කරූ, රනිල් සමග සටනට එයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්‍ෂ නිලවරණයේදී පක්‍ෂ නායකත්වය සඳහා තමාද තරග කරන බව එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා අද (05) පෙරවරුවේ දැනුම්දීමත් සමග මාස කිහිපයක් යටපත්ව තිබූ එජාප අභ්‍යන්තර අර්බුදය යළිත් වටයකින් ඇවිලී තිබේ.

ඉදිරි නිලවරණයේදී නායකත්වය සඳහා තරග කරන ලෙස එම පක්‍ෂයේ සජිත් පාර්ශවය පසුගිය දින කිහිපයෙහි කරූ ජයසූරිය මහතාගෙන් ප‍්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය.

එම තත්ත්වය තුළ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ, තමා යළිත් පක්‍ෂ නායකත්වය සඳහා තරග කරන බවයි.

කෙසේ වුවද, එයට පිළිතුරු වශයෙන් අද දිනයේ විශේෂ ප‍්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළ කරූ ජයසූරිය මහතා ප‍්‍රකාශ කොට ඇත්තේ, පක්‍ෂය ඇද වැටී ඇති තත්ත්වය හමුවේ තව දුරටත් නිහඬව සිටීම බරපතල අපරාධයක් බැවින්, පක්‍ෂය නිවැරදි මාවතට ගැනීම සඳහා තමන් පක්‍ෂ නායකත්වය සඳහා ඉදිරිපත් වන බවයි.

කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කළ එම නිවේදනය කිසිදු සංශෝධනයකින් තොරව පහත පළවේ.

පසුගිය සති කිහිපයක් තිස්සේ අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්වහන්සේලාද, මහා සංඝයා වහන්සේලාද අන්‍යාගමික පූජක උතුමන්ලාද, එක්සත් ජාතික පක්ෂයේ සගයන්ද, ශාලා සංවිධාන ද, ආධාරකරුවන් හා සිවිල් සංවිධාන සහ අනෙකුත් පාර්ශ්වයන් මා හමුවේ කරුණු කියා පෑහ.

ඒ සියළුම දෙනාම එක් කාරණාවක් පිළිබඳව තමන් තුළ දැඩි සැලකිලිමත් භාවයක් ප‍්‍රකාශ කර සිටියහ. ඔවුන් සියළු දෙනාම එක හඬින් පවසා සිටියේ අප නිදහස ලද දිනයේ සිට සැමගේ ගෞරවයට පාත‍්‍ර වූ ජාතිකමය වටිනාකමකින් යුතු එක්සත් ජාතික පක්ෂය තවදුරටත් විශ්වසනීය, ස්වාධීන, ප‍්‍රජාතන්ත‍්‍රික විපක්ෂයක් වශයෙන් ක‍්‍රියාකාරීමට අසමත් වන්නා වූ තරමේ පහන් මට්ටමකට පිරිහී ඇති බවයි. දිනපතාම අපට අපගේ බිම් මට්ටමේ සාමාජිකයන්ගේ සහයෝගය අහිමි වෙමින් පවතින අතර, සාමාන්‍ය ජනතාව ඉදිරියේ අපි හාස්‍යයට බඳුන් වෙමින් සිටිමු. පක්ෂය තුළ සිටින සුළු පිරිසක්, පක්ෂයේ ආධාරකරුවන් අති බහුතරය හා අපගේ සමස්ත ජාතිය ඔවුන්ගේ ග‍්‍රහණයට ගෙන සිටීම මෙහි ඇති ඛේදජනක තත්ත්වයයි. පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන සඳහා ඔවුන් තුළ පවත්නා කෑදරකම, පක්ෂය වෙතට ඔවුන් තුළ තිබෙන ආදරය අභිබවා නැගී සිටින බව මවිසින් නොකිවයුතු තරම්ය. පක්ෂය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, විනිවිදභාවය සහ ක‍්‍රියාකාරී විපක්‍ෂයක් ගොඩ නගා ගැනීම සඳහා ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින්, මා සහ මගේ සඟයන් ගෙන ගිය අරගලය ඵල රහිත වූයේ මෙබැවිනි. අපි අවස්ථා බොහෝ ගණනකදී මෙම කාරණා සම්බන්ධයෙන් පක්‍ෂයේ නායක ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා සමගින් සාකච්ඡුා කළෙමු. ඉතා කණගාටුවෙන් සහ සිත් වේදනාවෙන් යුතුව මා හට පැවසීමට ඇත්තේ අපව හුදෙකලා කරනු ලැබීමයි. පක්‍ෂය සම්බන්ධව කිසිදු කාරණයක් පිළිබඳව අපට දැනුම්දීමක් හෝ අපගෙන් විමසීමක් හෝ සිදු නොවීය.

