රාජපක්ෂගේ රාජකීය හෙළුව

|  නිලන්ත ඉලංගමුව

මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය නින්දාසීලි ලෙස එකිනෙකාගේ අබිමතයට හසුරුවන කාරණයක් බවට පත් වී තිබේ. එය ඉතා සීමා සහිත වූ දේශපාලන අවකාශයක් අප හමුවේ නිර්මාණය කොට තිබේ. එම අවකාශය ව්‍යවස්ථාමය වශයෙන් උරුම වූ සැබෑවක් ලෙස පිළිගැනීම බොළඳ කමකි - අරුන්දතී රෝයි ( ඇන් ඔර්ඩිනරි පර්සන්ස් ගයිඩ් ටු එම්පයර් - පිටුව 293 )

තමන් මෙරට බේරා ගැනීමේ "වරදට" ඇතැමුන් රට රටවල ඇවිදිමින් තමන්ට එරෙහිව කටයුතු කරමින් මේ බේරා ගත් රට පාවා දෙන බව සහ එසේ පවා දෙන වුන්ට කිසිම සමාවක් නොදෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. හැකිනම් කරන විවේචනයක් රට තුළ සිට කරන බව ඉල්ලා සිටි හෙතම එසේ ඇතැමුන් සිදු නොකරන බව ප්‍රකාශ කරනු ලැබුවේ රටේ ජනතාව එකී විවේචකයනට ඇහුන්කම් නොදෙන බව ප්‍රකාශ කරමිනි. මීට පෙර වෙනස් අකාරයකට මෙම ගීයම තනුව වෙනස් කරමින් ගායනා කළ රාජපක්ෂ මහතා තොත්ත බබෙකු ලෙස ප්‍රකාශ කළේ ඔහු ජාතිය බේරා ගත් වරදට ඇතැමුන් තවමන්ව විදුලි පුටුවේ ඉන්දවීමට කුමන්ත්‍රණය කරන බවත් එසේ වාඩි වීමට තමන් නොබියව ඉදිරිපත්වන බවත්ය. තමන්ගේ ජනතාව වෙනුවෙන් මරණය වුව තෝරා ගැනීමට තමන් පසුබට නොවන බව හෙතම වැඩි දුරටත් ප්‍රකාශ කළේය. එකල දිස් වූයේ සංවේදී නායකයාගේ සංවේදී කදුලය. මෙකල දිස් වන්නේ සංවේදී නායකයාගේ බිහිසුණු චන්ඩිකමය . රාජපක්ෂ කියන ආකාරයේ විවේචනයක් රට තුළ සිට සිදු කළේනම් හිටපු නීතීපති මොහාන් පිරිස් මහතා හට ජිනීවාහීදී ප්‍රගීත් එකනලිගොඩ පමණක් නොව තවත් දීර්ඝ ලයිතුවක් ඉදිරිපත් කිරීමට සිදුවන්නේ බැංකු ණය සඳහා පොළඹවන තැරව්කාරයකුගේ භූමිකාව හා සමරුපි වෙමින් ණය ලබාගැනීම සඳහා ආ ගිය අතේ බොරු කීමටය. මොහොන් පිරිස්ට අනුව ප්‍රගීත් පිටරටක වාසය කරන්නේය. ඒ ගැන ප්‍රශ්න අසන විට කෙහෙළිය රඹුක්වැල්ල අදාළ කාරණය ගැන අතිශය ප්‍රභල පරීක්ෂණයක් පවත්වන බව කියන්නේය. තවමත් එම පර්යේෂණයේ ප්‍රතිඵල නැත. මෙවැනි වාචාලයින් විසින් මෙහෙවන තක්කඩි පාලනයේ ගොදුරක් බවට මුළු රටම පත් වී ඇත්තේ සැබෑ ඒකාධිපතිතවයකට රට තල්ලු වී ඇති බව ඔප්පු කරමිනි. මොවුන් සියලු දෙනාටම බොරු කීමට සිදු වී ඇත්තේ තමන්ගේ පෞද්ගලික ජීවිතේ ආරක්ෂා කර ගැනීමටය. එය එසේ නොවුන හොත් තවත් සිය ගණනක් සරත් ෆොන්සේකලා බිහි වනු ඇත. කෙසේ වෙතත් මෙම වාචාල කතා කියා පෑල දොරින් තම ගෙට රිංගන විට තවත් කිහිප දෙනෙකු මෙරට අතුරුදන්ය. පසුගිය නොවැම්බර් මාසයේදී පමණක් මාධ්‍යට වාර්තා වූ අතුරුදන් වුවන්ගේ ගණන එකොලොස් දෙනෙකි. ඉන් නැවත තම නිවාස කරා පැමිණියේ සිව් දෙනෙකු පමණි. කරන දෙයක් රට තුළ සිට කරන්න යැයි කියවන රාජපක්ෂ පාලනයේ සැබෑ කාරණය වන්නේ මෙයයි.

රටේ ප්‍රතිරූපය ඉහළ දැමීම සඳහා කුලියට ගෙන ඇත්තේ සහ ජනතාවගේ බදු මුදලින් මිලියන ගණනක් ගෙවනු ලබන්නේ හින්දු පුවත්පතේ එන්. රාම්ට නොවේ, එනම් රාජපක්ෂ විසින්ම ප්‍රතික්ෂේප කරන සුද්දන්ටය. රාජපක්ෂ දේශීය දේශපාලනයේදී සුද්දට පයින් ගසන බව ප්‍රකාශ කරමින් සැබෑ ජීවිතයේදී ඔවුන්ගේ පාද නමස්කාර කරමින් සැතපෙන්නේ ඔවුන්ගේ දෙපා අභියසය. රුහුණේ සිංහයා දළ නැති වල් ඌරකු වී ඇත්තේ එසේය.
මේ වන විට රටේ තත්වය " ඊශ්‍රායල" මොසාඩ් මාදිලියේ සෙවනැලි ඝාතකයින්ගේ පාරාදීසයක් වී තිබේ. මෙය මොසාඩ් සංවිධානය විසින් ඝාතනය කරනවාටත් වඩා අතිශය බයංකාර තත්වයක් බවට පත් වී ඇත්තේ මොසාඩ් සංවිධානය තම ඝාතන සිදු කිරීම සඳහා එරට බලයේ සිටින අගමැතිවරයාගෙන් ලිඛිත ලියවිල්ලක් ලබාගත යුතු අතර එය එරට රාජ්‍ය රහස් යටතේ ලේඛනාගාරගත කළ යුතු වේ. පසුගිය වසරේ මොසාඩ් සංවිධානය විසින් ඩුබායි හී හෝටලයකදී සිදු කරනු ලැබූ වඩාත් ක්‍රමෝපායික ඝාතනයක් වන මොහොමඩ් අල් මොබු ඝාතනය පවා අගමැතිවරයාගේ ලිඛිත සහතික කිරීමක් මත සිදු වූ දෙයක් වන අතර බොහෝ දුරට අදාළ ඝාතන වලින් ඉලක්ක ගත වූයේ ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂාව සඳහා දැඩි බලපෑමක් සිදු කරන විදේශික පුදගලියින්ය. සැබෑ සතුරන්ය. කෙසේ වෙතත් මොසාඩ් හෝ වෙන ඕනෑම සංවිධානයක් විසින් සිදු කරන ඝාතන කිසි ලෙසකින් සාදාරනීකරණය කළ නොහැකිය. එය බරපතල වරදකි. නමුත් ලංකාවේ මේ වන විට සියල්ලම සිදු වන්නේ හිතේ මනාපයටය. එය සාදාරනීකරණය කර ගැනීම සඳහා තමන් රට යයි සිතා තමාට හානී කිරීම හෝ වචනයකින්දු විරුද්ධව ප්‍රකශ කිරීම රටට කරන හානියක්ය; යන්න ආදේශ කරමින් සිටියි.

රාජපක්ෂ, තමන් විසින් භාවිතය ගෙන ඉවත දැමිය යුතු දෙයක් බවට ඔහුට පරිබාහිර පුද්ගලයින් සියල්ල ගැන සලකමින් සිටින්නේ රටේ පාලකයා රජෙකු වූ වූ විට පාලිතයින් විෂයන් බවට පත් වීම අනිවාර්ය තත්වයක් බව සනාථ කරමිනි. තම රට තුළ පැහැරගැනීම් සහ ඝාතන සිදු කිරීම කුමන ඒකකයක් විසින් එය සිදු කළත් අවසාන වගකීම පැවරෙන්නේ ආණ්ඩුවටය. රාජපක්ෂ විසින්ම තමන්ගේ චින්තනය ප්‍රකාරව සඳහන් කරනු ලැබූ " තමන් රටේ තාවකාලික භාරකාරය වන්නෙමියි" යන කියමනේ සැබෑ ලෙස භාවිත කළ යුතු අකාරය වන්නේ එයයි. නමුත් රාජපක්ෂගේ වචන සහ භාවිතයන් ගැන කවුරුත් දනී. මෙලෙස තමනට පැවරී ඇති මුලික වගකීම් වලින් අපගමනය වී පාලකයා වෙනත් වාචාල කතා කියමින් නැති සතුරන් මවා පෙන්නවමින් ඔප්පු කරමින් සිටින්නේ තමන් යහ පාලනයක් නොව මර්ධනයක් කරමින් සිටින බවය. කාම්බෝජයේ පොල් පොට් විසින් සිදු කරනු ලැබුවේ මෙයයි.

රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තම දේශීයත්වය රට දැය බේරා ගෙන සුද්දන්ගේ දනින් මුල නොවැටී සිංහයකු මෙන් සටන් කරන බව ප්‍රකාශ කරමින් සිදු කොට ඇති නාඩකමේ හෙළුව සහ ඔහු මවාගෙන ඇති ව්‍යාජය මෙරට ජනතාවගේම බදු මුදල් මංකොල්ල කෑ සංවිධානවලින් හෙළිදරව් කරමින් සිටියි. සතුරා සමඟ ආර්ථිකමය වශයෙන් ගනුදෙනු කිරීමේදී සමඟියත් දේශපාලනික කාරණා සම්බන්ධයෙන් අසමගියත් පෙනිවිය යුතුය යන මුලික බටහිර ප්‍රතිපත්තියට ගොදුරු වූ නායකයින් ලෝක ඉතිහාසයේ සිටියහ. උදාහරණ සිය ගණනක් අතුරින් මෑතකදී ඒ සම්බන්ධව කරලියට පැමිණියේ මහා මගදී සතෙකු මෙන් මරා දමනු ලැබූ ලිබියාවේ මෝහම්මර් ගඩාෆිය. රාජපක්ෂ පෙන්වමින් සිටින්නේද එවැනිම වූ මොඩලයකි.

අද දින ( දෙසැම්බර් 06 ) ලන්ඩනයේ සිට පලවන " ද ඉන්ඩිපෙන්ඩන්ට්" පුවත්පත ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් කළ ඇති හෙළිදරව් කිරීම වලින් එය සනාථ වේ. අදාළ පුවත් වාර්තාවට අනුව රාජපක්ෂ විසින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නගා ගැනීම සඳහා කුලී සේවයට ගත් බෙල් පුටින්ගර් ආයතනය විසින් ඔහු විසින් " තෙරුවන් සරණයි" යැයි ( එය පමණක් රාජපක්ෂගේ ප්‍රඥා බල මහිමයෙන් ලියා ඇත .) අවසන් කරනු ලබූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ඉදිරිපත් කළ කතාව ලියා ඇති බවයි. බෙල් පුටින්ගර් පිළිබඳව මීට මාස ගණනාවක සිට විවේචන ඉරිදිපත් වූ අතර ඒ සඳහා රජයේ පැත්තෙන් තොරතුරු දැක් වූයේ මහා බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්ලාල්ය. ( බොහෝ විට මෙහි තැරව්කාරයා විය හැක්කේ ඔහුය.) ඔහු වරකදී කේන්තියට පත් වෙමින් අදාළ කාරණය ගැන ඇසීම පවා සුදුසු නොවන බවත් රටේ ප්‍රතිරූපය ඉහළ දැමීම සඳහා විශාල මුදලක් වැය කරන බවත් ප්‍රකාශ කළේය. රටේ ප්‍රතිරූපය ඉහළ දැමීම සඳහා කුලියට ගෙන ඇත්තේ සහ ජනතාවගේ බදු මුදලින් මිලියන ගණනක් ගෙවනු ලබන්නේ හින්දු පුවත්පතේ එන්. රාම්ට නොවේ, එනම් රාජපක්ෂ විසින්ම ප්‍රතික්ෂේප කරන සුද්දන්ටය. රාජපක්ෂ දේශීය දේශපාලනයේදී සුද්දට පයින් ගසන බව ප්‍රකාශ කරමින් සැබෑ ජීවිතයේදී ඔවුන්ගේ පාද නමස්කාර කරමින් සැතපෙන්නේ ඔවුන්ගේ දෙපා අභියසය. රුහුණේ සිංහයා දළ නැති වල් ඌරකු වී ඇත්තේ එසේය. මා විසින් මීට මාස කිහිපයකට පෙර යලිත් මෙරට අඩු තරමින් පොදු නිතීයක් හෝ සෑම දෙනාටම පොදු ආකාරයෙන් ඇති වීමටනම් තවත් වසර 200 කාටවත් සුද්දන්ට යටත් විය යුතු යයි ප්‍රකාශ කරන විට දේශද්‍රෝහියෙකු ලෙස නම් කරමින් බොහෝ දෙනෙක් විවේචනය කළහ. නමුත් පවතින ඇත්ත තුල සිදු වන්න වෙනත් ආකාරයකින් රාජ්‍යම වහල් සේවයේ යෙදවීමකි.

