"ගෝඨාභය බාධා කරන්නේ නැත්නම් කුඩු සහ පාතාලය මාසයකින් තුරන් කළ හැකියි "

විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක්

| රොෂෙල් සෙනවිරත්න

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ , දුමින්ද සිල්වා වැනි කුඩු වියාපාරිකයන් සහ ඔවුන්ගේ ගෝලයන් ආරක්ෂා නොකොට කුඩු උවදුර සහ සහ පාතාලය මැඩලීමට සහය ලබා දෙන්නේ නම් විශේෂ කාර්ය බලකායට එය මසක් ඇතුලත නිම කළ හැකි බව විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැවසිය.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කුඩු උවදුර සහ පාතාලයේ ක්‍රියාකාරකම් පැතිරී යන අතර ඒවා මැඩලීමට යන පොලිස් නිලධාරීන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උදහසට පාත්‍ර වන බවටද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෑතකදී මාදුළුවාවේ සෝභිත හිමියන් හෙළි කළ පරිදි කොලොන්නාවේ පමණක් කුඩු විකුණන ස්ථාන 526 තිබේ. නමුත් කුඩු සහ පාතාලය මර්ධනයට දැන් පොලිස් නිලධාරීන් මන්දෝත්සාහිව සිටින බවද වාර්තා වේ.

කුඩු සහ පාතාලය මැඩලීමට කැපවී ක්‍රියා කල පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මුත්තෙට්ටුවගම , පොලිස් පරීක්ෂක ජයතිලක වැනි දක්ෂ නිලධාරීන් මාරු කොට රාජකාරිමය වශයෙන් එකිනෙකා කොටවා විනාශ කිරීමට පවා පාතාලය මෙහෙයවන අදිසි හස්තය සමත් විය.

ලංකාවේ කුඩු ගෙන්වීම හා බෙදා හැරීම දුමින්ද සිල්වා ප්‍රධාන දේශපාලන - පාතාල ජාවාරම්කරුවන් විසින් සිදු කරන අතර මිලෙන් අධික එස්ටසි නම් මත් ද්‍රව්‍ය ගෙන්වීම හා බෙදාහැරිමේ ඒකාධිකාරිය පවත්වාගෙන යන්නේ මර්වින් සිල්වා සහ ඔහුගේ පුතා වන මාලක සිල්වාය. LTTE සංවිධානය විනාශ කිරීමෙන් පසු එම සංවිධානය ඉන්දියාව හරහා කල මත්ද්‍රව්‍ය වෙළදාම දැන් අත්පත් කරගෙන ඇත්තේ පාතාලය සමග සමීප සබඳතා ඇති මෙම දේශපාලන වියපරිකයන් විසිනි. දැනට මෙම කණ්ඩායම් දෙක අතර යටින් ගැටුම් හටගනිමින් පවතින අතර ඉදිරි කාලයේ එය පුපුරා යලිත් කොළඹ වෙඩි තබාගැනීම් මිනීමැරීම් සිදුවිය හැකි බව මත්ද්‍රව්‍ය කාර්යාංශය අනතුරු අඟවයි.

දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා වැනි පාතාලය හරහා කුඩු වෙළදාම කරන දේශපාලකයන් දෙදෙනා අතර තදින්ම විරසක තිබෙන බවත් මෙම ගැටුමේදී දුමින්ද සිල්වාට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආධාරය ලැබෙන බවට තතු පැවසේ. වෙඩි පහරකට ලක්වී දුමින්ද සිල්වා රෝහල්ගතවූ විට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහාම ජයවර්ධනපුර රෝහලට ගොස් ඔහුගේ සුවදුක් පරික්ෂා කළේය.

Tell a Friend