මටයි දරු දෙන්නටයි පණ වාගේ ආදරය කළ අසේලගේ ජීවිතය කවුදො උදුරා ගත්තා

රංගන ශිල්පී අසේල ජයකොඩිගේ බිරිඳ කියයි

| ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ රිචඩ් ජී. සිල්වා

"අසේල මටයි දරුවො දෙන්නටයි පණ වාගේ ආදරෙයි. එයා එදා ගෙදරින් පිටත්ව ගියේ තවත් යාළුවෝ තුන්දෙනෙක්‌ එක්‌ක පාටියකට ගිහින් ඉක්‌මනට එනවා කියලයි. අනේ ඒත් පාටියට ගිහින් ගේ ළඟටම ආපු අසේලගේ ජීවිතය කවුදොa උදුරා ගත්තා. අසේල අපිට නොකියාම යන්න ගියා. දැන් මමයි, දුවයි, පුතයි තනිවෙලා."

කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ රාගම වැලිසර ප්‍රදේශයේ පෙරේදා (26 වැනිදා) රාත්‍රි සිදුවූ රිය අනතුරකින් මියගිය ජනප්‍රිය රංගන ශිල්පි අසේල ජයකොඩි මහතාගේ මරණය සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ ඒ මහතාගේ බිරිඳ වන චාන්දනී ජයකොඩි මහත්මිය (40) හැඬු කඳුළින් එසේ පැවසුවාය.

රංගන ශිල්පී අසේල ජයකොඩි මහතා කලා ජීවිතයේදී ටෙලි නාට්‍ය නිර්මාණ
රැසකටම සිය රංගන දායකත්වය සපයා ඇති නිහතමානී කලාකරුවකුද විය. මියයන විට 41 හැවිරිදි වියේ පසුවූ අසේල මහතා දරුවන් දෙදෙනකුගේ දයාබර පියකුද විය.

මෙහිදී තවදුරටත් කතා කළ චාන්දනී මහත්මිය මෙසේද කීවාය.

"අනේ මගේ රත්තරං අසේලට වෙච්ච දෙයක්‌. අසේලට මේ වගේ විපතක්‌ වේවි කියලා මං හීනෙකින්වත් හිතුවේ නැහැ. මගේ මහත්තයා කාටවත් කරදරයක්‌ නැතුව ජීවත් වුණු කෙනෙක්‌. එයා මටයි, මගේ දරුවො දෙන්නාටයි පණ වාගේ ආදරය කළා. අසේල තවත් යාළුවෝ තුන්දෙනෙක්‌ එක්‌ක පාටියකට ඉක්‌මනට ගිහින් එන්නම් කියලයි ගියේ. අනේ එයා ගේ ළඟටම ඇවිල්ලා එයාගේ ජීවිතය කවුදොa උදුරාගත්තා. අනේ අපේ කුරුලු කැදැල්ලේ ආලෝකය අහිමි වුණා. වාහන පදවන කොට කවුරුත් පරිස්‌සමින් පැදවිය යුතුයි."

අසේල ජයකොඩි මහතාගේ වැඩිමල් දියණිය වන කවීෂා (12) ක¹න සාන්ත සෙබස්‌තියන් බාලිකා විදුහලේ 7 වැනි ශ්‍රෝණියේ ඉගෙනුම ලබන අතර පුතා වන බිනර (08) බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ තුන්වැනි වසරේ අධ්‍යාපනය ලබයි. සිය ආදරණීය පියාගේ හදිසි වියෝවෙන් එම දරු දෙදෙනාගේ මුහුණු මැලවී ගොසිනි. දරු දෙදෙනාත් අසේල මහතාගේ බිරිඳත් ඉකිගසමින් හඬන අන්දම කාගේත් හදවත් උණුවී යන්නාක්‌ විය.

කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් විශාල මෙහෙයක්‌ ඉටුකළ ජනප්‍රිය රංගන ශිල්පි අසේල ජයකොඩි මහතා අකාලයේ හදිසි රිය අනතුරකින් මියයැම කලා ක්‍ෂේත්‍රයට විශාල පාඩුවක්‌ බව කලා ශිල්පීන් ශිල්පිනියන් කීප දෙනකුම පැවසූහ.