"මර්වින්ට සහ ගෝලයන්ට කාලි මෑණියන්ගේ ශාපය වැදුණා"

මුන්නේශ්වරම් දේවාලයේ ප්‍රධාන පූජක කියයි

| අමිල බුද්ධික

"පරම්පරා 13 ක්‌ අපි කරගෙන ආපු බිලි පූජාව ඇමැති මර්වින් සිල්වා අගෝස්‌තු 13 වැනිදා ඇවිත් නතර කළා. ඒකට අපි කාලි මෑණියන්ට කියලා ඇමැතිතුමාටත් ආපු අයටත් පළි ගැහුවා. ඒ ශාපය දැන් වදින්නට පටන් අරන්. තවත් අපි පලිගහනවා. තව දඬුවම් දෙන්න ඕනෑ" යෑයි මුන්නේශ්වරම් මහා භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් තුමා පැවැසීය.

විවිධ ආගම්වලට අයත් පුද පූජා පැවැත්වීමට එම ආගම්වල බැතිමතුන් දක්‌වන්නේ දැඩි භක්‌තියක්‌. කාලි මෑණියන්ට තබන බිලි පූජාව බැතිමතුන් ඉෂ්ට කරන්නට ඔවුන්ගේ මංගල්‍ය දිනය තෝරා ගනිති. ඒ අනුව දින 11 ක්‌ එළවළු සමඟ බත් අනුභව කොට 12 දින බිලි පූජාව දී මස්‌ අනුභවය කිරීම ඔවුන්ගේ චාරිත්‍රයක්‌ව පවතී.

වැඩිදුරටත් 'දිවයින' ට අදහස්‌ දැක්‌වූ කාලි දේවාලයේ ප්‍රධාන පූජකතුමා මෙසේද කීය.

"අපි අවුරුද්දකට සැරයක්‌ අපේ ශ්‍රී භද්‍රකාලි දේවාලයේ මංගල්‍යය පවත්වනවා. දින 11 ක්‌ එළවළු බත් කාලා පසුව තමා බිලි පූජාව කරන්නේ.

පරම්පරා 13 ක්‌ තිස්‌සේ අපි මේ බිලි පූජාව කරගෙන ආවා. ගිය අගෝස්‌තු 13 දා උදේ 10 ට විතර මර්වින් සිල්වා ඇමැතිතුමා එයාගේ ගෝලයෝත් සමඟ ඇවිල්ලා එළුවෝ ටිකයි, කුකුල්ලු ටිකයි පටවාගෙන ගියා. අපෙන් බැතිමතුන් ඇහැව්වා මේකට දඬුවම් දෙන්නේ නැද්ද කියලා.

ඒකට අපි කාලි මෑණියන්ට කියලා ඇමැතිතුමාටත්, ආපු ගෝලයන්ටත් පළි ගැහුවා. ඒ කාලි මෑණියන්ගේ ශාපය දැන් වැදිලා. තවත් අපි පළිගහනවා තව දඬුවම් දෙන්න ඕනෑ."