මෙන්න සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ වැඩ

| අමිල ගුණරත්න

කරන්නට අවශ්‍ය දහසකුත් වැදගත් වැඩ තිබියදී ටිකිරි කොබ්බෑකඩුව ගේ මෝඩ මොලයට ආ තලිබාන් අදහසක් අනුව සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මහදැන මුත්තන් විසින් රුපියල් මිලියන ගණනක් වියදම් කර ගැරිසන් සුසාන භූමිය වෙනත් ස්ථානයකට ගෙන යාමට තීරණය කොට තිබේ. ඒ ගැන දිනමිණේ සමන්ති වීරසේකර වාර්තා කරන්නේ මෙසේය.

ඩොයිලි ඇතුළු 160ක් වැළලූ කනත්ත ඉවතට

බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ඩොයිලි ඇතුළු පුද්ගලයන් 160 කගේ පමණ සිරුරු මිහිදන් කැර ඇති ගැරිසන් සුසාන භූමිය මහනුවර උඩවත්ත කැලේට යාබදව ශ්‍රී දළදා මැදුරට ඉහළින් පිහිටා තිබීම නිසා එය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කැර තිබේ.ඓතිහාසික වටිනාකමකින් යුත් මේ සොහොන් භූමිය අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට පවතින නෛතික තත්ත්වය පිළිබඳව නීතිපතිවරයාගෙන් විමසීමක් කැර තිබෙන බව සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතා පැවැසීය.ශ්‍රී දළදා මැදුරට ඉහළින් මේ සොහොන් භූමිය පිහිටා තිබීම මගින් දළදා වහන්සේට ඉන් අගෞරවයක් වන බැවින් එය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස මෙයට ප්‍රථම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් ද කැර තිබිණි.ඒ අනුව අදාළ තීරණය ගත් බවත්, බ්‍රිතාන්‍ය රජය සමඟ සහයෝගයෙන් සාකච්ඡා කර එය ඉවත් කිරීම සිදු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.මේ සොහොන් භූමිය ශ්‍රී දළදා මැදුර අභියසින් ඉවත් කර මහයියාවේ ස්ථාපිත කිරීමට ද අවධානය යොමු කැර ඇත.
මේ වියදම් කරන මුදලින් මහනුවර අවට ජිවත් වන පැල්පත්වාසීන්ට ස්ථිර නිවාස තනා දුන්නේ නම් එය බුදු දහම අනුව කුසලයකි. බුදු දහම මනසින් නොව තලිබාන් කන්නාඩි වලින් දකින මෙම මහදැන මුත්තන් ඉදිරි කාලයේ දළදා මාලිගාවට ඉහලින් හන්තාන කන්දේ පිහිටා තිබෙන ගෙවල් සහ හෝටල් ගලවාගෙන පහත භූමියකට ගෙන එන්නට නියෝග දුන්නත් පුදුම නොවිය යුතුය.