"රාජ්‍ය සේවකයන්ගේ වැටුප 10%කින් වැඩි කරන බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය බොරුවක්"

ජනතා විමුක්ති පෙරමුණේ ජනමාධ්‍ය සාකච්ඡාව 2011.11.23 පැලවත්ත ප්‍රධාන කාර්යාලයේදී එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත්, පා.ම. සුනිල් හදුන්නෙත්ති සහ හිටපු පා.ම. සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් සහභාගිත්වයෙන් පැවැත්වුණි.

පා.ම. විජිත හේරත් මහතා

නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථීක දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිඛෙනවා. ජනතා විමුක්ති පෙරමුුණ එයට එරෙහිව ඡන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වනවා.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප 10%කින් වැඩි කරන බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශය බොරුවක්. ඔහුන්ගේ මූලික වැටුපෙන් 10%කට සමාන දීමනාවක් පමණක් යෝජනා කරලා තියෙනවා. එසේම වෙනත් අය-වැය ලේඛනවලදී පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකරන ලෙස හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ අයවැයෙන් එවැනි ඉල්ලීමක් පවා නොකළේ ප්‍රෝඩාකාරී විශ්‍රාම වැටුප් පනතට විරෝධය පළකළ ලක‍ෂ 70ක් පමණ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් පලිගැනීමට.

ති්‍රවිද හමුදා සොල්දාදුවන්ගේ පවුල්වල තුන්වන දරු උපත වෙනුවෙන් රුපියල් ලක‍ෂය බැගින් දෙන බව 2011 අයවැයේදී කිව්වා. රුපියල් ලක‍ෂ 12,000ක් වෙන්කළා. ඒ අනුව හමුදා පවුල්වල සාමාජිකයින් 12,000 කට ආසන්න ප්‍රමාණයකට මේ වනවිට රුපියල් ලක‍ෂය ලැබී තිබිය යුතුයි. එසේ ලැබුණ කෙනෙක් සොයාගත නොහැකි වෙලා තියෙනවා. එම විහිළුකාරී යෝජනාව මෙවර විගඩමක් බවට පත්කරමින් පොලිස් සේවයේ යෙදී සිටින අයගේ තුන්වන දරු උපතක් වෙනුවෙන් රුපියල් ලක‍ෂය බැගින් දෙන බවට පොරොන්දුවක් දීල තියෙනවා.

රැකියා විරහිත උපාධිධාරීන් 40,000 කට වැඩි පිරිසක් මේ වනවිට සිටින අතර පසුගිය අයවැයෙන් ඔවුන් 15000 කට රැකියා ලබාදෙන බවට පොරොන්දු වුණා. මෙම අයවැය ලේඛනයෙන් එම පොරොන්දු දීම පවා අත්හැර දමලා. සෑම ග්‍රාම සේවා වසමකටම ජන සභා ලේකම්වරයෙකු බැගින් පත්කර උපාධිධාරීන් 15000 කට රැකියා දෙන බව කීවත් මේ වනවිට ජනසභා ලේකම් පොරොන්දුව අමතක කරලා.

මැතිවරණ ළංවී මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් නිධි කැණීම් කටයුතු කරමින් ජනතාවට සිහින දුන්තා. නමුත් මෑත අවස්ථා හතරක දී ගෑස් මිල වැඩි කළා මිස සමස්ත ජනතාවගේ ජීවන වියදම් ප්‍රශ්නය විසදීමට ඵලදායි කිසිදු කි්‍රයාමාර්ගයක් ගෙන නැහැ. තෙල් මිල වැඩි කළ නිසා ජීවන බරට තවත් බර පැටවුණා, රජයේ සේවකයන්ට අවම වශයෙන් රු.10000ක් වැටුප් වැඩි කළ යුතුයි. පෞද්ගලික අංශයේ සේවකයින්ට ද 40%කින් වැටුප් වැඩි කළ යුතු බව අපි අවධාරණය කරනවා.

පා.ම. සුනිල් හදුන්නෙත්ති මහතා

ශී්‍ර ලංකාව වැනි දුර්වල ආර්ථීකයක් පවතින රටක මුදල් ඒකකය බාල්දු කිරීම නිසා උද්ධමනය වැඩිවනවා. විදේශීය ආදායම් හීන වනවා. මේ වනවිටත් අපේ ප්‍රධාන අපනයන වන තේ සහ ඇඟලූම් සම්බන්ධයෙන් විදේශ වෙළඳපොළවලදී අර්බුදකාරී තත්වයක් ඇති වී තිඛෙනවා. කෙන්යාව ඇතුළු රටවල් ලෝක තේ වෙළඳපොළ අත්පත් කරගෙන තිඛෙන අතර ඇඟලූම් පංගු ප්‍රමාණය ද පහත වැටෙමින් තිබියදී මෙවැනි කි්‍රයාමාර්ග අනුගමනය කිරීමෙන් ප්‍රායෝගිකව සිදුවන්නේ ආර්ථීකය අර්බුදයකට යෑම. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට පන්වා ඇති කොන්දේසි ඉටු කිරීමට පසුගිය වසර 30 ක් පුරා රටපාලනය කළ ආණ්ඩු කි්‍රයා කළත් ඒ අනුව සිදුවූයේ ආර්ථීක අර්බුදයක් ඇති වීම පමණයි.

රට පුරා මහත් ප්‍රචාරයක් ලබාදෙමින් දිවි නැගුම ව්‍යාපෘතිය කි්‍රයාත්මක කිරීමට විශාල මුදලක් වැය කළත් එහි ප්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව පරස්පර විරෝධී සංඛ්‍යා ලෙඛන ඉදිරිපත් කරමින් සිටිනවා. අයවැය කතාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ දිවි නැගුම ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා අත්‍යාවශ්‍ය ආහාර මිල 50%කින් අඩුවෙලා. මේ හෙතුවෙන් ආහාර උද්ධමනය 3%ක මට්ටමේ පවතින බව ජනාධිපතිවරයා පැවසුවත් පසුගිය සැප්තැම්බර් මස නිකුත් කළ රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වාර්තාවට අනුව ආහාර ද්‍රව්‍යවල මිල උද්ධමනය 10% ඉක්මවලා.

ප්‍රශ්නවලට පිළිතුරු

සංචාරක ව්‍යාපාරය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් ආණ්ඩුව විශාල වශයෙන් බදු සහන ඇතුළු ආර්ථීක වරප්‍රසාද ලබාදී තිඛෙනවා. එය කෙතරම් දැයි යන්න පැහැදිලි වන්නේ ආනයනය කරන තොප්පි සහ පාවහන්, රූපලාවණ්‍ය උපකරණ, හැදි ගෑරුප්පු, සෙල්ලම් බඩු වැනි දෑ වෙනුවෙන් අයකළ 30%ක පමණ බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන්.

විරෝධය පෑමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විපක‍ෂයට තිඛෙනවා. ආණ්ඩු පක‍ෂයේ මන්තී්‍රවරුන් විපක‍ෂ මන්තී්‍රවරු සිටින ස්ථානවලට පැමිණ ජනාධිපතිවරයා ඉදිරියේ පහර දුන්නත් ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ඇති බව. එහෙත් පහර දෙන අවස්ථාවේදී ජනාධිපතිවරයා බලා සිටියා. මෙම දෙබිඩි පිළිවෙත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතල ගැටළු මතුකරනවා. එය ජනතා විමුක්ති පෙරමුණ දැඩිව හෙළා දකිනවා.