චීනයේ වසන්ත සැණකෙළිය 2012

| කිෂානි වැලිවිටිගොඩ

( 24-01-2012 | lankaguardian.com) චීනයේ 2012 වසර හඳුන්වනු ලබන්නේ මකරාට හිමි වර්ෂය ලෙසයි. ලෝකයේ සමරන සැණකෙළි අතුරින් වඩාත්ම වර්ණවත් සැණකෙළිය ලෙස සලකන ජනවාරි 23 වෙනිදාවෙන් චීනයට ඇරඹෙන නව වසර චීන ජාතිකයින් විසින් වසන්ත සැණකෙළිය හෝ ආලෝකමත් සැණකෙළිය ලෙසද හඳුන්වනු ලබයි. චීන ජෝතිෂ්‍යයට අනුව මකර රාශිය බලවත් රාශියක් ලෙස සලකන බැවින් මකරාට හිමි මෙම වසර ප්‍රබල වර්ෂයක් වනු ඇතැයි චීන ජාතිකයින්ගේ විශ්වාසයයි. මෙම වසර ඔවුනොවුන්ගේ පවුල් වල සාමාජිකයන් සමග සංවිධානය වී සාම්ප්‍රදායික ආහාර පාන පිළියෙළ කර චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් සංස්කෘතික ක්‍රියාකාරකම් වල නියැලෙමින් ගත කරන කාල පරිච්චේදයකි. දින පහළොවක් පුරා සමරන මෙම සැණකෙළිය විවිධ විශ්වාසයන් සහ මිත්‍යා මත වලින් බැඳුනු දින 15 වකි. එමෙන්ම එක් එක් දින වලට ආදාළ සිරිත් විරිත් වලින් යුක්ත වේ.

පළමු දිනය : සැණකෙළියේ ප්‍රථම දිනයේදී වැඩිහිටියන්ට ගරු කිරීම සහ දෙවියන්ට පුද පූජා පවත්වනු ලබනවා. චීන ජාතිකයින් විසින් තම පවුල් වල සිටින වැඩිහිටි පුද්ගලයින් හට තම ගරුත්වය පිරිනමන අතර ඇතැම් පුද්ගයින් මෙම දිනයේදී මාංශ අනුභව කිරීමෙන් ද වැළකී සිටිති.

දෙවන දිනය : ධනයට අධිපති චීන දෙවියන්ගේ ජන්ම දිනය ලෙස දෙවන දිනය සලකනු ලබන අතරම සියලුම සුනඛයන්ගේ උප්පත්ති දිනය ලෙසද මෙම සැණකෙළියේ දෙවන දිනය සමරයි. දෙවන දිනයේදී සුනඛයන් හට විශේෂ ආහාර ලබා දීම මෙම දිනයේදී සිදු කරනු ලබයි. එසේම මෙම දිනය විවාහක දියණියන් වෙනුවෙන් ද වෙන් කර තිබේ. විවාහක දියණියන් විසින් තම දෙමවුපියන්ගේ සහ නෑදැයින්ගේ නිවෙස් වෙත ගොස් ගරු බුහුමන් දක්වති.

තෙවන දිනය : මෙම දිනය කෝපයෙන් දැවෙන දෙවියන්ට වෙන් කර තිබෙන අතර එම දිනය අශුභ දිනයක් ලෙස සලකයි. එම නිසා චීන ජාතිකයින් මෙදිනට නෑහිත මිතුරන්ගේ නිවෙස් වලට යාමෙන් වලකින අතර ධනයට හිමි පන්සල් වෙත ගොස් වැදුම් පිදුම් කරනු ලබති.

සතර වෙනි දිනය : නව වසරේ දවස් තුනකට පසුව එළඹෙන හතර වෙනි දිනය වෙන් කර ඇත්තේ වසන්ත සැණකෙළියේ රාත්‍රී භෝජනය සඳහාය. මෙදින පවුලේ සිටින බෑනාවරුන් විසින් තම පවුලේ සිටින වැඩිහිටි පාර්ශවය වෙත ගරු සැලකිලි දක්වනු ලබයි.

පස් වන දිනය : පස් වන දිනයේදී චීන ජාතිකයින් විසින් සකස් කරන සාම්ප්‍රදායික පලතුරු පුඩිම ආහාරයට ගනු ලබති. එම පලතුරු පුඩිම අනුභව කිරීමෙන් සශ්‍රිකත්වය ඔවුන් වෙත ලඟා වනු ඇති විශ්වාස කරන අතර මෙදිනද හිත මිතුරන්ගේ නිවාස වලට යාමෙන් වැළකී සිටිති.

