| ප්‍රසාද් හරින්ද්‍ර කුමාර
මෙරට අති බහුතරයක් වන අලින් සිටින්නේ වියළි කලාපයේය. තෙත් කලාපයේ මෙරට අලින් සිටින්නේ 20 දෙනෙකුටත් අඩු ප්‍රමාණයකි. ඔව්හු ශ්‍රී පාද අඩවියේ සහ සිංහරාජයේ ජීවත් වෙති. වියළි කලාපයේ අලින් හා සැසඳීමේදී 300 ට 1 වැනි ඉතාම අඩු ප්‍රතිශතයක් ලෙස තෙත් කළාපයේ අලින් වාර්තා වීම තුළ ඔවුන්ගේ වටිනාකම පිළිබඳව අමුතුවෙන් පැවසිය යුතු නැත. සිංහරාජ අඩවියේ අලින් තිදෙනෙක් පමණක් ජීවත් වෙති. ඔවුන් තිදෙනාගෙන් නව ජනිතයන් බිහි නොවන්නේ ඔවුන් අතර ලිංගික සබඳතාවයන් නැති නිසාය. ඒ තරම්ම ශීලාචාර සහජ පුරුද්දක් සද්දන්ත කුලේ මේ ඇත්තන්ගේ ලෝකයේ තිබේ. එකම පවුලේ මව ඇගේ පුතා හා දියණිය වශයෙන් සිංහරාජයේ මේ අලි තිදෙනා ජීවත්වේ. එයින් පිරිමි අලියා පණු දළයා වශයෙන් හඳුන්වන අතර ඔහු තම මවට මව ලෙසද නැගනිය නැගනිය ලෙසද සලකමින් කුමර බඹසර රකිමින් ගෙන යන ජීවිතය එවන් ශීලාචාරකමක් නොමැති අපේ සමාජයට කොතරම් නම් ආදර්ශයක්‌ද?.
ඉතිහාසයේ සිය ගණනක් සිංහරාජයේ අලි ඇතුන් වාසය කළද අද තිදෙනෙක් දක්‌වා එම සංඛ්‍යාව අඩුවීමට බලපා ඇති ප්‍රධානතම හේතුව සිංහරාජයට අයත් කැලෑ ප්‍රදේශය ශීඝ්‍රයෙන් එළි කිරීමයි. එනිසා සිංහරාජය ඊට අයත්ව තිබූ යාබද වනාන්තර වලින් වෙන් වූ හුදකලා වනාන්තරයක් බවට පත්ව ඇත. අලි ඇල්ලීම්ද සිංහරාජයේ අලි ගහනය අඩුවීමට හේතුවී තිබේ. තොණ්‌ඩු තබා එවකට අලින් ඇල්ලූ අතර පසුව ප්‍රසිද්ධ වෙන්දේසියේ ඔවුන් වෙන්දේසි කෙරිණි. ඒ ආකාරයට මීට වසර 40 පමණ පෙර ද සිංහරාජයේ තොණ්‌ඩුවකට හසුවූ අලියෙක් රත්නපුරයේ ව්‍යාපාරිකයෙක් රු. 20000 කට ආසන්න මුදලකට මිලදී ගෙන ඇති අතර පසුව එම අලියා අකාලයේ මිය ගියේය.
