනුතාපය ( ශ්‍රී ලන්කන් වර්ෂන් )

| අමිල ගුණරත්න

කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයේ පිං පෙට්ටියේ රුපියල් 717ක් සොරකම් කළැයි සැකපිට මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මුනියන්ඩි මහාලිංගම් යන පුද්ගලයා ජනවාරි 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. මොහු මෙම සොරකම සිදු කොට ඇත්තේ පන්සලේ වැඩට පැමිණි සිටියදීය. සොරකම යනු වැරදි ක්‍රියාවකි. සාංගික දේපල සොරා ගැනීම අපාගත වන ක්‍රියාවක් බව බුදු බනෙහි දැක්වේ. අද කාලයේ දේශපාලකයන් රජයේ නිලධාරීන් ගහන ගැහිලි දෙස බැලු විට මෙම පුද්ගලයා සොරකම් කොට ඇත්තේ රුපියල් 717 වැනි සොච්චම් මුදලකි. මොහු පිංකැටය කඩා මුදල් සොරකම් කරන්නට ඇත්තේ තමන්ගේ පාක් රෝඩ් එකේ නිවසට ටයිල් ඇල්ලීමටවත් , සුපිරි වාහන ගැනිමටත් නොව සමහර විට බඩගින්නේ සිටින දරු පවුලට යම් මුදලක් යැවීමට විය හැකිය. වික්ටර් හියුගෝ ගේ මනුතාපය පොතේ ජනවර්ජන නැමැත්තා පුජකයෙකුගේ රිදී පහන් වැට දෙකක් සොරාගෙන යද්දී පොලිසියට අසු විය. පොලිසිය සොරා පුජකයාගේ ගෙදරට ගලග්‍රහණයෙන් ගෙන ආ විට කරුණාවන්ත පුජකයා ඒවා තමා සොරාට පරිත්‍යාග කල බව කියා පොලිසිය විසින් ඔහුගේ ඇටකටු කුඩු කොට සිරගෙට දැමීම වලකා ගත්තේය. මේ නිසා සොරා සදහටම වෙනස් පුද්ගලයෙකු බවට පරිවර්තනය විය. නමුත් මේ කතාවට අනුව අපේ සොරාව රුපියල් 717 කට රිමාන්ඩ් කරනු ලැබීය. ඔහුගේ දරුපවුලට සිදු වුයේ කුමක්ද අප දන්නේ නැත. එය අපට ( සම්බුද්ධාලෝක විහාරයට සහ පොලිසියට) අදාල නැත. පන්සලේ හාමුදුරුවන් මොහුට සමාව දුන්නේ නම් මොහුද ජනවර්ජන මෙන් වෙනස් මිනිසෙකු වීමට ඉඩ තිබුණු බව යමෙකුට තර්ක කල හැක. එසේම සමාව දීමෙන් පසු මොහු යලි පන්සලේ රන් පිළිමයක් සොරා ගැනීමට ඉඩ තෙබෙන බවටද තර්කයක් ගෙන ආ හැක. කෙසේ නමුත් වැරදි කිරීම සහ දඬුවම් දීම මිස සමාව දීම යන ආර්ය ගතිය පුරුදු නැති ලංකාවට කරුණාවන්ත පුජකයන් මෙන්ම ජනවර්ජනලාද අවශ්‍ය නැත. අවශ්‍ය අපරාදය සහ දඬුවම පමණි. දඬුවමද මුනියන්ඩිලා වැනි හැල්මස්සන් සඳහා පමණි. තෝරු මෝරු මිලියන ගණන් සොරකම් කොට යහතින් සිටිති. උන්ට දඬුවම් නැත.