ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගන්සන් අතුරුදහන්වීම පිළිබඳව

ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජු සහෝදරයා සහ යාපනයේ අවරන්ගාලි හි පදිංචිව සිටි කුගන් මුරුගන්සන් සහෝදරයා ඊයේ (දෙසැම්බර් 9) සවස සිට අතුරුදහන්ව ඇත.
----------------------

ආරක්ෂක ලේකම්තුමා,
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
කොළඹ
ගරු ආරක්ෂක ලේකම්තුමනි,

ලලිත් කුමාර් වීරරාජු සහ කුගන් මුරුගන්සන් අතුරුදහන්වීම පිළිබඳව

ජන අරගල ව්‍යාපාරයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක ලලිත් කුමාර් වීරරාජු සහෝදරයා සහ යාපනයේ අවරන්ගාලි හි පදිංචිව සිටි කුගන් මුරුගන්සන් සහෝදරයා ඊයේ (දෙසැම්බර් 9) සවස සිට අතුරුදහන්ව ඇත. අද දින (දෙසැම්බර් 10) යාපනය නගරයේදී පැවැත්වීමට නියමිත ජන අරගල ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමේ කටයුතුවල මේ දෙදෙනා නිරතව සිටින ලදී.

ඊයේ (දෙසැම්බර් 9) සවස 5.00ට පමණ කුගන් සහ ලලිත් සහෝදරවරුන් භඡ ඨඔ 7852 දරන යතුරු පැදියෙන් අවරන්ගාල් හි පිහිටි කුගන් මුරුගන්සන් සහෝදරයාගේ නිවසින් නික්ම ගොස් ඇති අතර ඉන් අනතුරුව තවමත් කිසිදු තොරතුරක් නොමැත. ලලිත් කුමාර් සහෝදරයාට පසුගිය කාල සීමාව තුළ අවස්ථා ගණනාවකදී යාපනය ප්‍රදේශයේදී ප්‍රහාර එල්ල වූ අතර ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදීම කිසිදු පදනමකින් තොරව අත්අඩංගුවට ගැනීම් හා ප්‍රශ්න කිරීම් සිදු කොට තිබිණි. විශේෂයෙන්ම 2011 මාර්තු මාසයේදී කිලිනොච්චි නගරයේදී ලලිත් කුමාර් සහෝදරයා කිලිනොච්චි නගර මධ්‍යයේ ඇති හමුදා කඳවුරේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන යන ලද අතර ඔහුව ගරා වැටුණු ගොඩනැගිල්ලක නිල නොවන ලෙස පැය හයක කාලයක් රඳවා තබා ගැනීමට කටයුතු කරන ලදී. එසේම 2010 නොවැම්බර් මාසයේදී ඔහු යාපනය නගරයේදී පහර කෑමටද ලක් විය.

එසේම යාපනය ප්‍රදේශය තුළ දේශපාලන කටයුතු සිදු කිරීම වහාම නතර කරන ලෙස හා වහාම යාපනයෙන් පිටවන ලෙස මෙම පැහැර ගැනීම්වලදී හමුදා නිලධාරීන් හා නාඳුනන පුද්ගලයින් විසින්ද තර්ජනය කර තිබිණි. එම නිසා මෙම අතුරුදහන් වීම අතිශය බරපතළ කාරණයක් වන අතරම සංවිධානාත්මක ලෙස සිදු කරන ලද්දක්දැයි සාධාරණ සැකයක් පැන නගී. විශේෂයෙන්ම පසුගිය කාලය තුළ යුද හමුදා නිලධාරීන් විසින් ඔහුට යාපනය දිස්ත්‍රික්කය තුළ දේශපාලන කටයුතු නතර කරන ලෙස අවස්ථා කිහිපයකදී අනතුරු අඟවා තිබීම කිසිසේත්ම සුළුකොට තැකිය හැකි නොවේ. එසේම, ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දේශපාලනය කිරීමේ අයිතිය සියලූ දෙනාටම ඇති බැවින් මේ අයුරින් තර්ජනය කිරීම් මගින් හා පැහැර ගැනීම් මගින් එය උල්ලංඝනය වන්නේ නම් එය බරපතළ ගැටලූවක් බව නොකිව මනා ය.

එම නිසා, මෙම තත්වය පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු කොට අතුරුදහන් වී ඇති එම සහෝදරවරුන් සොයා දීමට මැදිහත් වන මෙන් ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ස්තූතියි,
මෙයට,
විශ්වාසී,

අජිත් කුමාර
පාර්ලිමේන්තු මන්ත්‍රී
2011.12.10