සය වෙනි දිනය : නෑදෑ හිත මිතුරන්ගේ නිවෙස් වෙත යාම සිදු කරනු ලබති.

සත් වෙනි දිනය: චීන ජාතිකයින් විසින් රෙන්රි යනුවෙන් හඳුන්වනු ලබන පොදු මිනිසාගේ ජන්ම දිනය සලකයි. වසරක් වර්ධනය වීම ඔවුන් වයස්ගත වන සෑම චීන ජාතිකයෙකුගේ විශ්වාසයකි. නුඩ්ල්ස් සහ මාළු අනුභව කිරීම මෙම දිනයේදී සිදු කරන අතර මාළු ආහාරයට ගැනීමෙන් සමුර්ධිමත් බවද නුඩ්ල්ස් ආහාරයට ගැනීමෙන් දිර්ඝායුෂ ලැබෙන බවද ඔවුන් විශ්වාස කරති. මෙම දිනයේදී ගොවින් විසින් ඔවුන්ගේ අස්වැන්න ප්‍රදර්ශනය කරනු ලබන්නේ එළවලු හතක යොදාගෙන පානයක් පිළියෙළ කර ගැනීමෙනි. බෞද්ධ චීන ජාතිකයින්ට නම් මෙම දිනය මාංශ අනුභවයෙන් තොර ගත කරන දිනයකි.

අට වෙනි දිනය: මෙම දිනය ජේඩ් අධිරාජයා හා සම්බන්ධවන දිනයකි. මේ දින රාත්‍රියේ පවුලේ සාමාජිකයන් හට රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත් වනු ලබයි. නිවාඩු සමය අවසන් කරන දිනය මෙය වන අතර සෑම දෙනාම නැවත රාජකාරි කටයුතු ආරම්භ කරන දිනයකි. මෙදිනට සේවා දායකයින් විසින් සේවකයින් හට දිවා භෝජන සංග්‍රහයක් පවත්වනු ලබයි.

නව වෙනි දිනය: ජේඩ් අධිරාජයාගේ ජන්ම දිනය වන අතර අට වෙනි දිනයේ මධ්‍යම රාත්‍රියේ පටන් ඉදිරියට දෙවියන් වෙනුවෙන් ආගමික වතාවත්, පුද පූජා පැවැත්වීම සිදු කරති.

දස වෙනි දිනය: මෙදින ද ජේඩ් අධිරාජයාගේ ජන්ම දිනය සැමරීම නිමෙත්තෙන් වෙන් කර තිබෙන දිනයකි.

එකලොස් වෙනි දිනය සහ දොළොස් වන දිනය : තම නිවෙස් වල පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහ වලට සහභාගී වන ලෙසට තම නෑදෑ හිත මිතුරන්ට ආරාධනය කිරීම සිදු කරති.

දහතුන් වන දිනය : මෙම දිනය යුද්ධයට සහ සාර්ථකත්වයට හිමි දෙවියන් වන ගුවාන් යු නමැති දෙවියන්ට කැප කරන දිනයකි. සියලුම නිවෙස් වල සහ සේවාස්ථාන වල මෙම දෙවියන් සඳහා ආගමික වතාවත් සිදු කරනු ලබති. ඔවුන් මෙදිනට ආහාරයට ගනු ලබන්නේ එළවලු සහිත සැහැල්ලු ආහාරයකි.

දහ හතර වෙනි දිනය : පසු දින පවත්වනු ලබන ලන්තෑරුම් දැල්වීමේ සැණකෙළියට ලන්තෑරුම් පිළියෙළ කිරීමට මෙදින වෙන කෙරේ.

පහළොස් වෙනි දිනය: මෙදින පිළියෙළ කර ගත් ලන්තෑරුම් සහ ඉටිපන්දම් දල්වා තම නිවෙස් වලට පිටතින් තබන්නේ අධ්‍යාත්මික ශක්තින් තම නිවෙස් තුලට පැමිණීමට මග පෙන්වීම සඳහාය . එසේම දැල් වූ ඉටිපන්දම් අතැතිව විදී වල සංචාරය කිරීමද සිදු කරනු ලබයි.මෙදින චීන ජාතිකයන් විසින් චීනයට ආවේනික වූ නාරං විශ්ෂයක් ආහාරයට ගනු ලබති. මෙසේ නාරං ආහාරයට ගැනීමෙන් ඔවුන් වෙත ඉසුරුමත් බව ලඟා වෙන බවට ඔවුන් විශ්වාස කරති.