අවිධිමත් හා අකාර්යක්‍ෂම අමාත්‍ය මණ්‌ඩලය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්‌

| පූජ්‍ය ඌවතැන්නේ සුමන ස්‌ථවීර

( 03. 02. 2012 | lankaguardian,com ) රාජ්‍යයන්හි ජනගහනයට සාපේක්‍ෂව ලොව විශාලතම අමාත්‍ය මණ්‌ඩලය ස්‌ථාපිත කර ඇත්තේ අපගේ මාතෘ භූමියේය. එA වාගේම තේ ගහට, පොල්ගහට, ගම්මිරිස්‌ වැලට, පුද්ගලික හා පොදු බස්‌වලට පවා අමාත්‍යාංශ පිහිටුවා ඇති එකම රටත් අපේ රටය. එA ආකාරයට විමධ්‍යගත කරමින් වඩාත් ජනතාවාදී කාර්යක්‍ෂම ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යැම එමගින් අපේක්‍ෂා කරන බවත් අදාළ බලධාරීන් කොතෙකුත් ජනතාව හමුවේ ප්‍රකාශ කරනු අසන්නට දකින්නට ලැබී තිබේ.

රජයේ බලධාරීන්ගේ අපේක්‍ෂා අරමුණු හෝ ප්‍රකාශ එA ආකාරයෙන්ම ඉටුවී ඇද්ද යන්න විමසා බැලීම යුගයේ අතිශය වැදගත් කාර්යයකි.

ජනතා අවශ්‍යතා වඩාත් සාධාරණ ලෙසත් කාර්යක්‍ෂමවත් විධිමත් ආකාරයෙනුත් ඉටු කිරීම උදෙසා මේ සා විශාල අමාත්‍ය මණ්‌ඩලයක්‌ පිහිටුවීමට හේතු වූ බවට අදාළ බලධාරීන් කළ ප්‍රකාශ තමන්ම පත්කරගත් ආණ්‌ඩුව නිසාත්, මුහුණ සමග අමනාප වී නහය කපා ගැනීම බුද්ධි ගෝචර නොවන නිසාත් එA හා මහජන මුදල් නාස්‌තිය ඉවසා සිටීමට ජනතාව පෙළඹිණි. පොදු ජනයා ජනාධිපතිතුමා සලකා තදබල අපේක්‍ෂාවකින් යුතුව හැඟුම්බරව සිටීමට පෙළඹීමත් දක්‌නට තිබිණි.

මෙම ක්‍රමය තුළ කෘෂිකර්මය එක්‌ අයකුත් මහවැලි හා වාරිමාර්ග තවත් අයකුටත්, ගොවිජන සේවා තවත් කෙනකුටත්, ඉඩම් වෙන පුද්ගලයකුටත් බෙදී යැමත්, එම අමාත්‍යාංශ අතර අන්තර් සම්බන්ධතාවක්‌ නොමැතිකමත් මත විශේෂයෙන් ගොවි ජනතාව ඇතුළු පොදුවේ ගත් කල මහජනතාව මුහුණපා සිටින අසීරුතා වචනයෙන් විග්‍රහ කළ නොහැකි තරම්ය. රටේ ඉදිරි ගමනට විශේෂයෙන් සංවර්ධන අරමුණු ඉලක්‌කවලටත් මෙම පරස්‌පරතාවන් අත්කර දෙනුයේ කටුවැටවල්ම පමණි.

එම කටුවැල් තුළින් පවා තහවුරු කෙරෙනුයේ අමාත්‍යාංශ සංඛ්‍යාව පුළුල් කරමින් බලය විමධ්‍යගත කිරීම වඩ වඩාත් පුළුල් කිරීමෙන් අපේක්‍ෂා කළේ ජනතාවට වඩාත් යහපත් සාධාරණ කාර්යක්‍ෂම හා විධිමත් සේවාවක්‌ ලබාදීම නම් සිදුවී නැත්තේ ද එයම පමණි. විශාල වපසරියකින් යුත් අමාත්‍යාංශ කිහිපයකින් සුසැදි අමාත්‍ය මණ්‌ඩල පැවැති කාලයේ ජනතාවට ඉටුවූ සේවාවත් වර්තමානයේ සිදු නොවන බව වැඩිහිටි කවුරුත් ප්‍රායෝගිකව අත්විඳින සත්‍යයකි.

