"අම්මගෙන් බීපු කිරි පනින්න දෙන්නම්" - පානදුර දකුණ පොලිසිය.


හර්ෂි සි. පෙරේරා

ඔහු පානදුර කිරිබෙරියේ පදිංචි දම්මික අසංක සිල්වාය. වයස අවුරුදු 25 කි. අවිවාහකයෙකි. කම්කරුවෙකු ලෙස වැඩ කරයි.

2011.06.23 වන දින ඔහු සම්පත් නමැති මිතුරාගේ ගෙදර සිටියදී පානදුර දකුණ පොලිසියෙන් පැමිණි සිවිල් ඇදුමින් සැරසුණු පොලිස්කාරයින් දෙදෙනෙකු විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඔහුව වැඩ කරන තැන බලන්නට එක්ක ගෙන යන බවයි.

ඔවුන් දම්මිකව ටික දුරක් එක්ක ගොස් පැනලා යයි කියා අත් වලට මාංචු දමා ඇත. පසුව පොලිසියේ අපරාද අංශයට ගෙන ගොස් ගෙවල් කියක් බින්දදයි ඔහුගෙන් ප්‍රශ්න කර ඇත. දම්මික තම නිර්දොශිබාවය ගැන කියද්දී සරත් නමැති පොලිස්කාරයා උබ කියන දේවල් අහන්න අපි කවුද අපි පොඩි එවුන්ද අම්මගෙන් බීපු කිරි පනින්න දෙන්නම් කියා පාරවල් 06 ක් 07 ක් ගසා ඇත.

ඉන්පසුව දම්මිකගේ එක මාන්චුවක් ගලවා මේසයක කකුලට දමා ඇත. ඉන්පසුව ඔහුගේ මිතුරා වන සම්පත්වද පොලිසියට ගෙනවිත් ඇත. 2011.06.24 දින පාන්දර 5 ට පමණ දම්මිකව කුඩුවට දමා තිබේ. දම්මිකව බැලීමට ඔහුගේ මාමාට සහ නැන්දට ඉඩ දී ඇත.

2011.06.26 දින නැවතත් දම්මිකව අපරාද අංශයට රැගෙන ගොස් තිබේ. අමිත් නමැති පොලිස්කාරයා ප්‍රියන්ත නමැති පොලිස්කාරයට කැන්ටිමට ගිහින් කොච්චි කොටා ගෙන එන්නයි කියා තිබේ. ඉන්පසුව දම්මිකව ඇදන් සහිත කාමරයකට ගෙන ගොස් ඇත. එහිදී ඔහුට ඇදුම් ගලවන ලෙස කීවත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා පොල්ලකින් පහරදී බලෙන් ඇදුම ගලවා තිබේ.

පසුව දම්මිකට බිම වාඩිවන ලෙස අණ කොට අත් දණහිස් වලට තබා රෙදි පටියකින් ගැට ගසන ලදී. පසුව පොල්ලක් අත් සහ කකුල් යටින් යවා පොල්ල මේස දෙකක් උඩ තබා තිබේ. එවිට දම්මිකගේ ඔලුව පහලට තිබුන අතර ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවක් පැවතිනි. එවිට අමිත් නමැති පොලිස්කාරයා ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගෙන ඇස් වලට කොච්චි ඉස්ම වත් කර තිබේ. ප්‍රියන්ත නමැති පොලිස්කාරයා ඔහුගේ යටි පතුල් වලට පොල්ලකින් පහර දෙමින් ගෙවල් වලින් හොරකම් කිරීම් ගැන ප්‍රශ්න කර ඇත.

මේ ආකාරයට දම්මිකව විනාඩි 45 ක් පමණ එල්ලා තැබීමෙන් අනතුරුව බිමට ගෙන ෂවර් එකකින් නා ගැනීමට ඉඩ දී ඇත. පසුව විකට් පොලු වලින් පහර දෙමින් බලෙන් කුඩු පොවා ඇත.

පසුව පොලිසිය ඔහුව මාලමුල්ල සහ කිරිබෙරිය ගෙවල් කීපයකට ගෙන ගොස් ඔහුද හොරකම් කලේ යයි අසා ඇතිමුත් නැති එම ගෙවල් වල අය නැහැයි කීම නිසා නැවතත් පොලිසියට ගෙනවිත් තිබේ.

2011.06.28 දින උදේ දම්මිකව උසාවි දමා ඇත. ඔහු තමාට පොලිසිය පහරදුන් බව අදිකරණයට ප්‍රකාශ කර පොලිසියේ බොරු නඩුවට නිවරදිකරුයි කියා ඇත. නමුත් ඔහුව රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී. 2011.09.29 දින ඇප මත දම්මිකව මුදා හැර තිබේ.

පොලිස් පහරදීම නිසා දම්මිකගේ ඇස් වලින් කදුළු ගැලීම තවම පවතින අතර ඔහුට ආලෝකය බැලීමද අපහසුය. ඔහු තමා හිසේ කැක්කුමෙන් පෙලෙන බවද කියා සිටි.


Tell a Friend