ආණ්ඩුව ආපස්සටත් අප ඉදිරියටත් ගොස් තිඛෙනවා - රනිල් වික්‍රමසිංහ

සාටකයට විරුද්ධව එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ඒකාබද්ධව ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය අප අඛණ්ඩවම ඉදිරියට ගෙන යා යුතුබව විපක්ෂනායකතුමා පැවසීය. එතුමා මේ බව පැවසූයේ අද (05) කොළඹ 7 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක නිල නිවසේදී පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදීය. එතුමා එහිදී මෙසේද පැවසීය.

කොළඹ මහ නගර සභා ජයග්‍රහණය, කොළඹ හයිඩ් පිටියෙන් අප ආරම්භ කළ ආණ්ඩු විරෝධී විරෝධතා ව්‍යාපාරය සහ අය-වැය ඉදිරිපත් කළ මොහොතේ ආණ්ඩුවේ අවනීතිය පාර්ලිමේන්තුවේ දී අප මුළු ලෝකයටම පෙන්වා දීමත් සමග දේශපාලන වශයෙන් පියවර ගණනාවක් පස්සට යන්න ආණ්ඩුවට සිදුව තිබෙනවා. අය-වැය ඉදිරිපත් කළ අවස්ථාවේදී අවනීතිය පාර්ලිමේන්තුව ඇතුළතටම ගෙන ආ ආණ්ඩුව අය-වැයට විරුද්ධව මතු වූ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හඬ මර්දනය කිරීම සඳහා විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දුන්නා.

රාජ්‍ය සේවකයින්ට නිවාඩු දී ආණ්ඩුවේ අය-වැය යෝජනාවලියට පක්‍ෂව ඒ සේවක සේවිකාවන් පෙළපාලියේ යැවීමට ආණ්ඩුවට මේ වන විට සිදුව තිබෙනවා. ආණ්ඩුවේ නියෝගය පරිදි පෙළපාලි නොගිය හොත් ප්‍රශ්න ඇති වන නිසා අකමැත්තෙන් හෝ පෙළපාලි යන්න සිදුව තිබෙන බව රාජ්‍ය සේවක සේවිකාවන් අප සමග කියා සිටිනවා.

ආණ්ඩු බලය අපට විරුද්ධව යොදවද්දීත් අපට කිසිදු මාධ්‍ය බලයක් නොතිබියදීත් අප ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කර ජනතා බලය ඒකරාශී කොට කොළඹ මහ නගර සභාව ජය ගෙන ඊට පසුව සියලූ බලවේග සමග එක්ව ආණ්ඩු විරෝධී සාර්ථක විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළා.

අය-වැය ඉදිරිපත් කළ අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියමින් පාර්ලිමේන්තුවේදී අභියෝග කළා. ඒ අභියෝගය භාරගත් මා එසේ නම් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින්නැයි කියා සිටියා. ආණ්ඩුවේ අය-වැය යෝජනාවලියට විරුද්ධව අප පාර්ලිමේන්තුවේ දී විරෝධතා පුවරු ඔසවාගෙන අපේ විරෝධය පළ කරද්දී ආණ්ඩු පක්‍ෂය අපට කළ පහරදීමෙන් ආණ්ඩුවේ සැබෑ තත්ත්වය රටටත්, මුළුලෝකයටත් හෙළි වුණා.

කොළඹ හයිඩ් පිටියේ අප සංවිධානය කළ ආණ්ඩු විරෝධී විරෝධතා ව්‍යාපාරය විවිධ උපාය සහ උපක්‍රම ඔස්සේ කඩා කප්පල් කිරීමට උත්සාහ කළ අතර ඒ විරෝධතා ව්‍යාපාරය සඳහා අදාළ බලපත්‍ර පවා ලබා දුන්නේ අවසන් මොහොතෙයි.මේ විරෝධතා ව්‍යාපාරය කඩා කප්පල් කිරීමට ආණ්ඩුව බාහිරින් සේම අභ්‍යන්තරයෙන් යෙදූ සියලූ උපාය උපක්‍රම පරාජයට පත් කරමින් ආණ්ඩුවට විරුද්ධව අතිවිශාල ජනකායක් කොළඹට ඒකරාශී කිරීමට අපට හැකි වුණා.