සිංහරාජයේ වාසය කරන අලි තිදෙනා වසරේ වැඩිම කාලයක් වාසය කරන්නේ හඳපාන්ඇල්ල ප්‍රදේශයේය. ඒ ආශ්‍රිතව ඇති කජුගස්‌වත්ත, රඹුක, පොලේකන්ද හා කෝපිකෑල්ල යන ප්‍රදේශ ඔවුන්ගේ සුපුරුදු නවාතැන්ය. අලින්ගේ චර්යා රටාවන්ට අනුව ජීවිත කාලය තුළ වර්ග කි. මී. 50-200 අතර වපසරියක සැරිසරන අතර ඒ අනුව යමින් මෙම අලි තිදෙනාද වසරකට වරක් හෝ දෙවරක් දෙල්වල රක්‌ෂිතය, වලන්කන්ද රක්‌වාන හා සිංහරාජයේ කුඩව යන ප්‍රදේශවලට ඒමට අමතක නොකරති. සිංහරාජයේ වෙසෙන අලි තිදෙනාගේ ප්‍රධානතම ආහාර වන්නේ කිතුල්, දොaතළු හා මල් බට යන ශාකයන්ය. මෙයින්ද කිතුල් ඔවුන්ගේ ප්‍රියතම ආහාරයය. සිංහරාජය තුළ ඔවුන් වැඩි වශයෙන් වාර්තා වන්නේ මුහුදු මට්‌ටමේ සිට මීටර් 500-700 අතර ප්‍රදේශයේය. මෙම අලි තිදෙනා තමාගේ වාසස්‌ථාන කළාපය (Home rang) පෙරට වඩා මෑත කාලීනව වැඩි කරගෙන ඇත. එනම් ඔව්හු වර්තමානයේ වැඩි වපසරියක සැරිසරති.
සිංහරාජයේ වනපෙත රකින ආරක්‍ෂකයන් ලෙසද මෙම අලින් තිදෙනා හැඳින්විය හැක. එනම් දැව ජාවාරම්කරුවන්, හොර මත්පැන් පෙරන්නන්, මැණික් ගරන්නන් මෙන්ම දඩයම්කරුවන්ද වනයට ඇතුළු වීමට බියක් දක්‌වන්නේ මෙම අලින් සිටින නිසාය. මෙම අලි තිදෙනා සිංහරාජයෙන් සමුගත් දිනෙක සිංහරාජයේ ගහකොළ වලට සේම සතා සිවුපාවාටද අඳුරු කලදසාවක් උදාවනු නොඅනුමානය.
කෙසේ වුවත් සිංහරාජයේ අලින් තිදෙනාම මේ වන විට සිටින්නේ දැඩි ජීවිත අවදානමකය. මේ වන විටත් ඔවුන්ට වෙඩි තැබීම් සිදුකර ඇත. එමෙන්ම පෙට්‌ට්‍රල් ඇඟට දමා ඔවුන්ට ගිනි තබන්නට විවිධ අවස්‌ථා වලදී උත්සාහ කර ඇත. ගමක් ආසන්නයට පැමිණි විට ඉවක් බවක් නැතිව අලි වෙඩි පත්තු කිරීම් නිසාද ඔවුන්ට ශ්‍රවණාබාධ ඇතිවී තිබෙනවාට සැකයක් නැත. නිරන්තරවම අලි වෙඩි පත්තු කිරීම නිසා එම අලින් මිනිසුන්ට දක්‌වන බියද අඩුවී තිබේ.
සිංහරාජය අවට ගම් කිහිපයක ජනතාවටද මෙම අලින් තිදෙනාගෙන් යම් යම් හානියක් සිදුවීමද අමතක කළ නොහැක. සිංහරාජයේ අලින්ගෙන් ජීවිත හානි 7 ක් ඔවුන්ට සිදුවී තිබීම ඉන් ප්‍රධානය. එසේම ඔවුන්ගෙන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ නොසැලකිළිමත් භාවය හෝ තමාගේ චණ්‌ඩිකම ප්‍රදර්ශනය කරන්නට යැමද නිසාය. අවසන් වරට අලියා පහරදී සිංහරාජයේදී තරුණයෙක් මිය ගියේ තවත් පිරිසක් සමග ඔහු අලියා පසුපස සෑහෙන දුරක් එලවාගෙන යන්නට යැමේදීය. ඊට පෙරද පුද්ගලයකු බීමතින් යුතුව අලියාගේ වල්ගය කපාගෙන එනවා යෑයි පවසමින් අලි වෙඩිද ගසමින් අලියා පසුපස ගොස් ඇත. ඔහුටද එදා නිරපරාදේa ජීවිතය අහිමි විය. එමෙන්ම ගම්මානවලට අලි පැමිණි විට කෙසෙල් ගස් හා පොල් ගස් ආහාරයට ගැනීමද සිංහරාජය අවට ගම් වැසියන්ට පවතින තවත් ගැටලුවකි. නමුත් මෙවැනි කරදරද ඉවසමින් සිංහරාජයේ මෙම සද්ධන්තයින් තිදෙනාගේ හෙට දවස වෙනුවෙන් කැපවී සිටින සිංහරාජය අවට අති බහුතරයක ගම්වැසියන් පිළිබඳව ප්‍රසංශනීය ලීලාවෙන් යුතුව සිහිපත් කළ යුතුය.