‘‘නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීම පිළිබඳව අපි දේශනා කරන්නෙමු. එහෙත් අප පක්‍ෂය තුළ එය නොපවතී. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපි දේශනා කරන්නෙමු. එහෙත් අපගේ පක්ෂය තුළ එවැන්නක් නොමැති අතර, ඒ වෙනුවෙන් අප පක්ෂය තුළ අද පවතිනුයේ අසමගිතාව, පළිගැනීම උදෙසා උපක‍්‍රමිකව ක‍්‍රියාත්මක වීමයි.

අපි රජය තුළ පවත්නා ආඥාදායක ස්වරූපය පැමිණිලි කරමින් සිටියද ඊට වඩා වැඩි ගුණයකින් යුත් ආඥායකත්වයක් අපගේ පක්ෂය තුළ පවතින බව අපි අමතක කර ඇත්තෙමු. සම නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා විසින් මා වෙත එවන ලද ලිපියකින් ඔහු පවසා සිටින්නේ මෑත අවුරුදුවලදී මන්ත‍්‍රීවරුන් 61 දෙනෙකු සන්ධාන රජයට සම්බන්ධ වූයේ මේ කාරණය නිසාවෙන් බවයි. ඔවුන් අතරින් ඇතැමෙක් රජයේ ප‍්‍රබල ඇමතිධූර උසුලති. ඔහු පෙන්වා දෙන පරිදි 1994න් පටන් ගත් පසු ගිය වසර දහසය තුළ දී අපගේ පක්ෂයේ ඡුන්ද පදනම 45% සිට 29% වන ඉතාම කණගාටුදායක තත්ත්වයකට ඇද වැටී ඇත. එක පුද්ගලයෙකු හෝ සුළු කණ්ඩායමකගේ ක‍්‍රියාවන් හේතුවෙන් අපගේ පක්ෂය තුළ ක‍්‍රමිකව හා අඛණ්ඩව සිදුවන්නා වූ මෙම විනාශයට තවදුරටත් ඉඩ දිය හැකිද? මහජනතාව විසින් එක්සත් ජාතික පක්ෂය වෙත තබා ඇති විශ්වාසය තවදුරටත් බිඳ දැමීමට ඉඩ දිය හැකිදැයි මම මගෙන්ම විමසා සිටියෙමි. එය එසේ වීමට ඉඩ දිය නොහැකි බව මට හොඳින්ම තහවුරු වී ඇත්තේය. අපි අපගේ පාක්ෂිකයන්, මහජනතාව හා අපගේ රට වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමක් ඇත.

රටේ යහපත උදෙසා එසේ කළ යුතු වන්නේ නම් තනතුරු අත්හැරීමට මා සුදානමින් සිටින වග මවිසින් මෙයට ප‍්‍රථමයෙන් කරනු ලැබුවා වූ බොහෝ ප‍්‍රකාශයන් මගින් ඉතා පැහැදිලිව අවධාරණය කර ඇත්තෙමි. ඒ බැව් මා යළිත් වරක් ප‍්‍රකාශ කරමි. මා මෙසේ පවසා සිටින්නේ අන් කිසිවක් උදෙසා නොව මා කිසිවිටෙකත් තනතුරු අපේක්ෂාවෙන් ක‍්‍රියා නොකළ අතරම මා තුළ සැමවිටම පැවතියේ පක්ෂයේ යහපත යන කරුණ පෙන්වා දීමටයි. බොහෝ දෙනෙකු දන්නා පරිද්දෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ මාගේ දිගු කාලීන රජය සමග කටයුතු කළ ඉතා කෙටි කාල සීමාවක දී පමණක් යම් බාධාවකට ලක් විය.

