'සුදු වෑන්' පිරිස් තවත් අයෙකු බිලිගනී

තොටළඟ පර්ගියුසන් පාරේ එක්දරු පියකු වන දිනේෂ් බුද්ධික චරිතානන්ද (25) හිසට වෙඩි තබා මරා, සිරුර කැලණි ගෙඟ් තොටුපොළ අසල දමා ගොස් තිබියදී අද (04) උදෑසන සොයාගත් බව ග‍්‍රෑන්ඞ්පාස් පොලිසිය කියයි.

අදාළ මළ සිරුර ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇති අතර, තම පුතා ඊයේ රාත්‍රී අංක තහඩු නැති සුදු පැහැති වාහනයකින් පැමිණි නාදුනන පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව ඇය පොලිසියට පවසා ඇත.

මේ අතර පෙරේදා (02) රාත්‍රී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් පුත්තලම, සන්ගට්ටිකුලම් ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මරා දමා තිබිණ.

මෙසේ මරාදමා ඇත්තේ පුත්තලම ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් නිස්තාර් නැමැත්තෙකි.

මියගිය අය ත‍්‍රිරෝද රියකින් ඉන්ධන පිරවුම්හලකට යමින් සිටියදී පහැර ගැනීමට ලක්ව ඇති අතර පසුව ඔහුගේ මළ සිරුර හමුවී තිබේ.

හිසට එල්ලවූ වෙඩි ප‍්‍රහාරයකින් මොහු මියගොස් ඇති බවද පැවසේ.

මියගිය අය පුත්තලම ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කරනු ලබන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අයෙකි.

මෙම පැහැරගෙනයාම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත.