අනෝමාට එරෙහිව නඩු පැවරීමට යයි

දේශපාලන සිරකරු ජෙනරල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිඳ වන අනෝමා ෆොන්සේකා මහත්මියට එරෙහිව නඩු පැවරීමට ජනාධිපතිවරයාගේ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

ෆොන්සේකා යුවළගේ බෑණා වන ධනුක තිලකරත්න මහතා රටින් පිට කිරීමට කුමන්ත‍්‍රණය කිරීම ඇයට එරෙහිව ඇති චෝදනාව වේ.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත් වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අනෝමා ෆොන්සේකා මහත්මියට එරෙහිව නඩුවක් ගොනු කිරීමට අදාළ ලිපිගොනු සියල්ල පසුගිය සතියේදී නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති ධනුක තිලකරත්න මහතා මේ වන විට ඇමරිකාවේ පදිංචිව සිටින බවටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

තවද, පසුගිය ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට පක්‍ෂපාතීව කටයුතු කළ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිවද ආණ්ඩු පක්‍ෂය විසින් ලබන 08 වනදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එසේම, ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ආරක්‍ෂක ලේකම්වරයාගේ උපදෙස් මත නීතිපතිවරයා විසින් ගොනු කර ඇති ‘සුදු කොඩි’ නඩුවට අදාළ තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරයාගේ උපන්දිනය යෙදෙන නොවැම්බර් 18 වනදාටය. - Lanka News Web

Tell a Friend