ප්‍රංශ සමාජවාදී ජනපති අපේක්ෂක වැනසූ ආකාරය

| මණ්ඩාවල පඤ්ඤාවංස හිමි

මෙම කෙටි ලිපිය මා ලියන්නට අදහස් කළේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයක් ඇතිකළ දොමිනික් ස්ත්‍රෝස් කාන් ට එරෙහිව නැගුණු දූෂණ චෝදනාවට අදාල වීඩියෝ පටයක් ප්‍රංශ රූපවාහිනියෙන් ප්‍රසිද්ධ කර තිබෙන බැවිණි.
මෙම සිද්ධියේ කුමන්ත්‍රණකාරී ස්වභාවය මුල පටන්ම පෙනෙන්නට තිබුණි.

1. දොමිනික් ස්ත්‍රෝස් කාන් ප්‍රංශ ජනපති වරණයට ඉදිරිපත් වන්නට සිටි අතර මතවිචාරණවල දී ඉදිරියෙන් ම සිටි පුද්ගලයා වීම.
2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති අමෙරිකාවට අහිතකරයැයි අමෙරිකානු ඉහළ නිලධාරියකු ප්‍රසිද්ධියේ ප්‍රකාශකර තිබීම.
3. ඔහු සැබවින් ම තුන්වන ලොකයේ හිතවතෙකු වශයෙන් ප්‍රකටව තිබීම. (යුද්ධය අවසානයේ දී ලංකාව බෙහෙවින් අසීරු තත්වයකට පත්ව සිටියදී, ප්‍රංශය, එංගලන්තය, අමෙරිකාව සහ ජර්මනිය එළිපිට ම ලංකාවට ණය නො දෙන්නැයි කියිද්දී ඔහු එය ලබා දුන්නේය; එන්ජීඕ සියල්ල ම ත් රනිල් මහතා ඇතුළු අයත් ණය නො දෙන ලෙස බලකළහ.)
4. යුදෙව් ජාතිකයකු වුවත් හෙතෙම යුදෙව්වාදය (ZIONISM)ට එරෙහිය. ඔහු බලයට ඒම ඊස්රායලයට ද ගැටළුවකි.
5. එම අත්අඩංගුවට ගැනීම කරන ලද්දේ දවසකට දූෂණ කීපයක් සිදුවන අමෙරිකාවේ සිදුවූ පළමු ස්ත්‍රී දූෂණය යැයි ඇඟෙන ආකාරයෙනි. (ගුවන්යානයට ගොස් මාංචු දමා කැමරා ඉදිරියේ නාට්‍යයක ආකාරයෙන් සියල්ල සිදුවිය!)
6. බටහිර සියලු ප්‍රචාරක මාධ්‍යයන් විසින් ඔහු ව එක්වර ම වැරදිකරු බවට පත්කරන ලදි.
7. ඔහු ප්‍රංශ ජනපති වීම යනු අමෙරිකානු ආක්‍රමණශීලී ප්‍රතිපත්තියට එරෙහි ලොකු පහරක් වෙයි.
මේ සියලු සිද්ධීන් සිදුවන විට මෙම ලිපියේ ලේඛකයා ලංකාවේ පුවත් සේවයකට මෙහි පවතින සැකසහිත බව ගැන සටහනක් ලියූ විට කීප දෙනෙක් ම අපහාසාත්මක අයුරින් ඊට එරෙහිව සටහන් ලියා තිබුණි. බටහිරට ගැති නො වන නායකයකු විනාශ කිරීමට අවශ්‍යවන විට කටයුතු කරන ආකාරය ගැන මෙම ලේඛකයාට අවබෝධයක් තිබේ. සදාම් හුසේන් කුර්දි වරුන්ට එරෙහිව රසායනික අවිවලින් පහර දුන් විට අමෙරිකාව ප්‍රකාශ කළේ එය ඉරාකයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බැවින් ඒ ගැන කිසිවක් කළ නො හැකි බවයි(Le monde diplomatique). එහෙත් ඔහු විනාශ කරන්නට අවශ්‍යවූ විට නො පවතින විනාශකාරී ආයුධ කතාවක් ගොතා ගත්තේය. (ජෙන්ටල්මන්ලා සිටින එංගලන්තයේ ටෝනි බ්ලෙයාර් ජෙන්ට්ල්මන්වරයා කිසි හිරිකිතයක් නැතිව එම විනාශකාරී ආයුධවලට අදාල ලිපි ලේඛන හමුවී ඇතැයි යන මහ මුසාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය!)

වාමාංශික සහ ට්‍රොට්ස්කිවාදී යැයි කියන ලේඛකයන් ද මෙම කතාව රසකර කමින්, එහි පැහැදිලිව පෙනෙන කුමන්ත්‍රණකාරී ස්වරූපය නො සලකා හරිමින් ‘අධිරාජ්‍යවාදයට‘ ම සේවය කළ ආකාරය අපි දුටිමු.

මෙම ලිපිය සමග නැරඹිය හැකි වීඩියෝ පටය ප්‍රංශ රූපවාහිනියෙන් පසුගිය දා ප්‍රචාරය විය. ප්‍රංශ බසින් තිබෙන නිසා එහි අඩංගුව සිංහලට පෙරලා මෙහි ඉදිරිපත් කරනු ලැබේ.

