ලංකාවේ ගෞරවනීය නීතිය : නාමල්ට විභාගයේදී සීත කාමරයක්‌ දුන්නා - පෙත්සම ඉවතට

"නිතීඥ" නාමල් රාජපක්ෂ
2010 වසරේ නීති විද්‍යාලයීය අවසන් පරීක්‌ෂණයට පෙනී සිටි තමා ඇතුළු සෙසු අපේක්‌ෂකයන්ට නැති සීත කරන ලද කාමරයක්‌ ජනාධිපති පුත් නාමල් රාජපක්‌ෂ මහතාට සැපයූ බවට චෝදනා කරමින් නීති විද්‍යාලයාධිපතිට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නියම කිරීමෙන් තොරව මුල් අවස්‌ථාවේදී ප්‍රතික්‍ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (25 වැනිදා) තීරණය කළේය.

පී. ඒ. රත්නායක, සුරේෂ් චන්ද්‍ර සහ ප්‍රියසාද් ඩෙප් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි. පෙත්සම කල්පසුවී ගොනුකර ඇති බව හා අවශ්‍ය පාර්ශ්වකරුවන් ඇතුළත් කර නැති බව කියාසිටිමින් විදුහල්පති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සමින්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙත්සමට මූලික විරෝධයක්‌ මතු කළේය.

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ නීතිඥවරු කරුණු දැක්‌වීමෙන් අනතුරුව විනිසුරු මඬුල්ල තීරණය කළේ විභාගය පැවැත්වීමට තරම් පෙත්සමේ පදනමක්‌ නැති බවය.

පෙත්සම්කරු නුගේගොඩ එදිරිසිංහ මාවතේ අංක 4/60 පදිංචි ඩී. එම්. තුෂාර ජයරත්න නමැති අයෙකි.

අධිනීතිඥ ලක්‌ෂ්මන් ඡේ. එස්‌. ඩයස්‌ මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර පෙත්සමේ 4 වැනි වගඋත්තරකරු වූ නාමල් රාජපක්‌ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩී. එස්‌. විඡේසිංහ මහතා පෙනී සිටියේය.

Tell a Friend