රනිල් පැමිණි පසු නියෝජ්‍ය නායකයාට සහ තවත් පිරිසකට එරෙහිව පරීක්ෂණ

අද කටුනායකදී රනිල් හරසරින් පිළිගැනීමට එජාපය සැරසෙයි

අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රිකයන්ගේ සංගමයේ ආසියා ශාන්තිකර කලාපයේ සභාපති ධුරයට පත්ව ශ්‍රී ලංකාවට පැමිණෙන එක්‌සත් ජාතික පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටුනායක ගුවන් තොටුපළේදී අද (17 දා) පෙරවරුවේ මහත් හරසරින් පිළිගැනීමට එ.ජ.ප.ය කටයුතු සංවිධානය කර ඇත. මේ අතර තමන් මෙරට නොසිටි අවස්ථාවේදී තමන්ගේ උපදෙස් නොතකා මාධ්‍යට පණිවිඩ නිකුත් කිරීම ආදී චෝදනා යටතේ පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය ඇතුළු තවත් පිරිසකට එරෙහිව කටයුතු කිරීමටද හෙතම සූදානම් වන බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ලෙස එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා විසින් දැනුම් දී ඇත.

මේ අනුව වැඩබලන විපක්‍ෂ නායක ජෝන් අමරතුංග, එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායකවරුන් වන කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස, සභාපති ගාමිණී ජයවික්‍රම පෙරේරා, මහලේකම් තිස්‌ස අත්තනායක යන මහත්වරුන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා අද (17 දා) පෙ.ව. 7.30 ට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙනු ඇත.

එක්‌සත් රාජධානියේ ලන්ඩන් නුවර පැවැති අන්තර් ජාතික ප්‍රජාතන්ත්‍රිකයන්ගේ සංගමයේ සම්මේලනයට සහභාගිවීම සඳහා ගිය රනිල් වික්‍රමසිංහ මහතා සතියකට අධික කාලයක්‌ එහි රැඳී සිටිමින් රාජ්‍ය නායකයන් රැසක්‌ සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කොට ඇති බව සඳහන් වුවද මර්වින් සිල්වාගේ ගෝලයකු වූ කුඩු ලාල් ඇතුළු පිරිසක් සමඟ පවත් වූ කතා බස් පිළිබඳව මීට පෙර අපි හෙළි කළෙමු.