ආණ්ඩුවේ සැලසුම වුණේ කොළඹ සිටින ජනතාව පන්නා දමා කෙසේ හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමයි - රනිල් වික්‍රමසිංහ

පළාත් පාලන මැතිවරණ සටන එක්සත් ජාතික පක්‍ෂය ආරම්භ කළේ ආණ්ඩුවේ අසාධාරණයට විරුද්ධව බව එක්සත් ජාතික පක්ෂය පවසයි. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඊයේ (05) කොළඹ ජින්තු පිටියේදී පැවති අවසන් මහා රැළියේදී විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ බව පැවසීය. ඒ මහතා එහිදී මෙසේද පැවසීය.

නිවාස කඩා ඉවත් කොට ජනතාව මහ මඟට ඇද දැමීම අසාධාරණයි. ආදායම් මාර්ග අහිමි කිරීම අසාධාරණයි. ත්‍රීවීලර් හිමියන්ගේ බඩට ගැසීම අසාධාරණයි. පදික වෙළෙඳුන් පන්නා දැමීම අසාධාරණයි. අසාධාරණයටත්, අයුතු ලෙස බලය පාවිච්චි කිරීමට එරෙහිවත් පසුගිය කාලය පුරාවට අප දියත් කළ සටන ඉතා සාර්ථකත්වයට මේ මොහොත වන විට පත්ව තිබෙනවා.

ආණ්ඩුවේ සැලසුම වුණේ කොළඹ සිටින ජනතාව පන්නා දමා කෙසේ හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමයි. ඒ බලාපොරොත්තු අද සියල්ලක්ම බිඳ වැටී ලබන 8 වැනි දා වන විට නියත වශයෙන්ම කොළඹ මහ නගර සභාව ඇතුලූ අනෙකුත් නගර සභා සහ මහ නගර සභා එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරනවා. සන්ධානයේ නගරාධිපති අපේක්‍ෂක මිලින්ද මොරගොඩ මේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළේ කොළඹසිංගප්පූරුවක් බවට පත් කරන බව ප්‍රකාශ කරමිනුයි. නමුත් අද කොළඹ සෝමාලියාවක් වැනි තත්ත්වයට පත්ව තිබෙන බව කිව යුතුයි.

අද කොළඹ නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. ජනතාවට නිදහසේ මහ මඟ ගමන් කිරීමට හැකි තත්ත්වයක් නැහැ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේකම් වෛද්‍ය නෝනිස් මහතාට මහ මඟ දී පහර දුන්නා. සාමාන්‍ය ජනතාවට පමණක් නොව, වෘත්තීයවේදියෙකුටවත් අද නිදහසේ මහ මඟ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. වෛද්‍ය නෝනිස් මහතාට පහර දීමට එරෙහිව අද (05) වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා. වෛද්‍ය නෝනිස් මහතා සිදු කළ වැරැද්ද කුමක්ද? මාලඹේ ඉදිකරන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව නෝනිස් මහතා සිය ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙනවා. ඒ මහතාට පමණක් නොව රටේ ඕනෑම අයෙකුට ඒ පිළිබඳව අදහස් දැක්වීමට අයිතියක් තිබෙනවා.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මේ වන විට මතුව තිබෙනවා. මේ වෛද්‍ය විද්‍යාලය ලියාපදිංචි කිරීමටත් පෙර ශිෂ්‍යයන් බඳවා ගෙන තිබෙනවා. මේ ශිෂ්‍යයන්ට දිය හැකි සහනය කුමක්ද? මෙම වෛද්‍ය විද්‍යාලයෙන් ලබාදීමට නියමිතව ඇත්තේ රුසියානු උපාධියක් නිසා ඒ පිළිබඳව ප්‍රශ්න ගණනාවක් මතුව තිබෙනවා.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව මතුව තිබෙන ගැටලූ සහගත තත්ත්වයන් පිළිබඳව වෛද්‍ය සංගමයේ නිලධාරීන්, දෙමාපියන් ඇතුලූ පාර්ශ්ව කිහිපයක් අප සමඟ ද සාකච්ඡා කළා. මේ වෛද්‍ය විද්‍යාලයෙන් කිසි විටෙකත් බාල උපාධියක් ලබාදීමට ඉඩ දිය නොහැකියි. උපාධියක් දෙනවා නම් එය පිළිගත හැකි උසස් උපාධියක් විය යුතුයි. මතුව තිබෙන ගැටලූ සම්බන්ධව සාකච්ඡා කොට වාර්තාවක් සකස් කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය ද කබීර් හෂීම් මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට තිබෙනවා.