නමුත් විපක්‍ෂය චෝදනා කරන ආකාරයට ජනාධිපතිතුමා සැබෑ ලෙසම මෙමගින් අපේක්‍ෂා කළේ තම පාර්ලිමේන්තු කණ්‌ඩායමට වරප්‍රසාද, වරදාන ලබාදී ඔවුන් තමන් වෙත පක්‍ෂපාතී කරගැනීමත්, විපක්‍ෂ කණ්‌ඩායම් පවා තමා වෙත ආකර්ෂණය කරගනිමින් තම බලය වඩ වඩාත් ශක්‌තිමත් කර ගනිමින් ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ සිටි බලවත්ම ශක්‌තිමත්ම නායකයා වීම නම් එම අරමුණ, අභිලාෂය කදිමට ඉටුවී ඇති බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය.

අමාත්‍ය මණ්‌ඩල බලය විමධ්‍යගත කරමින් ලොව විශාලතම අමාත්‍ය මණ්‌ඩලයක්‌ නිර්මාණය කර ඇතත් පසුගිය වසර 6 ක පමණ කාලය දෙස ආපසු හැරී බැලීමේදී මහින්ද චින්තන අරමුණු, සැලසුම් හෝ ජනතා අභිලාෂයන් ඉටු කිරීමට යම් පමණකින් හෝ සමත aව සිටිනුයේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු අමාත්‍යවරුන් සංඛ්‍යාවක්‌ පමණි. අති බහුතරයක්‌ තමන්ට ලැබී ඇති වරප්‍රසාද, වරදාන උපරිමව භුක්‌ති විඳිනවාට අමතරව වැඩ කරනවා වෙනුවට වැඩ අනාගැනීමටත්, දූෂණ අක්‍රමිකතාවන්හි යෙදීමට හෝ ජනාධිපතිතුමාට පමණක්‌ නොව රටටත් ජනතාවටත් බරක්‌, කරදරයක්‌, ශාපයක්‌ව පවතින බවත් මෑත ඉතිහාසය කොතෙකුත් ප්‍රායෝගික සාක්‍ෂි සපයයි.

බොහෝ අමාත්‍යාංශවල විනය පිරිහීම අකාර්යක්‍ෂමතාව, දූෂණ, අක්‍රමිකතා, මහජන දේපළ නාස්‌තිය කැපී පෙනෙන ආකාරයෙන් වර්ධනය වී තිබේ. ප්‍රායෝගිකව බැලූ බැල්මට එ.ජා.ප. යේ දාහත් අවුරුදු පාලන සමයට බොහෝ සෙයින් සමාන්තර තත්ත්වයක්‌ එම පසුබිම තුළ දැකගත හැකිය. මෙම තත්ත්වයන් පිළිබඳව කතා කිරීමේදී විපක්‍ෂයට ඔවුන්ගේ පැටිකිරිය වමාරමින් පහරදීමට ඇතැමුන් පෙළඹී සිටිති. එහෙත් එ.ජා.ප. ය විපක්‍ෂයට දමමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බලයට පත්කර ගැනීමට මේ රටේ බහුතර ප්‍රගතිශීලී ජනතාව පෙළඹෙනුයේ එදා විපක්‍ෂය කළ දෙයම මෙම රජයෙන් සිදු කරවා ගැනීමට නම් නොවන බව තේරුම් ගැනීම වත්මන් ආණ්‌ඩු පක්‍ෂයට වඩාත් හිතකරය.

සතුරන් නිර්මාණය කරගැනීමත් අර්බුද නිර්මාණය කරගැනීමත් දක්‍ෂ, බුද්ධිමත් අමාත්‍ය මණ්‌ඩලයක ලක්‍ෂණයක්‌ නොවන බවත් ලොව පරසිඳු දේශපාලන චින්තකයින් පමණක්‌ නොව ගෞතම බුදුන් වහන්සේ ද අවධාරණය කර තිබේ. එහෙත් මේ බෞද්ධ රාජ්‍යයේ අමාත්‍ය මණ්‌ඩලයේ ඇතැමුන් අනුගමනය කරනුයේ අර්බුද හා සතුරන් නිර්මාණය කරගැනීමේ පිළිවෙතක්‌ම බව මෑතකාලීන ඉතිහාසය පවා සාක්‍ෂි සපයයි.

මෙහිදී අප අමතක නොකළ යුතුම කාරණයක්‌ වනුයේ පැවැති ප්‍රතිගාමී අන්ත දක්‍ෂිණාංශික ආණ්‌ඩුවක්‌ පෙරළා ප්‍රගතිශීලී කඳවුරේ සියලු බලවේගයන් මෙන්ම දේශමාමක බලවේග එක්‌ව විශාල අරගලයකින් පසුව ප්‍රගතිශීලී දේශපාලන නායකයකු ලෙසට විශ්වාසය තැබූ නායකයකු වූ මහින්ද රාජපක්‍ෂයන් හා ක්‍රියාකාරීන් පිරිසකගෙන් සමන්විත "ප්‍රගතිශීලී" රජයක්‌ පත්කර ගැනීමට කටයුතු කළ ආකාරයයි. එවන් වූ ප්‍රගතිශීලී රජයකින් එම ප්‍රගතිශීලී ජනතාව අපේක්‍ෂා කරනුයේ ප්‍රගතිශීලී ජනතාවාදී ක්‍රියාකාරකම් විනා ප්‍රතිගාමීන්ටත් සිදු කිරීමට නොහැකි වූ නව ලිබරල්වාදී ප්‍රතිපත්ති හෝ ක්‍රියාකාරකම් නොවන බව නම් සත්‍යයකි.

