අන්තරයේ කිරිබත්

| අමිල ගුණරත්න

කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අත්තෝනෝමතික ලෙස අහෝසි කළැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී දෙසැම්බර් 29 දින සත්‍යග්‍රාහායක් පැවැත්වීය. මෙම සිසුන් 13 දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කොට ඇත්තේ නවක සිසුන් පිළිගැනීම සඳහා කිරිබත් කෑල්ලක් දුන්න නිසා බව කැලණි විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ජානක බණ්ඩාර කියයි.

ජානක බණ්ඩාර සිතාගෙන ඇත්තේ මේ රටේ ජනතාව කන්නේ තණකොළ කියා විය යුතුය. අන්තරයේ කිරිබත් ගැන විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව සාමාන්‍ය මහජනතාවද දැන් හොඳ හැටි දනිති. ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ මළගමට අන්තරයෙන් සිදු කරන සේවය ගැන සිතු විට අපට සිතෙන්නේ අන්තරය යනු ජේවීපියේ නොව එස් බි ගේ අවශ්‍යතාවන් ඉටු කරන කුලී හමුදාවක් ලෙසටය. අද සාමාන්‍ය ගමේ ගොඩේ ජේමිස් අයියලා පවා අන්තරය විශ්වවිද්‍යාල වල සිසුන්ට ඉගෙන ගැනීමට නොදී සිසු අධ්‍යාපනය කඩාකප්පල් කරන බව දනිති.

මේ වසරේ අන්තරයේ කිරිබත් කා අජීර්ණ වූ පිරිස අතරින් කිහිප දෙනෙකු මෙන්න.

1) යටිගල ලොකුගම්මාච්චාරිගේ රජිත් ලක්ෂිත බෙලිගල්ල මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පේරාදෙණිය කළා පිඨයට ඇතුළු විය. විශ්ව විද්‍යාලදී අන්තරයේ අයියලා ඔහුට කිරිබත් කවති. ඔහුව ජේෂ්ඨයන් කිහිපදෙනෙකු විසින් රජිත මාක්ස් ප්‍රනාන්දු ශාලාවට ගෙනගොස් නිරුවත්කොට බිම බඩ ගෑමට අණ කරන ලදී. ඉන්පසු ඔහුගේ දෑත් බාල්කයක ගැටගසා පහර ගැසීමකට ලක්ව ඇත. අවසානයේ රජිත කායික මෙන්ම මානසික රෝගියෙක් බවට පත්විය. අද ඔහු විශ්ව විද්‍යාලයට යලි යාම ප්‍රතික්ෂේප කොට තිබේ.

2) පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් තිදෙනෙකු පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලට ගෙන ගොස් ඔවුන්ගේ ඇඳුම් ඉවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය ලබා දී ඇත. ඔවුන්ටද අන්තරේ කිරිබත් යහමින් ලැබුණි.

3) බලපිටියේ වැල්ලවත්තේ පදිංචි වත්සලා කුමුදුනි ද සිල්වා බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සිය ප්‍රාථමික අධ්‍යාපනයත් ද්විතික අධ්‍යාපනය අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙනුත් සම්පුර්නකොට රුහුණු සරසවියට ඇතුළු විය. එහිදී හීනමානයෙන් සහ ලිංගික නෂ්ටකාමයෙන් පෙලෙන අන්තරයේ ඇත්තන් විසින් ඇයට කුණුහරුප 10 ක් කටපාඩම් කොට ජේෂ්ඨයන්ට ඒවා පාඩම් දීමට බල කළහ. පසුව ඇයව නවකයන්ගේ පෝලිමකට දමා (අන්තරයේ කිරිබත් සමග) ඉස්සරහටත් පසුපසටත් තෙරපන ලදී. මේ හේතුවෙන් වත්සලා කුමුදුනිගේ තුනටිය බිඳුනාය. අද වත්සලා කුමුදුනි ඇවිදින්නේ අමාරුවෙනි.

මෙලෙස දිගින් දිගට අන්තරයේ කිරිබත් නිසා ඉගෙනීමට කැමැත්ත තිබෙන සිසු සිසුවියන්ටත් ඔවුන්ගේ දෙමාපියන්ටත් අවසන් විකල්පය වන්නේ අන්තරයේ අසහනකාරී ජොකියන් නැති පුද්ගලික විශ්ව විද්‍යාල ය. මේ නිසා තව ටික කාලයකින් කිසිම එලදායිතාවක් නැති රාජ්‍ය විශ්ව විද්‍යාල වසා දමා පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන ලෙසට ජනතාව තුලින්ම හඬක් නැගෙනු ඇත. පුද්ගලික විශ්ව විද්‍යාල වලට සල්ලි ගියත් අපේ කොල්ලෝ කෙල්ලෝ පරිසන්නේ යැයි දෙමාපියන් කියනු නිසැකය. පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ හොඳින් ස්ථාවර වූ පසු පුද්ගලික විශ්ව විද්‍යාල හිමිකරුවන් විසින් මෙවැනි රන්මය අවස්ථාවක් ලබා දීම ගැන අන්තරයට සැමදා හඳුන්කුරු පත්තු කර පින් දෙනු ඇත.