එහෙත් සිංහරාජයේ අලින්ගේ වටිනාකම බලධාරීන්ට තවමත් පෙනී නැතිගානය. ඊට ද හේතු ගණනාවක් ඇත. සිංහරාජයේ අලින් අවට ගම් වලට කරදරයක් යෑයි පවසමින් මීට මාස කිහිපයකට පෙර ඔවුන් අල්ලා යාල වනෝද්‍යානයට ගෙන ගොස් දමන්නට බලධාරීහු උත්සාහ කළහ. නමුත් ඔවුන්ට නොතේරුන හා ඊට දිරි දුන් අයට නොතේරුන දේ වූයේ ජෛව විවිධත්වයේ එක් පුරුකක් ඉවත් වුවහොත් එම පද්ධතියම කඩා වැටෙන බවයි. සිංහරාජයේ අලින් සිංහරාජය තුළ ආහාර වශයෙන් ගන්නා කිතුල්, දෝතළු හෝ බට, යාල නොමැති බවයි. එමෙන්ම වාර්ෂික වර්ෂාපතනය මි.මී. 3000-5000 තරම් අගයක් ගන්නා වර්ෂා වනාන්තරයක ජීවත්වූ ඔවුන් තිදෙනාට වාර්ෂික වර්ෂාපතනය මි.මී. 750 ටත් අඩු වියළි කලාපීය වන බිමක්‌වන යාල ජීවත් විය නොහැකි බවද ඔව්හු තේරුම් නොගත්හ. එම නිසා මෙම සතුන් තිදෙනා මෙහිම රඳවා ගත යුතුය. එපමණක් නොව තිදෙනකුට පමණක් සීමාවී ඇති සිංහරාජයේ අලි ගැන විධිමත් පර්යේෂණයක් තවමත් සිදුවී ද නොමැත. සිංහරාජයේ දැනට සිටින්නේ අලි තිදෙනෙක් නොව දෙදෙනෙක් පමණක් යෑයි ඇතැම් බලධාරීන්ගේද මතයයි. නමුත් වාර්තා නොවන අලියාට සිදු වූයේ කුමක්‌දැයි සෙවීමට තරම් වත් නුවණක් ඔවුන්ට පහළ නොවීම කොතරම් නම් කනගාටු දායක තත්ත්වයක්‌ද? සිංහරාජයේ සිටින අලින් තිදෙනා ගැන පමණක් නොව මෙරට තෙත් කලාපයේ අලින් වාසය කරන අනෙක් ප්‍රදේශය වන ශ්‍රී පාද අඩවියේ අලින් පිළිබඳව විධිමත් පර්යේෂණයක් සිදුකිරීම ඉක්‌මන් අවශ්‍යතාවයකි.