මෙවැනි අවස්ථාවක දී විවිධ අදහස් සහ යෝජනාවලට ඇහුම්කන් දිය යුතුයි. වෛද්‍ය නෝනිස් මහතා ද ප්‍රකාශ කොට තිබෙන්නේ පිළිගත හැකි උසස් උපාධියක් ලබා දෙන ලෙසයි. ඔහු එසේ ප්‍රකාශ කළ අවස්ථාවේ දී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හරින බවට ප්‍රකාශ කරමින් උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා තර්ජනය කළා. ඒ තර්ජනය සිදු කොට දින කිහිපයකට පසු වෛද්‍ය නෝනිස් මහතා පහර කෑමට ලක් වුණා.

වෛද්‍ය නෝනිස් මහතාට පහර දුන්නා පමණක් නොව ඔහු ඉවත් කිරීමට ද සූදානම් වනවා. ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස විරෝධය පළ කරමින් කියා සිටියේ ඔහු වරදක් සිදු කොට තිබෙනවා නම් ඒ පිළිබඳව පරීක්‍ෂා කර බැලීම සඳහා විශ්‍රාම ගිය විනිශ්චයකාරවරයෙකු පත් කරන ලෙස ඉල්ලා සිටියා. මේ තත්ත්වය මත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පාදෙනිය මහතා පසුපස පන්නමින් ඔහුට රාජකාරිමය වශයෙන් හිරිහැර කරන්නට පටන් ගෙන තිබෙනවා. ඔහුගේ පෞද්ගලික ලිපිගොනුව පොලීසියේ දූෂණ විමර්ශන අංශයට ගෙන ගියා. ඊට විරෝධය පාමින් වර්ජනයක් ඇති වනු ඇතැයි යන බියට ලිපි ගොනුව නැවත ගෙනැවිත් දී තිබෙනවා. එත් ඔහුව දඩයම් කිරීමේ වෑයම අත් හැර නැහැ. නොකළ වරදවල් ඔහු වෙග පටවමින් ඔහුට හිරිහැර කරන්නට උත්සාහ කරනවා. එපමණක් නොවෙයි, වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වීම නිසා එම සංගමයේ ලේකම් වෛද්‍ය උපුල් කිගුණසේකර මහතාටත්, වෛද්‍ය මාරසිංහ මහතාටත් මරණ තර්ජන එල්ල වී තිබෙනවා.

මෙහි අවසන් ප්‍රතිඵලය කුමක්ද? තවත් විශාල වර්ජනයක් ඇති වේවි. ඒකට වග කියන්නේ කවුද? ඒ නිසා දුක් විදින්න සිදුවන්නේ රටේ අහිංසක ජනතාවටයි. වසර ගණනාවක් තිස්සේ නීත්‍යානුකඣලව පදිංචිව සිටි ජනතාවට ඒ නිවාස අහිමි කරමින් අසාධාරණ ලෙස ඔවුන්ගේ නිවාස කඩා ඉවත් කිරීමට ආණ්ඩුවට සැලසුම් කළා. ඒ ජනතාවට නීතියේ සහනය ලැබුණේ නැහැ. එතැනින් සෝමාලියාවක් කරා යන ගමන ආරම්භ වුණා. කොළඹ පදික වේදිකාවේ සිටි වෙළඳ ව්‍යාපාරිකයින් පන්නා දමන විට එතැනින් සෝමාලියාව කරා යන ගමන ආරම්භ වුණා. ත්‍රීවිලර් ධාවකයින් බලහත්කාරයෙන් පන්නා දමනවිට සෝමාලියාව කරා යන ගමන ආරම්භ වුණා. සාමාන්‍ය ජනතාවගෙන් පටන් ගත් ඒ සෝමාලියාව අද වෛද්‍යවරුන් හා වෘත්තීයවේදීන්ට වැදී තිබෙනවා.

මෙය නැවැත්වීමට හැකි වන්නේ මේ රටේ නීතිය ගැන යම් කිසි කැක්කුමක් තිබෙන කොළඹ ජනතාවට පමණයි. කොළඹ නගර සභාව එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණය කර දී ඒ ගමනේ පළමු වෙඩිමුරය පත්තු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියාත්මක වූ දිනයේ සිට කොළඹජනතාව නීතිගරුකව, යුක්තිගරුකව ක්‍රියා කරමින් ජීවත් වුණා. නමුත් අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ සන්ධාන ආණ්ඩුව මහින්ද චින්තනය හරහා අපේ කෑලි ගලවන්න හදනවා. කොළඹපැවැති වරාය ගැලෙව්වා. මාළු වෙළඳපොළ ගැලෙව්වා. මැනිං වෙළඳපොල ගලවන්න හදනවා. මෙහෙම කෑලි ගලවන්න අපි කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ. අපි සියලූ දෙනා එකතු වී ඔක්තෝබර් 08 වැනිදා මේ ආණ්ඩුවේ කෑලි ගැලවම ආරම්භ කරමු. එය කළ හැකි දක්ෂ කණ්ඩායමක් කොළඹ නගර සභාවට අප ඉදිරිපත් කොට තිබෙනවා.

