අවශ්‍ය වන්නේ විරු සිසුවන්ද ? නැතහොත් බිලි බෝයිස්ලාද ?

| ඩී සුගත් රාජපක්ෂ

එදා මෙදා තුර ශිෂ්‍ය සටන් වලදී පොලිසියේ හා හමුදාවේ උණ්ඩ වලටද ලයිසන් මැරයන්ගේ තුවක්කු වලටද සිසුන් රාශියක් මිය ගොස් තිබේ. මෙසේ මිය ගිය බොහෝ සිසුන් ජවිපෙ ට සම්බන්ධවව ක්‍රියාකාරී ලෙස සිසු අරගලවලට සහභාගී වූ පිරිස වෙති. මොවුන් තම පක්ෂය , සාමාජිකයන් විශ්වාස කොට අනාගත බලපොරොත්තු , තම ජිවිත පරදුවට තබා අරගල කල පිරිස් ය. මෙම සිසුන් මිය ගියේ සහාසික අයුරිනි. මොවුන්ගේ මරණින් පසු මරණ සහ ලේ මාකට් කිරීම හැර මියගිය සිසුන්ගේ ඥාතීන්ටවත් කිසිදු සාධාරණයක් ඉටු කිරීමට ජවිපෙ හෝ අන්තරය ක්‍රියා කොට නැති වීම කණගාටුවට කරුණකි.

1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජවිපෙ සහ අන්තරය විසින් උද්ගෝෂණ දියත් කරන ලදී. මෙම උද්ගෝෂණ වලදී මරණයට පත් වූ පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ ඇතුලූ ශිෂ්‍යයන් පිළිබඳව මෙතෙක් කිසිදු අවංකව සාධාරණයක් ඉටු කිරීමට ජවිපෙ හෝ අන්තරය අසමත් වීම තුල සිසුන් හුදෙක් බිලි බෝයිස්ලා බවට පත් කිරීම පිලිබඳ චෝදනාව ඔවුන්ට යටපත් කල නොහැක. වසරකට වරක් මළවුන් සිහිපත් කරන දිනයක ඉටිපන්දමක් පත්තු කිරීම සහ සිසු අරගලයක් පවතින විට ඔවුන්ගේ නම් පට්ට ගහනවා ඇරෙන්නට මෙම මිය ගිය සිසුන්ට සිදු වූ සාධාරණය කුමක්ද ? අවම වශයෙන් ඔවුන්ගේ මිනීමරුවන් නීතියේ රැහැනට ගෙන ඒමට පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගණනක් සහ ඇමතිකම් තිබියදී පවා ජවිපෙ අවංකව සද් භාවයෙන් ක්‍රියා කලේද යන්න පිළිබඳව ප්‍රශ්නාර්ථයක් නැගෙයි. මේ අනුව මේ මිය ගිය ශිෂ්‍යයන් සිසු විරුවන්ද නැතහොත් විකල්ප දේශපාලන ධාරාවක අවාසනාවන්ත බිලි බෝයිස්ලා වුයේද යන සැකය මතු වේ. එය එසේනම් ඔවුන් මරා දැමූ ධනපති ආණ්ඩුවත් ඔවුන්ව බිල්ලට තල්ලු කල විකල්ප දේශපාලන ප්‍රවහයත් මොවුන්ගේ මරණ වලට වග උත්තරකරුවෝ වෙති.

මෙම සිසුන් උසි ගැන්වූ ඔවුන්ගේ ගජයන් අද සමාජයේ ඉහල තනතුරු දරති. ඔවුන් බොහෝ දෙනෙකු වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන්ය. ඔවුන් ජීවිතය ඉතා ඉහල ආකාරයට විඳිති. සමහරු ඉන්නේ පිට රටවලය. මිය ගිය සගයන් ගැන අද දුක් වෙන්නේ ගජයන්වත් , පක්ෂ සාමාජිකයන්වත් නොවේ දුප්පත් දෙමාපියන් පමණි. ඔවුන් පිළිබඳව සොයා බලන්නට මේ සහෝදරවරු කිසිවෙකු නැත. අනේ ඒ බව පද්මසිරිලා ත‍්‍රීමා විතානලා , වෙනුර එදිරිසිංහලා , අතුල සේනාරත්නලා , සරත් කොල්ලූරේලා දැන සිටියේ නම් ? ත‍්‍රීමා විතානලා ගේ පරල ඇණ ඔළුවට ගැසූ පුන්චි නිලමෙලා අද ඇමතිවරු වී යෙහෙන් වැජබෙති. සන්ධාන ඇමැතිකම් තිබියදී පවා ජවිපෙට සිසු මරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට උනන්දුවක් නොවිය. සිසුන් අරගලයට තල්ලු කල කුමාර් මහත්තයාලා ඕස්ට්‍රේලියාවෙන් වෛද්‍යවරියක කරකාර බැඳගෙන දැන් හොඳ ගෙවල් දොරවල් යන වාහන ඇතුව පවුල් ජිවිත ගත කරති. පද්මසිරිලා ත‍්‍රීමා විතානලා , වෙනුර එදිරිසිංහලා ,අරගලයට තල්ලු කල සමහරු දැන් පක්ෂයේ පළාතකවත් නැත. ඔවුන් ඒ අතීතය අමතක කොට රතු සළු උනා පිරුවට ඇඳ සිටිති. ත‍්‍රීමා විතානලාට මරණයේ දොරටුව පෙන්වූ සමහරු ධනපති ආණ්ඩුවේ ඔඩොක්කු කුක්කෝය. මෙම සිසුන් ඝාතනය කල මිනීමරුවන් නිදහස්ය. ඔවුන්ව බිලිබෝයිස්ලා කල දෙබිඩ්ඩන් අද සාර්ථක දේශපාලක වියාපාරිකයන්ය. අවසානයේ වැරදුනේ මෙම සිසුන්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට පමණි.

World Socialist Website විසින් පළ කරන ලද "සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයෝ උද්ඝෝෂනය තියුනු කරති " ලිපිය ලංකාවේ ශිෂ්‍ය සටන් පිළිබඳව මෙසේ කරුණු පැහැදිලි කරයි. 

2011 නොවැම්බර් 22 දා කොලඹ නගරයේ වීදි ඔස්සේ පෙලපාලි දක්වමින් වෛද්‍ය සිසුන් දහසකට අධික සංඛ්‍යාවක් "මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනු”යි ඉල්ලා උද්ඝෝෂනයක නිරත වූහ. කොලඹ වෛද්‍ය පීඨයෙන් ආරම්භ කොට මාවත් ගනනාවක් ඔස්සේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා ගමන් කල මෙම පෙලපාලිය කොලඹ, ජයවර්ධනපුර, කැලනිය, රුහුනු සහ රජරට විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විත විය. "නිදහස් අධ්‍යාපනයට අත නොතබනු”, "උපාධි කඩ අහෝසි කරනු” සහ "රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය වහා පිහිටවනු” ආදී වශයෙන් වෛද්‍ය ශිෂ්‍යයෝ සටන් පාඨ හඬ නැගූහ. (ශී‍්‍ර ලංකාව: සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයෝ උද්ඝෝෂනය තියුනු කරති)

වැඩිදුරටත් කරුණු දක්වන ලියුම්කරු මේ දේශපාලන වැඩ පිලිවෙලින් සන්නද්ධ වීමේදී ශිෂ්‍යයන් මුහුන දෙන ප‍්‍රධානතම බාධකය වන්නේ තම සම්ප‍්‍රදායික ශිෂ්‍ය සංවිධාන හා එහි නායකත්වය බව පවසයි. සරසවි ශිෂ්‍ය සංවිධානයන්හි නායකත්වයන් විසින් ශිෂ්‍යයන්ගේ සටන්කාමිත්වය යොමු කරනු ලබන්නේ ප‍්‍රහාරයන්ගේ මූලය වන ධනේශ්වර පද්ධතියට හා එය ආරක්ෂා කරන ආන්ඩුවට එරෙහිව නොව, උසස් අධ්‍යාපන ඇමතිවරයාට, එම නිලධාරීන්ට හෝ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ට එරෙහිව බව ඔහු පෙන්වා දෙයි.

මෙම ශිෂ්‍ය සටන් වල ඉතිහාසය ගැන සඳහන් කරන ලියුම්කරු මෙසේ ලියයි. ජවිපෙ හා එහි ශිෂ්‍ය සංවිධානය එම කාලයේ කි‍්‍රයා කලේ සිසුන් අතර නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පැවති බරපතල උවමනාවන් හුදු ශිෂ්‍ය දේශපාලනයකට හිර කිරීමට සහ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි වර්ගවාදී උද්ඝෝෂනයකට කොටු කිරීමට ය. සිසුන් කම්කරුවන් වෙත හැරී ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව සමාජවාදී පිලිවෙත් මත සටනකට යොමු කිරීමට විරුද්ධ වෙමින් ගෙනගිය එම දේශපාලන වැඩකටයුතු ෆැසිස්ට් කැරැල්ලක් ලෙසට වර්ධනය විය. එය, සිසුන් ද ඇතුලු ගම්බද තරුනයන් 60,000ක් පමන ලේ විලක ගිල්වීමට ද නායකයන් ද ඇතුලුව ජවිපෙ තලා දැමීමට ද යූඇන්පී ආන්ඩුවට ඉඩ පාදා දුන්නේය. (ශී‍්‍ර ලංකාව: සරසවි අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ශිෂ්‍යයෝ උද්ඝෝෂනය තියුනු කරති)

