ජන අරගල කණ්ඩායම හා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් එක්වී නැවත තරුණ සන්නද්ධ අරගලයක් ආරම්භ කිරීමට සූදානම් වෙනවා - - අමාත්‍ය එස්. බී.

ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩුණු ජන අරගල කණ්ඩායම පුනරුත්ථාපනය වී එළියට ඇවිත් සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකියන් හා එක්ව දකුණේ සහ උතුරේ තරුණ කොටස් තුළින් නැවත සන්නද්ධ අරගලයක් අරඹා රට අස්ථාවර කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව රටේ විශ්වවිද්‍යාල තුළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නැමැති සංවිධානයේ බලය ලබාගෙන සිටින ජන අරගල කණ්ඩායම දකුණේ විශ්ව විද්‍යාල තුළ මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයක් මතු කොට ඇති අතර ඔවුන්ගෙන් පිරිසක් උතුරු හා නැගෙනහිර විශ්වවිද්‍යාලවලට ද පැමිණ ඒවායේ සිටින පැරණි එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ පුණරුත්ථාපනය වී එළියට ඇවිත් සිටින විශ්ව විද්‍යාල සිසුන් සමග සාකච්ඡා කොට යාපනය විශ්වවිද්‍යාලය සහ නැගෙනහිර විශ්වවිද්‍යාලය තුළ ද එවැනි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ දරණ බව තමන් දන්නා බවත්, එවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනියට ආචාර්ය මණ්ඩලයේ සහ දෙමාපියන්ගේත් සිසුන්ගේත් සහයෝගය ලබා දිය යුතු බව ද, එසේ ලබා දී විශ්වවිද්‍යාලයේ විනය ආරක‍ෂා කොට පසුගිය කාලයේ විනාශ වී ගිය උතුරේ සිසුන්ගේ අධ්‍යාපනය නංවාලීමට කටයුතු කළ යුතු යැයි ද උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා 2012.01.09 රාත්‍රිියේ යාපනය විශ්වවිද්‍යාල ආචාර්වරුන් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේය.

මෙම සාකච්ඡාව යාපනයේ යූ. එස්. හෝටලයේදී පැවැත්විනි. මෙහිදී තවදුරටත් කථාකල අමාත්‍යවරයා අපේ විශ්වවිද්‍යාල සිසුන්ට ලබා දිය යුතු නේවාසිකාගාර ප්‍රශ්නය අද අපට විශාල අභියෝගයක් වී ඇතැයි ද එදා මුලූ රටේම විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගත්තේ 12,000කට ආසන්න සිසුන් පිරිසක් වුවත් පසුගිය වසරේ පමණක් 22700 කට ආසන්න පිරිසක් සිසුන් ඇතුලත් කර ගැනීම නිසා දැන් නේවාසිකාගාර සහ අනෙකුත් පහසුකම් සැපයීම පිළිබඳව අභියෝගයකට රජය මුහුණ දී ඇතැයි ද කෙසේ වුවත් එම අභියෝගය ජය ගැනීමට රජය කටයුතු කරන බව ද මේ වර්ෂයේ අයවැය තුළින් මෙම ප්‍රශ්න විසඳීම සඳහා අති විශාල මුදල් සම්භාරයක් රජය වෙන්කොට ඇතැයි ද එම නිසා යාපනය විශ්වවිද්‍යාලයේ සැළසුම් සකස් කොට වහාම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා විශ්වවිද්‍යාල උපකුලපතිනිය ඇතුළු ආචාර්යය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. ලංකාවේ විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට ඉන්දියාව, කුවේට් රාජ්‍යය, ඕස්ටේ්‍රලියාව, චීනය ඇතුළු රටවල් ගණනාවක් ම සහයෝගය දීමට කටයුතු කරන බවත්, තමන් එම රටවල රජයන් හා සමහර උදව් කිරීමට කැමති සංවිධාන සමග සාකච්ඡා කොට ඇති බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා යාපනය විශ්වවිද්‍යාලයේ 6000ක් පමණ සිටින විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නය විසඳීමට සැළසුම් සකස් කොට ඇතැයි ද ප්‍රකාශ කළේය. මෙහිදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදනය කොමිසමේ සභාපති ගාමිණීස සමරනායක මහතා ද කථාකල අතර, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී වසන්තී අරසරත්නම් හා හිටපු උපකුලති මහාචාර්ය බාලසුන්දරම් මහතා ද කථා කළේය.

මෙම රැස්වීමට සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඇතුළු විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී විය.