කළැයි කියන ස්ත්‍රී දූෂණයට විනාඩි 20 කට (එනම් දවල් 12.27 ට) පසුව ‘දූෂකයා‘ කිසි ම කලබලයක් නැතිව හෝටලයේ කවුන්ටය වෙත එයි. සියලු ගෙවීම් ඉවරවන තුරු ඉතා සංසුන් ව සිටි හෙතෙ ම පසු ව ඉතා එළියට ගමන් කරයි. පළමු ටැක්සිය අල්ලා ගන්නට නො හැකි වෙයි! එහෙත් මෙම ‘පලායන ස්ත්‍රී දූෂකයා‘ ඉතා සංසුන් ව සිටී. (චෝදනාව වූයේ ඔහු පළායන්නට තැත්කළ බවයි!) ඊළඟ ටැක්සියට නගින විට (12.30) දුරකථන පණිවිඩයක් දෙයි. (ගෙතූ කතාවේ ඔහුට කලබලය නිසා දුරකථනය අමතකවීලු!) ඒ නිවියෝර්ක් සරසවියේ ඉගෙනුම ලබන දුව සමග දවල් ආහාරයට ගනු පිණිස එන බව දන්වනු පිණිසයි. (මෙය ද අමෙරිකන් රහස් පොලීසිය විසින් සොයා ගන්නා ලද කරුණුය) සිය පියා ඉතා සතුටින් දිවා ආහාරය ගත් බව ද දුව ප්‍රකාශ කර තිබුණි.

12.51 ට හෙවත් ‘සිත්‍රී දූෂණය‘ සිදුවී විනාඩි 45 කට පසුව හෝටල් සේවිකාව හෝටල් අධිකාරියේ නිලධාරියකු සමග පැමිණෙයි. එම නිලධාරියා යම් කෙනෙකුට හෝටලයේ කවුන්ටරයෙන් දුරකථන ඇමතුමක් දෙයි!(අබිරහස්!) 12.53 ට බ්‍රයන් නම් වීඩියෝ නිරීක්ෂක ඉංජිනේරුවා එතනට එයි. විනාඩි 1 කට පසුව එම දෙදෙනාට ‘දූෂණය වූ‘ සේවිකාව සහ ඇගේ ප්‍රධානී යන දෙදෙනාට මුණගැසෙති. ‘දූෂණය‘ වූ ස්ත්‍රිය විනාඩි 8 තිස්සේ කිසි කලබලයක්, හැඩීමක් හෝ නැතිව සංසුන් ව වාඩිවී සිටී! 13.04 ට තුන්වන නිලධාරියෙක් ඇගේ විස්තරයට සවන් දෙයි. එතෙක් සංසුන් ව සිටි ඇය දෑත් වීසි කරමින් තමා දූෂණය වූ ආකාරය විස්තර කරයි! (එම සවන්දුන් නිලධාරියා ඊට පසුව මෙම පටියෙහි දිස් නො වෙයි.) ඇයට තමා දූෂණය වූ ආකාරය විස්තර කරන ලෙස උපදෙස් ලැබෙයි. ඇය එක් නිලධාරියකු සමග එය නාට්‍යානුසාරයෙන් පෙන්නුම් කරයි! නැවත ‘දූෂිත“ කත අසුන් ගන්නා අතර සෙසු සේවිකාවන් විසින් ඈ කොන්කරනු ලැබෙන බවක් පෙනේ. ඒ අතර 13.33 ට නිලධාරියා පොලීසියට අමතයි. විනාඩි තිහකට හෝ හතලිහකට කලින් දූෂණය සිදුවූ බව ඔහු පොලීසියට කියයි.
පොලීසියට දුරකථන ඇමතුම දීමෙන් පසුව 13.34 ට එම නිලධාරීන් දෙදෙනා වෙනත් තැනකට යති. එම ස්ථානයෙහි වෙන කිසිවෙක් නැත. එක්වරම දෙදෙනා මහා සතුටකින් ඉල්පී යමින් නටන්නට පටන් ගනිති!!! තත්පර දොලහක් තිස්සේ එම “ප්‍රමුදිත නර්තනය“ සිදුවිය. ඔවුන්ගේ මෙම හදිසි සන්තුෂ්ටියේ හේතුව දැන් අනාවරණය වී අවසානය!!!
මෙහි ඇති අවසනාව නම්, අත්අඩංගුවට ගැනීම ගැන, මාංචු දැමීම ගැන පුවතට ලැබුණු ප්‍රසිද්ධිය එම යහපත් මිනිසා නිදහස්වීමේ පුවතට ලැබුණේ නැති වීමයි.

පොදුවේ දේශපාලනයෙහි තිබෙන කුරිරුකම කියා පාමින් සමාජවාදී පක්ෂයේ ම නායක නායිකාවෝ දොමිනික්ගේ අවාසනාව සිය වාසනාව කරගන්නට තැත්කළහ.

බොහෝවිට ඇතුලාන්තයේ කුණු පිරී තිබෙන සුචරිතවාදීහු ද මෙහි දී සිය කුණු සෝදා ගන්නට කළහැකි සියල්ල ම කළහ.
සියල්ලෙහි ම අවසාන ප්‍රතිඵලය කුමන්ත්‍රණකරුවන්ට අවාසි දායක වී නැත! දොමිනික් ජනපතිවීම සිදුවන බවක් නො පෙනේ. සර්කෝසි ජනපති තුමාට සුවසේ නින්ද යයි. අමෙරිකන් පාලනයට වියදම ගැන කණගාටු වන්නට දෙයක් නැත!
මෙම සියලු දෙයක් ම කර්ම ශක්තියේ ම ප්‍රතිඵල වශයෙන් අප වෙත ආපසු එන දේවල් බව ද මෙහි දී සැලකිල්ලට ගත යුතුය. දොමිනික් ම මෙවැන්නක් තව කෙනෙකුට පෙර යම් කලෙක කරන්නට ඇති.

ලිපියට අදාල වීඩියෝ පටය: