සරසවි ගිනි ගනී; ආචාර්යවරුන්ට ලෙව කන්නට කටුවක්

සරසවි ආචාර්යවරු ජනවාරි 17දා අනිවාර්යයෙන් සංකේත වර්ජනයක් දියත් කරන බව සරසවි ආචාර්ය සංගමය නිවේදනය කළේ ය.

ඒ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමිනි. සරසවි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතා ඉවත් කරන චක්‍රලේඛය හෙට උප කුලපත්වරුන්ට යවන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ‍සභාපත් ගාමිනී සමරනායක පවසයි.

සරසවි ආචාර්යවරුන්ගේ දෙවන ඉල්ලීමක් ද ඇත. ඒ වනාහි මේ වන විට 'ප්‍රමිති ආරක්‍ෂණ වරප්‍රදාන හා සුදුසුකම් රාමුව' ලෙස නම වෙනස් කර තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර වැඩිදුර සාකච්ඡා කිරීමයි.

රජය අභ්‍යන්තරයෙන් ද මෙම පනතට විරෝධතා ඉදිරිපත් වී තිබේ. ඒ අනුව, ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සමග ලබන 15 වැනිදා ද, විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා සමඟ 16 වැනිදා ද, මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න පවසයි. ජනාධිපති එක දුරකථන ඇමතුමක් දීම මේ විරෝධතා සමනය වීමට නම් ප්‍රමාණවත් ය.

එහෙත්, මේ වන විට සිසු විරෝධතා නිසා විශ්ව විද්‍යාල ගිනි ගෙන ඇත. සරසවි ආචාර්යවරුන්ට හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ලෙව කන්නට කටුවක් විසි කරන්නේ එවැනි වකවානුවක ඔවුන් ද විරෝධතා දැක්වීම වළක්වා ගන්නට ය.

දැන් අප ඉසිරියේ ඇති ප්‍රශ්නය ලංකාවේ බුද්ධිමතුන් ලෙස සැ‍ලකෙන සරසවි ආචාර්යවරු කටුව සූප්පු කරමින් පැත්තකට වී ඇහැ කන පියාගෙන බලා සිටීවි ද, නැතිනම් පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහි සටන දිගට ම ගෙන යයි ද යන්නයි.

එසේම, සමහර විට මේ කටුව ප්ලාස්ටික් මස් කටුවක් වන්නට ද ඉඩ තිබේ. 

( W3LANKA)