අදාළ පුත් පතට අදහස් දක්වූ බෙල් පුටින්ගර් ආයතනයේ අධ්‍යක්ෂක ටිම් රයන් පෙන්වා දෙන පරිදි රාජපක්ෂ තමන් විසින් සිදු කළ සියලු අපාරාධ මිහිදන් කිරීමට අපේක්ෂා කරන්නෙකි. අදාළ සමාගම විසින් ජනාධිපතිවරයා 2010 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී පවත්වනු ලැබූ "දේශනය" ලියා ඇත. ඊට අමතරව බෙල් පුටින්ගර් ආයතනය සමඟ කොන්ත්‍රාත් පදනම මත කටයුතු කරන එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක වන කියූඕස් සංවිධානය විසින් රාජපක්ෂ ලියු බව සඳහන් කරමින් ලිපියක් ලියා එය " ෆිලදෙල්පිය ඉන්කුරර් " නමැති ප්‍රකාශනයේ පළ කොට ඇත. එසේම ලංකාවේ දේශීය මාධ්‍ය තුළ ඉතා ඉහලින් සාකච්චා කෙරුණු වෝල් ස්ට්‍රීට් ජර්නල් සඟරාවට රාජපක්ෂ විසින් ලියු ලිපයද එවැනිම වූ කොන්ත්‍රාත්තුවක් මත සිදු වූ ගනුදෙනු මිස වෙන කිසිම දෙයක් නොමැත. මෙහිදී වැදගත් කාරණයක් වන්නේ රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය නැංවීම සඳහා මෙරට ජනතාවගේ මුදල් මංකොල්ල කමින් කටයුතු කළ බෙල් පුටින්ගර් ආයතනයට බ්‍රිතානයේ මාධ්‍ය තුළ කිසිඳු පිළිගත හැකි ඉඩක් වෙන් නොවීමය. වරකදී රාජපක්ෂ ගැන ලියු එවැනි ලිපියක් ප්‍රකට ගාර්ඩියන් පුවත් පතට ප්‍රසිද්ධ කිරීම සඳහා යොමු කළද එය විසින් ප්‍රතික්ෂේප කොට ඇත. රාජපක්ෂ විසින් රටේ ජනතාවගේ මුදල් නාස්ති කරමින් ජාත්‍යන්තරය හමුවේ තමන් සුදනෙකු වීමට උත්සහ කරමින් සිටින්නේ එසේය. පසුගිය කාලය පුරා රාජපක්ෂ සම්බන්ධයෙන් ගුණ කථන ගැයූ සෑම ජාත්‍යන්තර මාධ්‍යක් විසින්ම සිදු කොට ඇත්තේ මෙරටින් මුදල් හම්බ කිරීම සඳහා ව්‍යාජ නායකයා අව්‍යාජ බව ප්‍රකාශ කිරීමය. ද හින්දු ඇතුළු ඉන්දියාවේ පුවත්වල හැසිරීමද තවත් කෙටි කලිකින් මේ ආකාරයෙන්ම හෙළි වනු ඇත.

මෙහි ඇති ඛේදනීය තත්වය විස්තර කිරීම සඳහා වෙනත් විස්තර උපුටා දැක්වීම අවශ්‍ය වන්නේ නැත. එනම් පසුගිය දා එලි දැක් වූ කෝප් වර්තාවම ප්‍රමාණවත් වේ. රටේ සමස්ථ රාජ්‍ය ආයතන පද්ධතියම පාඩු ලබන අවස්ථාවක රාජපක්ෂ ඒ වෙනුවෙන් කටයුතු කිරීම අමතක කොට දමා පාඩු ලබනවා යැයි තමන්ට පෙනෙන පෞද්ගලික ආයතන පවරා ගැනීමේ පනත සම්මත කරමින් සිදු කරනු ලැබුවේ තව දුරටත් ස්වාධීන ව්‍යාපාරිකයින් මෙල්ල කිරීම මිස රට හැදීම නොවේ. එසේම ගාලුමුවදොර අක්කර හතක් වසර 99 කට බද්දට දීමට තීරණය කරනු ලැබුවේද ඔහු විසින්මය. මෙය කියුබාවේ ඌරන්ගේ බොක්ක නැමති ස්ථානය ඇමෙරිකානුවන්ට ලියාදුන් කියුබාවේ කම්කරුවන් සහ ග්‍රාමීය ජනතාව 20,000 කට ආසන්න ප්‍රමාණයක් මරා දැමුණු ෆුල්ජෙන්සිඔ බැටිස්ටාගේ හැසිරීම හා සමානය. වෙනස ඇත්තේ, මෙරට සංවේදී නායකයා ජාතික ඇදුමෙන් සැරසී සිටීම පමණි. මේ නිසා රාජපක්ෂට තම තනුව වෙනස් කරමින් එකේක මාදිලියේ ගීත ගායනා කිරීමට සිදු වී ඇත්තේ බලය රැක ගනිමින් තම සොරකම සහ අවනීතිය හැකි පමණ දේශහිතෛශී කිරීම සඳහාය.