අද දිනයේ මතු වී ඇති ශිෂ්‍ය අරගල පිළිබඳව වර්තමාන සරසවි සිසුන් වඩාත් තීක්ෂනව සහ විචාරශීලි බුද්ධියකින් බැලිය යුතු බව මෙම කරුණු අනුව පෙනී යයි. අන්තරයේ සාමාජිකයන්ගේ නවක වධයට සහ මැර බලපෑම නිසා බොහෝ සිසුහු අද දෙලොවක් තුල අතරමංව සිටිති. ඔවුන් හමුවේ ඉගෙනීමද නැතහොත් අරමුණකින් සහ නිසි නායකත්වයක් සහ දර්ශනයක් නැති අරගලයද යන මාවත් දෙක දකින්නට තිබේ. තමන් තෝරා ගත යුත්තේ කුමක්ද යන්න මත තමන්ගේ අනාගතය තීරණව වන බව මෙම සිසුන් දැනගත යුතුය. අන්තරය හෝ වෙනයම් පක්ෂයක් නිසා තම සිසු ජීවිතය බිලි දීමට සිදු වේ නම් එය ඛේදවාචකයකි. සටනක් කරන්නේ නම් එය බිලි බෝයි වර්ගයේ මිනිස් ජීවිත කෙරෙහි ගරුත්වයක්, ආදරයක් නැති නරුම පක්ෂයකට , සාමාජිකයන් බුරුත්තකට තම අනාගත ඉරණම පාලනය කිරීමට දෙන වර්ගයේ සටනක් නොවිය යුතුය. නමුත් එවැනි සාධනීය සටනක් කිරීමට ලේ අවශ්‍ය නැත. ඒ බව ජේමිස් මෙරිඩිත් වැනි විශ්ව විද්‍යාල සිසු නායකයන් සනාථ කොට තිබේ. නමුත් ලෝක ඉතිහාසය පමණක් නොව තම පක්ෂ නායකයාගේ හරිහමන් ඉතිහාසය පවා නොදන්නා ලිං මැඩි දැක්මකින් යුතු ගිරා පෝතක සමුහයකට කල හැක්කේ අනියම් ලෙසින් ධනපති ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉෂ්ට කර දීමය.

සරසවි සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් තමන්ගේ අධ්‍යාපනයට වල කපාගත් සේ අන්‍යන්ගේ අධ්‍යාපනයට ද වින කොටා සිසු ජිවිත කාලකන්නි කරන අන්තරයේ සාමාජිකයන්ද එක්තරා අකාරයක බිලි බෝයිස් ලා කොටසකි. ඔවුන් විභාග වලින් අසමත් අනාගතය පිලිබඳ සිහින නොදකින නරුමයන් කොටසක් බවට පත් කොට ඇත්තේ පක්ෂයේ විශේෂිත ආත්මාර්ථකාමී උපායමාර්ගයකට අනුවය. උදාහරණයක් ලෙස අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයා ව සිටි උදුල් ප්‍රේමරත්න ගැන සලකා බලන්න. ඔහු හිටපු දන්ත සිසුවෙකි. ඔහුට දන්ත පිඨයේ විභාග වලින් සමත් වීමට නොහැකි විය. ඔහු තමන්ගේ අධ්‍යාපනය විනාශ කරගෙන අනෙකුත් සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය විනාශ කිරීමේ යටි අරමුණු ඇතුව ක්‍රියා කළේය. ඔහු නොමිලේ දෙන නිදහස් අධ්‍යාපනයෙන් එලක් ගත්තේ නැත. ඔහු වෙනුවට වෙනත් අයෙකුට දන්ත පිඨයට ගොස් ඉගෙනීමට අවස්ථාවක් දුන්නේද නැත. මෙවැනි නොමල බිලි බෝයිස් ලා ට සිදු වන්නේ එක්කෝ පසු කාලයක තම ඉරණම භාර දුන් පක්ෂයෙන්ම ද්‍රෝහියා කාඩ් එක වැදී නිරුවත් වීමට හෝ තමන් සිසු දිවිය පුරා විරෝධය පෑ ධනපති ක්‍රමය වෙත ගොස් එම ක්‍රමයේ සුවච බලු කුක්කෙකු වීමටය. මිට පෙර අන්තරයේ සිටි පතාකයන්ට ද ඔවැනි ඉරණම් අත් වූ ආකාරය අප දැක තිබේ.

අරගල කිරීමට පෙර අරගල වල ස්වභාවය අඳුනගන්න. අරගලයට බිලි බෝයි කෙනෙකු නොවන්න. මනුෂ්‍යත්වයේ දේශපාලනය සොයා යන්න.