ජාත්‍යන්තර අධිකරණයට මා ගෙන යන්න හදනවා - වොහරපති මහින්ද රාජපක්ෂ

එය පුද්ගලිකව කරන රිදවීමක් නම් මාතෘ භූමිය වෙනුවෙන් ඉවසන්නම්


( මෙම පුවත කිසඳු සංශෝධනයකින් තොරව අද දවසේ දේශපාලන කොමඩිය සදහා තෝරා ගැනීමට තීරණය කළෙමු. මාතෘ භූමිය්වේ වෙනුවෙන් ඉවසීමට මෙතරම් ධෛර්යක් ඇති නායක රත්නයක් මේ සකල සිරින් පිරි සිරි ලංකාවේ ඉතිහාසයේ කොතනකවත් සිටියේ නැත. මේ රජාගේ පහස ලැබීමට ජනරාල් ෆොන්සේකා ඇතුළු අපි සියල්ල භාග්‍යවන්තයෝ නොවෙමුද? ) 


සිවිල් ජනතාව අතර සිට එදා අපට පහර දුන් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අද ජනතාවගේ මානව හිමිකම්වලට මුවා වී කෝටි සංඛ්‍යාත මුදලකින් අපට පහර දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.සුදු කොඩි රැගෙන පැමිණි එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන්ට වෙඩි තැබූ බවට කළ අසත්‍ය චෝදනාවේ බලපෑම තවමත් අපේ මාතෘ භූමියට තිබෙන බව ද, ව්‍යාජ රූපවාහිනී වැඩසටහන් ලෝකයට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කමිටු ජාත්‍යන්තරව පිහිටුවීම හා යුද අපරාධ චෝදනා සියල්ල එකට ඒකාබද්ධ වී තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ (22) පැවැති උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වෙමිනි. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධිය හැදෑරූ හමුදා නිලධාරීහූ මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් උපාධි ලබා ගත්හ. මෙහිදී අදහස් පළ කරමින්, විදේශ රටවලට ගිය පසු ජාත්‍යන්තර අධිකරණ ඉදිරියට ගෙන යාමට ඇතැමුන් බලා සිටින බව පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එය පුද්ගලිකව තමාට එරෙහිව කරන බලපෑමක් නම් මාතෘ භූමිය වෙනුවෙන් ඉවසිය හැකි බවත්, එය හුදෙක්ම පුද්ගලික පහරදීමක් නොව ජාතික ආරක්ෂාවට එල්ලවන තර්ජනයක් ලෙස තේරුම් ගත යුතු බවත් පැවසීය.

එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දේශපාලන අංශ නායකයා වශයෙන් සිටි තමිල් චෙල්වම් මියගිය පසු එය සාමයට එල්ල කළ පහරක් බවට ඇතැම් සංවිධාන හැඳීන්වූ බව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මහතා, යුද්ධය නවත්වන්නැයි කෑගැසූ සංවිධාන හා දේශපාලන පක්ෂ තවමත් ත්‍රස්තවාදී පිලේ කඳවුරු බැඳගෙන සිටින බවත්, මේ වෙනුවෙන් පුළුල්ව අවධානය යොමු කළ යුතු බවත් කියා සිටියේය. එදා කොටි ත්‍රස්තවාදීන් ඉපයූ මුදල් අවි ආයුධ මිලදී ගැනීම, නැව් හා ගුවන් යානා මිලදී ගැනීම, බඳවා ගන්නා සාමාජිකයන්ට වැටුප් ගෙවීම, මියගිය සාමාජිකයන්ගේ මාපියන් රැක බලා ගැනීම ආදිය වෙනුවෙන් වෙන් කළද අද ඔවුන්ගේ මුදල් වෙන් කරන්නේ මවුබිමට එරෙහි ප්‍රචාරයන්ට හා රට අස්ථාවර කරන කුමන්ත්‍රණවලට බව ඒ මහතා සිහිපත් කළේය.

නමුත් ඒවාට එරෙහිව සටන් කරන්නන්ට එරෙහිව බැඳී සිටින අප මුහුණ දී සිටින්නේ සපුරා වෙනස් තත්ත්වයකට බව සඳහන් කළ ජනාධිපතිවරයා ත්‍රස්තවාදීන්ගේත් අනුබල දෙන හා සහාය දෙන අයගේත් අසත්‍ය ප්‍රචාරවලට මුහුණ දෙන්න සිදු වී තිබෙන බවත් ඒ අතර රටේ පැවැත්මට හා ආරක්ෂාවට අසීමිතව වැඩ කිරීමට සිදු වී තිබෙන බවත් සඳහන් කළේය. ඉතිහාසයේ මෙන්ම අදටත් අපේ රටේ පිහිටීම සමස්ත ලෝකයටම ඉතා වැදගත් වී තිබෙන බවත්, එය ඇතැමුන්ගේ ප්‍රකාශ තුළින් පැහැදිලි වන බවත් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඉන්දියන් සාගරයටම පුළුල් බලපෑමක් එල්ල කළ හැකි ස්ථානයක අපේ රට පිහිටා තිබෙන බව ද කීවේය. මේ අතර ඒ මහතා පැවසූවේ ඒ හේතුව නිසාම රටේ ආරක්ෂාවට ද බලපෑම් කරන බවයි.

මෙය ආසියාවේ නැඟිටින සියවස වශයෙන් හඳුන්වා දුන් මහින්ද රාජපක්ෂ මහතා, එලෙස ආසියාව නැඟිටින විට අපේ රට ආසියාවේ ආශ්චර්ය වෙමින් තිබෙන බවත්, අපි කෙරෙහි අවධානය යොමු කරන අය වගේම අපිත් සමඟ ගැටෙන පිරිස් ද මතුවිය හැකි බවත් පෙන්වා දුන්නේය. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.