රේල් පීලි වංචාවට සුදර්මන් මාට්ටුවෙයි

( 10.02.2012 | lankaguardian.com ) ගලවා ඉවත් කළ දුම්රිය පීලි තොගයක් ව්‍යාජ ලියැවිලි මත විකිණීම සඳහා දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 15ක් වංචා කළැයි යන චෝදනාවකට සුදර්මන් රදලියගොඩ වහා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය මිරිහාන වංචා විමර්ශන අංශයට නියෝග කළාය.

පැමිණිලිකරුවන් වන අනිල් තිලක් බණ්ඩාර හා අශෝක කුමාර ජයතිලක වෙනුවෙන් කැරණු දැක්වූ නීතිඥ ජී.පී. කරුණාරත්න මහතා කියා සිටියේ සැකකරු බලවත් පුද්ගලයකු නිසා පොලිස් හා අධිකරණ නියෝග නොසලකා හැර ඇති බවයි.

නීතිය හමුවේ කිසිවකු බලවත් නැතැ යි කී මහේස්ත්‍රාත්වරිය තරාතිරම නොබලා ඔහු අත්අඩංගුවට ගන්නැයි පොලිසියට නියෝග කළාය.

සුදර්මන් රදලියගොඩ නැමැත්තා ස්වාධීන රූපවාහිනියේ විධායකයෙකු වන අතර පසුගිය අවසන් පාර්ලිමේන්තු මැතිවරනයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරගකළ අපේක්ෂකයෙකුද වන්නේය.

මීට පෙරද ඔහුට විරැද්ධව නොයෙකුත් චෝදනා එල්ලවූ අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විදේශගත කිරීමට අදාලව සිදුවූ වංචාවක් සම්බන්ධ නඩුවක්ද අධිකරණය ඉදිරියේ විභාගවිය.