සිංහරාජයේ අලින්ගේ මරණය ඉක්‌මන් විය හැකි සිදුවීමක් පසුගියදා සිංහරාජයෙන් වාර්තා විය. එනම් ඉලුමකන්ද හරහා සූරියකන්දට පාරක් කැපීම ආරම්භ කිරීමය. මෙම මාර්ගය සංවර්ධනය වූ පසු ඊට යාබද ඉඩම් විවිධ පිටස්‌තර පුද්ගලයන් මිලදී ගෙන සංචාරක ව්‍යාපාරය අරමුණු කරගත් හෝටල් ආදිය ඉදිකිරීම සැලසුම් කිරීම ස්‌වාභාවිකය. එම ජනාකීර්ණ වීම තුළ සිංහරාජයේ අලින්ගේ සංචාරක මාර්ග ඇහිරී යන අතරම මිනිසුන් සමග තිබෙන ගැටුම තීව්‍රර වනුද ඇත.
කිසිවෙකුගේ හව්හරණක් නොමැතිව සිටින සිංහරාජයේ මෙම අහිංසකයන් තිදෙනාගේ ජීවත් වන කාලය වැඩි කිරීමට බලධාරීන්ට කළ හැකි තවත් කාර්යයක් ඇත. එනම් අලි තිදෙනා වසරේ වැඩිම කලක් හැසිරෙන ප්‍රදේශයට බොහෝ දුරින් තිබෙන වනජීවී කාර්යාලය රඹුක හෝ කජුගස්‌වත්ත වැනි ප්‍රදේශයකට ගෙන ඒමට හැකිනම් එය ඉතා ඵලදායක විය හැක. එමෙන්ම සිංහරාජයේ වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට මීට වඩා රාජකාරියට අවශ්‍ය මූලික සම්පත් ලබා දියයුතුව ඇත. සිංහරාජය අවට ගම්වැසියන්, වනජීවි නිලධාරීන් හා වනසම්පත් නිලධාරීන් අතර තිබෙන සබඳතාවය මීට වඩා මිත්‍රශීලී විය යුතුව ඇති බව ගම්මුන් සමග කතා කිරීමේදී පැහැදිලිවිය. අලියෙක් ගමට පැමිණි විට ඔහුව ප්‍රකෝප නොකර දෙපාර්ශ්වයටම හානි නොවන ලෙස අලියා යළි කැලයට යවන ආකාරය පිළිබඳ ගම්මුන් විධිමත්ව දැනුවත් කිරීම අවශ්‍ය බව යළි යළිත් සිහිපත් කළ යුතුව ඇත.
කාලයක් තිස්‌සේ යෝජනාවෙමින් පවතින නමුත් තවමත් ක්‍රියාත්මක නොවූ ඉඩම් ප්‍රතිසංස්‌කරණ කොමිෂන් සභාව සතු සිංහරාජයට යාබද ඉඩම් සිංහරාජයට පවරා ගැනීම ඉක්‌මන් විය යුතුය. එසේ වන්නේ නම් සිංහරාජයේ අලි තිදෙනාට නිදහසේ හැසිරිය හැකි වපසරිය තවත් පුළුල් වනු ඇත.
පරිසරය හදාරන්නට මිහිපිට ඇති ස්‌වභාවික විද්‍යාගාරයක් බඳු වූද, මානසික සුවය, සෞන්දර්යය රසය අගයන්නන්ට නිසල වන අසපුවක් වූද, සොබා දහම අගයන අප සැමටම සිංහරාජය නිවහල් පවිත්‍ර බිමකි. ඒ පවිත්‍ර බිමට අභිමානය කැන්දන පරපුරක අවසානය බඳු වූ සද්ධන්තයින් තිදෙනා රැකගැනීම අපගේ වගකීමක් නොවන්නේද? ඔවුන් සිංහරාජයෙන් සමුගත් දිනෙක යළිත් ඒ විසල්වන බිමේ සෝබමාන හස්‌ති රුවක් අප නෙතු මානයේ ජීවමාන නොවනු ඇත. ඔවුන් අකාලයේ මියදුනහොත් ඒ නිසා ළසොවින් තැවෙන ඔබගේද මගේද සිත සනසවන්නට සිංහරාජයේ සියොත් කැළ විහඟ ගී ද නොගයනු ඇත්තේය.

Post a Comment