මගේ අත්සනින් මුදල් ගත්තා කියා ඔප්පු කළොත් ඉල්ලා අස්‌වෙනවා

| ලසිත දුමින්ද

රුහුණු පුත්‍රයෙක්‌ විදිහට තමා කවදාවත් වැරදි කොට නැති බවත්, කවුරුත් තමාගේ අත්සනින් මුදල් ගත්තා කියලා ඔප්පු කළොත් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වන බවත් මහජන සබඳතා හා මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා මහතා පැවැසීය.

වැරදිලා මද කිපුණොත් තමාට විරුද්ධව කටයුතු කරන සියලු දෙනාටම රත්නත්‍රයේ පිහිට ප්‍රාර්ථනා කරන බවත්, එහෙම නොවේවා කියා තමා ප්‍රාර්ථනා කරන බවත්, එසේම ලේසියෙන් දැන් මද කිපෙන්නේ නැති බවත් ඇමැතිවරයා ඊයේ (09 වැනිදා) කොළඹ පිහිටි එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

"අප්‍රසිද්ධ මිනිස්‌සු ප්‍රසිද්ධ වෙන්නයි වොයිස්‌ කට්‌ දෙන්නේ. මට එහෙම කලබලයක්‌ නැහැ. මුළු ලංකාවම මා ගැන දන්නවා. කළ සේවය දන්නවා. මම නොදැනුවත්කමින් දෙව්දත්, මූසිලයන් මා ළඟ හිටියා. පසළොස්‌වක පෝය පහු වුණා. හඳ මෝරන කාලයට සමහර අයට පිස්‌සු වටෙනවා. ඒ අය හිතුවා මට මද කිපෙයි කියලා. මට මද කිපෙන්නේ නැහැ. මම මේ දවස්‌වල කුමාරදාස මුනිදාසයන්ගේ හීන් සැරය පොත කියවනවා.

මහ මුහුද වගේ කුණු රොඩු වෙරළට ගෙනත් දානවා. වෙරළ සංරක්‍ෂණය වගේ වෙරළ පිරිසිදු කරලා දායි. දූෂණ වංචා මම කරලා නැහැ. රහස්‌ පොලිසියට, පොලිස්‌ මූලස්‌ථානයට, අල්ලස්‌ කොමිසමට පැමිණිලි කරන්න. මා එක්‌ක විවාද කරන්න එන්න කියන්න සරත් ෙµdන්සේකාට. එයා කිව්වනේ කැලණිය ප්‍රාදේශීය සභාවට ප්‍රශංසා කරනවා කියලා. මර්වින් කැළණිය ප්‍රාදේශීය සභාවේ පිස්‌සොත් එක්‌ක විවාද කරන්නේ නැහැ. (ඇමැතිවරයා කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ දූෂණ වංචා අල්ලස්‌ ලබා ගැනීම් පිළිබඳ ලිපිලේඛන, බැංකු වාර්තා මාධ්‍ය වෙත පෙන්වයි.)

මගේ අයිඩෙන්ටිය මඩවල මන්ත්‍රීවරයා අරගෙන. මම මන්ත්‍රීවරුන්ට හැඳුනුම්පතක්‌ දුන්නා. ඔවුන්ට මා කැළණියට එන කොට සෙරෙප්පු දෙකක්‌වත් නැහැ. දැන් ඔවුන් ඉන්න හැටි බලන්න. හොඳට සූට්‌ ඇඳලා, හොඳට ඉන්නවා. දකින්නත් සතුටුයි. මම කියන්නේ ඔයලාත් කන්න බොන්න ඕන. එන අයටත් කන්න බොන්න දෙන්න ඕන. දියුණු වෙන්න ඕන. ඔන්න ඒ අය දියුණු වෙලා කළ වැඩේ. මඩවලට දුන් හැඳුනුම්පත කුඩුකාරයකුට දීලා. එයා කුඩු කිලෝග්‍රෑම් දෙකක්‌ එක්‌ක අහු වුණා. දැන් මඩවලට දුන්න හැඳුනුම්පත කුඩුකාරයාට ගියේ කොහොමද කියලා පොලිසියෙන් හොයා බලනවා. මම වැරදි නම් මට විරුද්ධව කටයුතු කරන්න.

සිංහයා කවදාවත් නරියෙක්‌ කාලා තියෙනවාද? සිංහලා ඉන්න තැන නරියත් ඉන්නවා. සිංහයාගේ ගොදුර ඉතුරු වුණොත් නරියා කනවා. නරියා කැලේට ගිහින් කියනවා පේනවනේ අපි දෙන්නගේ තියෙන යාලුකම, මා දිහා සිංහයා හැරිලාවත් බලන්නේ නැහැ කියලා.

මම නීතිඥවරු සමඟ මේ දිනවල සාකච්ඡා කරනවා. මගේ කීර්තිනාමයට හානිදායකව කටයුතු කිරීම ගැන. මගේ මේ අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාව. ඒ නිසා මා ගැන කිසිම මාධ්‍යයක්‌ මට කතා කරන්න එපා. මාධ්‍යයත් ඇත්ත නැත්ත හොයන්න. ඒවා පෙන්වා දෙන්න. මගේ හොඳ වගේම නරක දේවල් ප්‍රචාරය කරන්න. කවුරුත් මගේ අත්සනින් මුදල් ගත්තා කියලා ඔප්පු කරලා තියෙනවාද? එහෙම වෙලා තිබුණොත් මම ඉල්ලා අස්‌වෙනවා. රටෙන් හොයලා බලලා මම වැරදි නම් මඩ ගහන්න. චෝදනා කරන අයට මම කියන්නේ ඒවා ඔප්පු කරන්න කියලයි. ඔය චෝදනා කරන කිසිවෙක්‌ කිසිම ලිපිලේඛනයක්‌ නොමැතිවයි මඩ ගහන්නේ. මට විරුද්ධව රැලි නැහැ. රැලි තියෙන්නේ මුහුදේ විතරයි. ශ්‍රීපති කැලණිය දාලා ගිය වෙලාවේ තමයි මම කැලණිය භාර ගත්තේ. මේ අය හැංගිලා හිටියේ. වැටිච්ච කැලණිය ගොඩ ගත්තේ මර්වින්. ප්‍රාදේශීය සභාවකට පුළුවන්ද මගේ ඇමැති ධුරය ඉවත් කරන්න. තවම මගේ ඇමැති ධුරයයි, ආසන සංවිධායක ධුරයයි තියෙනවා" යෑයිද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.