මේ සඳහා මා පොළඹවනු ලැබුවේ ත‍්‍රස්තවාදයට එරෙහිව රජය ගෙන ගිය සටනේ දී එකී වෑයම සහය දිය යුතු බවට මාගේ හෘද සාක්ෂිය තුළ පැවති දැඩි අධිෂ්ඨානයයි. යුද්ධය අවසන් වී ඇතත්, සාමය උදා වී නැත’ ප‍්‍රචණ්ඩත්වය හා දූෂණය වර්ධනය වෙමින් පවතී. මවිසින් ගනු ලැබුවේ වැරදි තීන්දුවක් දැයි ඇතැම් විට මගේ සිත මගෙන් ප‍්‍රශ්න කරයි. කෙසේ වුවද මවිසින් පැහැදිලිව කිව යුත්තේ මා රජයට සහාය දුන් අවස්ථාවේ දී මා එය එළි පිටම සිදු කළ අතර, නැවත පැමිණීම ද එළිපිටම සිදු කළ බවයි. එක්සත් ජතික පක්ෂය සමඟ වන මාගේ සම්බන්ධතා තුළ ද මවිසින් සිදු කළ කිසිදු සංවාදයක් පිටුපස දොරෙන් කළ ඒවා නොවන වග මා පැහැදිලිව ප‍්‍රකාශ කරමි’ එබැවින් විටින් විට මගේ ස්ථාවරයන් වෙනස් කිරීමට හෝ එක්සත් ජාතික පක්ෂය මොනයම් ආකාරයකින් හෝ අපහසුවට පත් කිරීමට හේතුවක් මට නොවීය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා කරන ලෙස මා වෙත කරන ලද බොහෝ ඉල්ලීම් හමුවේ මම තවදුරටත් එකී ඉල්ලීම් නොතකා සිටිය නොහැකි තත්ත්වයකට පත්වීමි. මා ප‍්‍රකාශ කර සිටින්නේ මා වෙත කරුණු එම ඉල්ලීම් මවිසින් පිළිගන්නට යෙදුණු අතර, මා ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා තරග කිරීමට තීරණය කළ බවයි. අපට නොයෙකුත් බාධකවලට මුහුණ දීමට සිදු විය හැකි බව මාත් මගේ සඟයනුත් හොඳින් දැන සිටින්නෙමු. අපගේ මඟ ඇහිරීම සඳහා, දැනටමත් පෙනී යන පරිද්දෙන්, විවිධ ආකාරයේ වැට කඩොළු බැඳීමට දරණ උත්සාහයන් පිළිබඳව අපි දැනුවත්ව සිටින්නෙමු. එසේ වුවත් පක්ෂ නායකත්වයට තරග වදින ලෙස මගෙන් ඉල්ලා සිටි සියළු දෙනාටම මා සහතික කොට කියා සිටින්නේ කුමන ආකාරයේ සිද්ධීන්වලට මුහුණ දීමට සිදු වුවත් මා ඔවුන්ගේ ඉල්ලීම සපුරාලීම සඳහා ක‍්‍රියා කරන බවයි. මා පක්ෂයේ නායකධූරය සඳහා තරග වදින්නේ එක්සත් ජාතික පක්ෂය බේරා ගැනීමට හා එක්සත් කිරීමටයි. නිලතලවලට වඩා මම එක්සත් ජාතික පක්ෂයට ආදාරය කරන්නෙමි. නායකත්වය සඳහා තරග වදින ලෙස මගෙන් ඉල්ලා සිටි සැමට මා දුන් පොරොන්දුව ද එයයි.