ඉතාලියේ මිලානෝ ලංකාරාම ජිම්කානාවට පිලිතුරු

පහත පලවන ප්‍රතිචාරය මීට පෙර ඉතාලියේ ලංකාරාමය ගැන පල වූ පුවතකට අප වෙත නම ප්‍රසිද්ධ කිරීමට අකමැති අයෙකු විසින් එවනු ලැබූ ප්‍රතිචාරයකි.

| සැදැහැවත් දායකයෙක්

පසුගිය කාලය තුල ඔබ වෙබ් අඩවියේ සහ තවත් වෙබ් අඩවි වල ගෞරවනීය මහානායක හිමිවරුන්ට සහ අවශේෂ සංඝරත්නයට ද්වේෂ සහගත ලෙස ලියන ලද ලිපි පල කර තිබුනි. උදාහරණ ලෙස මහමෙවුනා අසපුවේ හිමිවරුන්ට ,පිටිදූවේ සිරිධම්ම හිමියන්ට එමෙන්ම මිලානෝ ලංකාරාමයේ විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ට චෝදනා එල්ල කර තිබුනි. මෙම ලිපි අසත්‍ය තොරතුරු මත පදනම්ව ලියා ඇති බව දකින නිසාත් , මම මිලානෝ ලංකාරාමයට නිතර යන එන පරනම සාමාජිකයකු බැවින් මෙම ලිපිය ලියමි.

ලංකාරාම විහාරය අද තිබෙන තත්වයට දියුණු කලේ උන්වහන්සේය. ලාංකික දරුවන්ට දහම් දැනුම දෙන දහම් පාසලත් ඒ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවන්නකි. මීට අවුරුදු කීපයකට පෙර බේදභින්නව සිටි ලංකාරාම දායක සභාවට දයාව, මෛත්‍රිය පෙරදැරිව අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට සමගි කලේ උන්වහන්සේය.

තවද උන්වහන්සේට ඉතාලියට වැඩම කිරීමට ප්‍රථම ඉන්න හිටින්නට පන්සලක්වත් නොතිබු බව අපාගතවන තවත් බොරුවකි.

උන්වහන්සේගේ ශාසනික සේවය ගැන පැහැදුන පින්වතුන් විසින් පූජා කරන මුදල් වලින් ආගමික කටයුතු සදහා ගුවන් ගමන්වල යෙදෙන බව සැබෑවකි. එහෙත් ඒ සඳහා ලංකාරාම භාණ්ඩාගාරයෙන් මුදල් ලබා ගන්නේ වසරකට එක් වරක් පමණි. ඔලබොඩුව උන්වහන්සේගේ පන්සල දානපති ග්‍රැන්ඩ් හෝම්ස් ආයතනයේ පුන්‍යකර්මයකි. ( පරිත්‍යාගයකි ) එයට ලංකාරාමයේ කිසිදු සම්බන්ධතාවයක් නැත.

ඒ හිමියන්ට විහාරාධිපති තනතුර පිරිනැමුවේද ව්‍යවස්ථාව වෙනස් කලේද බෞද්ධ සංගමයේ මූලිකත්වයෙනි.

18 වැනි දින පැවැත් වු නිලවරණයේදී ඇති වු ගැටලුකාරී තත්වය සමතයකට පත් කොට දායක සභාව හා සාකච්ඡා කොට නිලධාරී මණ්ඩලය පත්කර ගත්තේ උන්වහන්සේ නිසාය. දායක සභාව බේදභින්න වන අවස්ථා වලදී සෑම විටම උන්වහන්සේගේ අවවාද අනුශාසනා

වලින් ඒ තත්වය වැලකී ගියේය. සැමවිටම දායක සභාව හා ඉතාම සුහඳව කටයුතු කරන උන්වහන්සේ පිළිබඳ මඩ ප්‍රචාර කරන්නේ ලංකාරාම විහාරය විනාශ කිරීමටත් බුදු දහමට ගැරහීමටත් බව මාගේ හැගීමයි.

ලංකාරාම විහාරය මහා සංඝරත්නයට පුජා කල පසු ඒ ගන ඇඟිලිගැසීමේ උවමනාවක් දායක සභාවට නැත.

ලංකාවේ මහානායක හිමිවරුන්ගේ පවා ගෞරවාදරයට පත් වු උන්වහන්සේ ලංකාරාම විහාරයට පුජ්‍ය වස්තුවකි.

බුදුන්ටත් දේවදත්තයන් සිටියේ නම් ධම්මික හිමියන් ගැන කුමන කථාද? අවසාන වශයෙන් තුණුරුවන්ට නිගා දෙන අයුරින් සිය පුද්ගලික ඕනැ එපාකම් මත එබදු අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වලකින ලෙස ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි.

ඔබ සැමට තෙරුවණ් සරණයි.