පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුවියන්ට සමලිංගික හිරිහැර

| රොෂෙල් සෙනෙවිරත්න

( 24-01-2011 | lankaguardian.com) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුවියන්ට සමලිංගික හිරිහැර තදින් සිදුවන බව වාර්තා වේ. මෑතකදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලදී අඩනිරුවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය ලබා දුන්නේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකු පන්ති තහනමකටද ලක් කරන ලදී. මෙම සිසුවියන් තිදෙනා මීට පෙරත් නවක සිසුවියන්ට සමලිංගික බලපෑම් කල බවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නවක සිසුවියන් පවසති. නම හෙළි කිරීමට අකමැති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ නවක සිසුවියන් පිරිසක් අපට පැවසූ පරිදි විශ්ව විද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයකදී දැනට පන්ති තහනමට ලක් වී සිටින ජ්‍යෙෂ්ඨ සිසුවියක් නවක සිසුවියකගේ රහස් ප්‍රදේශයට ඉටිපන්දමක් ඇතුල් කිරීමට තැත් කොට ඇත. එසේම ජ්‍යෙෂ්ඨ සිසුවියන් විසින් නවක සිසුවියන්ට බලහත්කාරයෙන් නිරුවත පෙන්වීමට අණ කිරීම, නවක සිසුවියන් නිරුවතින් බිම හොවා ඇඟට මුත්‍රා කිරීම, නවක සිසුවියන්ට නොයෙකුත් ලිංගික ඉරියව් අනුකරණයට බල කිරීම වැනි පහත් පෙලේ ලිංගික හිංසා සිදු කරන බව මෙම නවක සිසුවියන් පවසති. නවක වධ මුවාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලිංගික හිංසන තදින්ම සිදුවන බවත් මේවා නැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත් ඔවුන් වැඩි දුරටත් පවසා සිටිති.