හොර දොස්තරලා වසර 5ක් හිරගෙට ! එතකොට එලියන්තට මොකද වෙන්නේ ?

| අමිල ගුණරත්න

( 02.02.2012 | lankaguardian.com ) හොර දොස්තරලා වසර 5ක් හිරගෙට යැවීමට නීති සකස් කරන බවට දිනමිණ පුවත් පතේ සන්ධ්‍යා කරුණාරත්න සඳහන් කරන්නීය. මේ නීති කෙටුම්පත ගැන අපට ගැටලුවක් තිබේ. මෙය ජනාධිපතිගේ වෛද්‍යවරයා ලෙස රටට හඳුන්වා දුන් එලියන්ත වයිට් සම්බන්දයෙන් ක්‍රියාත්මක වේද කියා අප දැනගැනීමට කැමතිය. හෙළි වූ පරිදි එලියන්ත වයිට්ට කිසිම වෛද්‍ය උපාධියක් නැත. වයිකල්පිත වෛද්‍ය මණ්ඩලය කියා ගීතාංජන මෙන්ඩිස් වැනි හොරු මුදලට උපාධි විකුණන ආයතනයකින් කඩදාසියක් නම් ඔහුට තිබේ. මෙය නීති විරෝධී ආයතනයක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රෙජිස්ටාර්වරයා පවසා තිබේ.

හොර දොස්තරලා වසර 5ක් හිරගෙට නම් එලියන්තට මොකද වෙන්නේ කියා ගැටලුවක් මතුවේ.

හොර දොස්තරලා වසර 5ක් හිරගෙට යැවීමට නීති සකස් කරන බවට දිනමිණ පුවත් පතේ සඳහන් පුවත මෙසේය.

වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින වංචනික පුද්ගලයන්ට (ව්‍යාජ වෛද්‍යවරුන්ට) එරෙහිව වසර පහක සිර දඬුවමක් නියම කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ සාකච්ඡාවේදී මේ තීරණය ගෙන තිබේ.වෛද්‍යවරුන් ලෙස පෙනීසිටින වංචනික පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ සුළු දඩයක් නිසා එම පුද්ගලයන් දඩය ගෙවා ගොස් නැවතත් ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර කටයුතුවල නිරත වන බවට වාර්තා වන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.මේ පුද්ගලයන්ට එරෙහිව පවතින නීතිවල ලිහිල්භාවය නිසා මෙසේ ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාරවල යෙදීමට ඔවුහු කටයුතු කරති.මෙසේ වසර පහක සිර දඬුවමක් නියම කිරීමෙන් මේ පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන නීතිය දැඩි වේ. එමඟින් රෝගීන්ට සිදු වන අසාධාරණය වළක්වාලීමට හැකි යැයි ද වෛද්‍ය පාදෙනිය මහතා කීය.

මෙවැනි ව්‍යාජ වෛද්‍යවරුන් 40,000 ක් පමණ මෙරට සිටින බවත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේ යම් ගැටලුවක් පවතින බවත් පැවැසූ ඒ මහතා මෙසේ සිරදඬුවම් නියම කිරීම මඟින් මෙරට සිටින ව්‍යාජ වෛද්‍යවරු ඉවත් කළ හැකි බවත් පැවැසීය. සෑම පොලිස් කොට්ඨාසයකම රෝගී ප්‍රතිකාර සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ගේ තොරතුරු ගෙන සංගණනය කිරීම මඟින් ව්‍යාජ වෛද්‍යවරුන් කවුදැයි සොයා ගත හැකිය. බටහිර වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු, හෝමියෝපති වෛද්‍යවරු ලෙස නීති්‍යානුකූලව සේවයේ යෙදෙන වෛද්‍යවරු කොට්ඨාසයක් සිටිති.මෙසේ නීති්‍යානුකූලව ලියාපදිංචිව නොමැති පුද්ගලයන් ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස හඳුනාගන්නා අතර ඔවුන්ගෙන් මේ සමාජයට විශාල අහිතකර බලපෑමක් සිදු වන බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.