පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක වදය සහ ලිංගික අපරාධ කල සිසුන් තිදෙනා යලි රිමාන්ඩ්

| අමිල ගුණරත්න

( 10.02.2012 | lankaguardian.com ) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුවකු බලහත්කාරයෙන් විශ්ව විද්‍යාලයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් ඔහුව නිරුවත් කොට නවක වදය ලබා දී ඉන්පසු ඔහුට ලිංගික අතවරයක් සිදු කල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන චරිත් ලක්මාල් රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන සිසුන් තිදෙනා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් මෙම මස 23 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු කිරීමට නියෝග කළේය. ලිංගික අපයෝජන චෝදනා එල්ල වී ඇති විත්තිකාර සිසුන් තිදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන සුදත් කරවිට, තිස්ස මාරාහෙල, ප්‍රදීප් රණසිංහ ඇතුළු මහත්වරු, සිසුන් තිදෙනා වෙත ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් මහේස්ත්‍රාත්වරයා වෙත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කල නමුත් වරදේ ස්වභාවය දරුණු හා සහාසික නිසා ඇප අයැදුම නිෂ්ප්‍රභ කරන ලදී. යළි රක්ෂිත බන්ධනාගාර ගතකළ සිසුන් තිදෙනාගෙන් බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබාගැනීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි විජේසූරිය මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය. නවක වදයට සහ ලිංගික අතවරයට ලක් වූ සිසුවා දැඩි ශාරීරික සහ මානසික තුවාල වලට ලක්වී සිටින අතර ඔහු යලිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාමට අකමැත්ත පල කොට ඇතැයි ඔහුගේ පවුලේ ඥාතිහු පවසති.පොලිසිය විසින් අධිකරණ වෛද්‍යවරකුට යොමු කරන ලද නවක සිසුවා ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බව තහවුරු වී ඇත. 

පසුගිය කාලය පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවකයන්ට දරුණු ශාරීරික හා ලිංගික අතවර සිදුවී ඇති අතර විශ්වවිද්‍යාල බලධාරීන් එම හිංසන නැවැත්වීමට කිසිදු පියවරක් ගෙන නැත. මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසුවියන් තිදෙනෙකු නවක සිසුවියන් කණ්ඩායමක් වැසිකිළියක බලෙන් රඳවාගෙන නිරුවත් කොට නවක වදය ලබා දී ඇති නමුත් විශ්වවිද්‍යාල බලධාරීන් එම සාපරාධී ලිංගික හිංසනය සිදු කල සිසුවියන්ට පනවා ඇත්තේ සති තුනක පන්ති තහනමක් පමණි. මෑත කාලයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසනයේ වැඩිවීමක් දක්නට ලැබුණු අතර ලිංගික අතවරයන්ට ලක්වූ බොහෝ සිසු සිසුවියන් මුනිවත රකින නිසා හිංසකයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීම අසීරු වී තිබේ. එසේම විශ්වවිද්‍යාල බලධාරීන්ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලිංගික අපරාධ යට ගැසීමට ක්‍රියා කරන බව නවක සිසු සිසුවියන් පවසති.