පසුගියදා මගෙන් මාධ්‍යවේදියෙක් විමසා සිටියේ සිංහල අපේක්ෂකයින්, මුස්ලිම් අපේක්ෂකයින්, දෙමළ අපේක්ෂකයින් කොපමණ නගර සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවාද කියායි. සිංහල වුවත්, මුස්ලිම් වුවත්, දෙමළ වුවත් ඒ හැමදෙනාම ජාති, ආගම්, කුල භේදයෙන් තොරව මේ ජනතාව හා නගරය බලා ගත යුතු බව මා ප්‍රකාශ කළා. කොළඹමහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස අප ඉදිරිපත් කළේ පළපුරුද්ද හා වැඩ කිරීමේ හැකියාව ඇති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතායි. මේ නගරය දියුණු කරමින් ජනතාවගේ ගැටළු විසඳීමට ඔහුට නිසි දර්ශනයක් හා වැඩපිළිවෙලක් තිබෙනවා.


මට අවශ්‍ය වී තිබෙන්නේ සොරකම් නොකරන, ජනතාවට සේවය කළ හැකි නගර සභාවක් නැවත කොළඹට ලබා දීමටයි. ජාති, ආගම්, භේදය උස් පහත් භේදය පතුරවමින් පසුගිය කාලයේ කොළඹනගරය විනාශ කරන්න උත්සාහ කළා. එවැනි විනාශයකට මා කිසිලෙසකින්වත් ඉඩ තබන්නේ නැහැ. මේ නගරයේ හදවත පොදු ජනතාවයි. ඒ අය ආරක්ෂා කරන්නේ නැත්නම් මේ නගරය ද ආරක්ෂා කළ නොහැකියි. උස් පහත් භේදයෙන් තොරව, පංති භේදයෙන් තොරව අප සියලූ දෙනා එකතු වී අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගත යුතුයි. අපේ ශක්තිය මේ දුක් විදින ජනතාවයි. මේ අය ඉල්ලා සිටින්නේ සාධාරණ පාලනයක් හා සේවයක් පමණයි.

මෙහි වෙසෙන ජනතාව පුංචි පැල්වත්වල ජීවත් වෙමින් ස්වයං රැකියා කරමින් පදික වේදිකාවේ වෙළදාම් කටයුතු කරමින් දහදිය මහන්සියෙන් මේ නගරය ගෙන යනවා. එය අඩපණ කිරීමට හෝ නැවැත්වීමට අප කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ. මේ නගරයේ සිටින දුප්පත් ජනතාව පානලූවට පන්නා දමන්නේ නැතුව අප සියලූ දෙනාම එකතු වී 8 වැනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දී සන්ධානය පන්නා දැමීමේ ජය ගමන ආරම්භ කරමු.

කොළඹ මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කරන නගරාධිපතිධූර අපේක්ෂක ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා ලබන 08 වැනිදා පැවැත්වෙන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවේ බලය නියත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයට හිමි වනවා. ඒ ගැන කිසිදු සැකයක් අප තුළ නැහැ. මේ ජයග්‍රහණයට ප්‍රධාන හේතු වන්නේ සන්ධායේ නගරාධිපති අපේක්ෂකයා ලෙස මිලින්ද මොරගොඩ ඉදිරිපත් කිරීමත්, මොහොමඩ් මහරූෆ් සන්ධානයට එක්වීමත් බව කිව යුතුයි.

මම නගරාධිපතිවරයා ලෙස සේවය කරන්නේ එක් පිරිසකට නොවෙයි. සියලූ ජනතාව වෙනුවෙන් සේවය කිරීම සඳහායි මා පත් වන්නේ. මේ නගරයේ ජාති, ආගම්, කුල මල හා උස් පහත් භේද වලින් තොරව සියලූ ජනතාවට එක හා සමානව සැලකීම මගේ අරමුණයි. කොළඹ නගර සභා මැතිවරණයෙන් අන්ත පරාජයක් ලබන බව දැන ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද ඒ පරාජය හමුවේ නොයෙකුත් නීති විරෝධී ක්‍රියාවලට යොමු වී සිටිනවා. රාජ්‍ය නිලධාරීන් පවා යොදවාගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරමින් සිටිනවා.

දූෂණයෙන් තොර යහ පාලනයක් තුළින් කොළඹ නගරය දියුණු කොට ජනතාවට උපරීම සේවයක් කළ හැකි වැඩ පිළිවෙලක් මා හඳුන්වා දී තිබෙනවා. මේ අණ්ඩුව කොළඹ ජනතාවගේ නිවාස හිමිකම ඔවුන්ට අහිමි කරමින් ඔවුන් මහ මගට ඇද දමා ඒ ඉඩම් සුද්දන්ට කුණු කොල්ලට විකිණීමට සැලසුම් කළා. එක්සත් ජාතික පක්ෂ පාලනයක් යටතේ ඒ සියලූ අයිතිවාසිකම් සුරක්ෂිත කර දී යහතින් ජීවත් විය හැකි පරිසරයක් මා කොළඹ නගරය තුළ ගොඩ නගනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශබන්දු කරූ ජයසූරිය මහතා පළාත් පාලන මැතිවරණ සටනේ ජයග්‍රාහී රැළිය සඳහා සහභාගි වී සිටින මේ මහා ජන ගංගාව දෙස බලන විට නියත වශයෙන්ම කොළඹමහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි වන බව අපට සැකයක් නැහැ.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය සහ සාමය හෑල්ලූවට ලක් කරමින් තට්ටු මාරු ක්‍රමයට ආණ්ඩුව පැවැත් වූ මැතිවරණ මාලාවේ නිමාව පළාත් පාලන ආයතන 23 මැතිවරණයත් සමඟ අවසන් වෙමින් පවතින බව කිව යුතුයි. එක්සත් ජාතික පක්ෂය කිසිදු මැතිවරණයකට බිය නොවී ආණ්ඩුවේ භීෂණය සහ මර්දනය හමුවේ නොසැලී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ඒ සෑම මැතිවරණයකටම ශක්තිමත් ලෙස ඉදිරිපත් වුණා.

මේ පළාත් පාලන මැතිවරණය මතුපිටට සාධාරණව සහ සාමකාමී ලෙස දිස් වුණාට ජනතාව නොදකින ඉතාම භයානක පිළිකුල් සහ නීති විරෝධී තත්ත්වයක් මේ මැතිවරණ ව්‍යාපාරය අභ්‍යන්තරයේ පවතිනවා.පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ ප්‍රචාරක කටයුතු, රාජ්‍ය දේපොල, මුදල් සහ සම්පත් අසීමිත ලෙස යොදා ගනිමින් මේ ආණ්ඩුව මැතිවරණ නීති රීති සියල්ල අමු අමුවේ උල්ලංඝණය කොට තිබෙනවා.පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් රාජ්‍ය දේපොළ, සම්පත් සහ මුදල් පාවිච්චි කිරීම සපුරා තහනම් කරමින් නිර්දේශ නිකුත් කර ඇතත් මැතිවරණ කොමසාරිස්වරයාගේ ඒ සියලූ නිර්දේශ උල්ලංඝණය කරමින් ආණ්ඩුව මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් කොළඹ, මහනුවර සහ නුවරඑළිය ජනාධිපති මන්දිර ඇතුලූ සියලූ සම්පත් පාවිච්චි කරමින් සිටිනවා.

රාජ්‍ය සේවකයින්ට සහ පොලිස් නිලධාරීන්ට විවිධ බලපෑම් එල්ල කරන ආණ්ඩුව විවිධ සම්මන්ත්‍රණ ආදියට මුවා වී ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින් කැඳවා ඒ අය සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් පාවිච්චි කරමින් සිටිනවා. ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට බාධාවක් යැයි කියා එදා පළාත් පාලන ආයතන මැතිවරණ කල් තැබූ ආණ්ඩුව හම්බන්තොට මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙද්දී ඒ දිස්ත්‍රික්කයේ ඒ බල ප්‍රදේශයේ ජාත්‍යාන්තර ක්‍රීඩා තරඟ සංවිධානය කර තිබෙනවා. එදා ක්‍රිකට් ක්‍රීඩාවට මැතිවරණය බාධාවක් නම් අද එය බාධාවක් නොවන්නේ කෙසේදැයි අප මේ ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට කැමතියි.

Tell a Friend