අවස්‌ථාවාදී දේශපාලනයකට නෑකම් කියමින් දක්‍ෂිණාංශික මත ආකල්ප දරමින් වුවද ප්‍රගතිශීලී ආණ්‌ඩුවක අමාත්‍ය මණ්‌ඩලයට රිංගාගෙන සිටින ඇතැමුන් ජනතා විරෝධී, ප්‍රගතිගාමී හෝ මැර ක්‍රියාකාරකම්වල යෙදෙමින් අර්බුද නිර්මාණය කරමින් ප්‍රගතිශීලී ජනතාවගේ බලවත් විරෝධයට ලක්‌වෙමින් සිටී. ජනාධිපතිතුමා ඇතුළු ආණ්‌ඩුව පිහිටුවීමට එක හෙළාම කැපවීමෙන් ක්‍රියා කළ එනිසාම ප්‍රතිගාමී ආණ්‌ඩුවල දේශපාලන පලිගැනීම්වලට අපමණවත් ගොදුරු වූ ප්‍රගතිශීලී බලවේග ආණ්‌ඩු විරෝධී, ප්‍රතිගාමීන්, කොටි හිතවතුන් විසින් හුවා දැක්‌වීමට තරම් ඇතැම් ප්‍රගතිශීලී වෙස්‌මුහුණු දරන්නන් පෙළඹී සිටීම මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරයට සිදු කරන අතිශය හානිකර වූත්, නින්දාසහගත වූත් ක්‍රියාවක්‌ බව ඉතාමත් පැහැදිලිය.

රටේ පොදු ජනතාව අපේක්‍ෂා කළ හා කරන ආකාරයේ ප්‍රගතිශීලී, ජනතාවාදී මෙන්ම සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුවක්‌ රට තුළ නිර්මාණයවීමට සේම පැවැත්ම සඳහාත් ප්‍රගතිශීලී මත ආකල්ප දරණ, බුද්ධිමත් හා කාර්යක්‍ෂම මෙන්ම මානවවාදී අමාත්‍යවරුන්ගෙන් සුසැදි මණ්‌ඩලයක්‌ තිබිය යුතුමය. මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ පවත්නා ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ක්‍රමය යොදාගත යුත්තේ එම අවශ්‍යතාව පිරිමසා ගැනීම උදෙසාය.

පසුගිය වසර 30 කට අධික කාලය තුළදී ප්‍රතිගාමී ආණ්‌ඩු විසින් ජනතා සහන හා සුබසාධන කප්පාදු කිරීමට දැරූ උත්සාහයන් පරාජය කිරීමට සමත්වූයේ ද ප්‍රගතිශීලී ජනතාවගේ ඉමහත් කැප කිරීම් මත බව තහවුරු කිරීමට අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත.

එසේ රැකගත් දේ තමන් විසින්ම ගොඩනඟා ගත් ප්‍රගතිශීලී ආණ්‌ඩුවක අමාත්‍ය මණ්‌ඩලයකට රිංගාගත් ප්‍රතිගාමීන් විසින් විනාශ කිරීමට උත්සාහ කිරීම මෙරට ප්‍රගතිශීලීන්ට දරාගත නොහැකි කාරණයක්‌ බව අවිවාදිතය. එහෙත් මොනයම් හේතුවක්‌ නිසා හෝ දැන් සිදුවෙමින් පවතිනුයේ එයයි. ප්‍රගතිශීලී වෙසින් සිටින ප්‍රතිගාමීන් යැමට තැනක්‌ ඉතුරුව ඇතත්, තමන් බලයට ගෙන ආ ප්‍රගතිශීලීන් විරසක කරගත් ආණ්‌ඩුවක අත්විය හැකි ඉරණම කෙබඳු වේද? මෙය ප්‍රගතිශීලීන්ගේ පමණක්‌ නොව මාතෘ භූමියේ ද තදබල අභාග්‍යයකි. එA පිළිබඳව බුද්ධිමය විසඳුම් සෙවීමට ආණ්‌ඩුව තවමත් ප්‍රමාද නැත.