ආණ්ඩුව ආපස්සටත් අප ඉදිරියටත් ගොස් සිටින මේ මොහොතේ අප කළ යුත්තේ අප ලැබූ ඒ ජයග්‍රහණ තව තවත් තහවුරු කරමින් ආණ්ඩුවට විරුද්ධව ඉදිරිපියවර තබා අපේ සටන වේගවත් කිරීමයි. එසේ නොවුණහොත් තව මාස කිහිපයකින් ආණ්ඩුව නැවත වතාවක් ඉදිරියට පැමිණීමට උත්සාහ කිරීමට ඉඩ තිබෙනවා.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට යන්න කොළඹහයිඩ් පිටියට ඒකරාශී වූ ජනතාව අපටත් දේශපාලන පක්‍ෂ සහ සංවිධානවලටත් අනුමැතිය දුන්නා. විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තියට ද ජාත්‍යන්තර සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍ර ඥාප්තියට ද ශ්‍රී ලංකාව අත්සන් කර තිබෙන නිසා ඒ ජාත්‍යන්තර ගිවිසුම් අනුව ජනාධිපතිවරණ අපේක්‍ෂකයකුට සහ පාර්ලිමේන්තු අපේක්‍ෂකයකුට හදිසි නීති යටතේ නඩු පැවරීමට හැකියාවක් ඇත්තේ නැහැ.

ඒ අනුව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීම සදහා මැදිහත් වන ලෙසට ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ සංවිධාන තීරණය කර තිබෙනවා. ඊට සමගාමීව ආණ්ඩුවේ අවනීතියට එරෙහි සහ ජනතාව මුහුණ දී සිටින උග්‍ර ජීවන අර්බුදයට එරෙහි එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩු විරෝධී විරෝධතා ව්‍යාපාරය ද අප අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කරනවා.

මේ විරෝධතා ව්‍යාපාරය රට පුරා ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ ක්‍රියාත්මක කරවා ඊට පසුව නැවත වතාවක් ජාතික මට්ටමේ විරෝධතා ව්‍යාපාර දක්වා ආණ්ඩුවට එරෙහිව වර්ධනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා අය-වැය ඡන්ද විමසීමේදී ආණ්ඩුවට සහාය පළ කිරීම සම්බන්ධයෙන් ගත යුතු විනය ක්‍රියාමාර්ග ඇතුළු ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය බදාදා (07) කැදවා තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහලේකම් සහ ජාතික සේවක සංගමයේ සභාපති දොස්තර ජයලත් ජයවර්ධන මහතා

දේශපාලන සිරකරු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සඳහා සියලූ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සමග ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩලය වෙත මහජන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අප කටයුතු යොදා තිබෙනවා.

මේ මහජන පෙත්සමට මහජනතාවගේ අත්සන් ලබා ගැනීමේ කටයුතු ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබෙන සෙනසුරාදා (10) ආරම්භ කිරීමට ද සියලූ දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සමග අප පොදු එකඟතාවයකට පැමිණ සිටිනවා. මේ මහජන පෙත්සමට අත්සන් තබා සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ සංවිධාන සමග එකට ඒකරාශී වන්නැයි ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා.

එහිදී ජනමාධ්‍යවේදීන් ඇසූ පක්‍ෂ සහ ඊට එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් පිළිතුරු මෙසේ ය.

ප්‍රශ්නය : එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට සියලූ පාර්ශ්වයන්ගේ ඉල්ලීම පරිදි තරග කිරීමට තීරණය කළ බව කරු ජයසූරිය මහතා කියා තිබෙන අතර, ඔහු පක්‍ෂ නායකත්වයට ඉදිරිපත් කිරීමට සිය කණ්ඩායම ද තීරණය කර තිබෙන බව සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම ද කියා තිබෙනවා නේද?

පිළිතුර : එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බදාදා (07) හදිසියේ කැදවා තිබෙන්නේ ආණ්ඩුවට එක්වී අය-වැය යෝජනාවලියට සහාය පළ කිරීමට කොළඹදිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොන් ලාල් ග්‍රේරු මහතා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන කතා කිරීමටයි. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරනවා විණා ඊට පරිභාහිරව කිසිවක් ගැන සාකච්ඡා කෙරෙන්නේ නැහැ.

එක්සත් ජාතික පක්‍ෂයේ උපදේශක කමිටුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ දී අද (05) රැස් වුණා. ඒ අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය, මහලේකම් තිස්ස අත්තනායක, සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා සහ ජාතික සංවිධායක රවි කරුණානායක යන මහත්වරුන් එක්ව සිටියා. ඒ අය සමග පැයක කාලයක් ගත කළ නමුත් මේ කියන කාරණය සම්බන්ධයෙන් කවුරුවත් මට වාචිකව හෝ ලිඛිතව දැනුම් දීමක් කළේ නැහැ.

ප්‍රශ්නය : කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමට යන බව කියන්නේ ඇත්ත ද?

පිළිතුර : අපේ ව්‍යවස්ථාව අප අවශ්‍ය ආකාරයට මේ වන විට සංශෝධනය කර ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාව පුවත් පතක පළමු කලාපය සහ පසු කලාපය ආදී වශයෙන් වෙනස් කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ.