සියලූ වෙබ් අඩවි පාඨකයන්ගේ දැනගැනීම පිණිසයි
"ලංකා ට්රූත්" වෙබ් අඩවිය ලෙස මෙතෙක් කලක් පුවත් සංස්කරණයෙහි හා තාක්ෂණික කටයුතුවල නිරත වූ අප සියලූ දෙනා ඊයේ (ඔක්තෝබර් 06) දින සිට ඉන් ඉවත් වීමට තීරණය කළ බව කණගාටුවෙන් යුතුව අප පාඨකයන් වෙත දන්වා සිටිමු. "ලංකා ට්රූත්" නාමය හිමි පරිපාලනයේ අත්තනෝමතික සහ පටු දේශපාලන වුවමනාවන් හමුවේ තවදුරටත් හෘද සාක්ෂියට එක`ගව කටයුතු කළ නොහැකි වීම මෙම තීරණය ගැනීම සඳහා අප පෙළඹ වූ ආසන්නතම හේතුවයි.
ප්රතිලාභ නොලබා, අවම වශයෙන් නම් ප්‍රසිද්ධ කරවා ගැනීමේ වුවමනාවකින් පවා තොරව යහපත් සමාජ අරමුණක් සඳහා පුළුල් මාධ්‍ය භාවිතාවක නිරතවීමේ අරමුණින් "ලංකා ට්රූත්" හා එක්වූ අපට ඒ හේතුව නිසාම ඉන් ඉවත් වීමට තීරණය කිරීමට සිදුවිය.
"ලංකා ට්රූත්" අඩවියේ 12 වසරක ගමන් මග තුළ විවිධ අවස්ථාවන්හිදී එයට එක් වූ අපි අප දුටු පුළුල් සමාජ අරමුණ කරා එය රැගෙන යාමට නිබඳ වෙර දැරූවද තවදුරටත් එලෙස උත්සාහ දැරීම නිෂ්ඵල බව ඉතිහාසය විසින් සනාථ කොට තිබේ.
සමාජ අසාධාරණයන්ට බලපාන දේශපාලන, ආර්ථීක හා සාමාජීය කරුණු කෙරෙහි යොමු කෙරෙන පුළුල් සංවාදාත්මක ප්‍රවේශයක් වෙනුවෙන් අරගල කිරීමේ "ලංකා ට්රූත්" හි ආරම්භක අරමුණින් විතැන් වූ එය පටු පුද්ගල කේන්ද්‍රීය මඩ ගැසීම් හා පුද්ගල කේන්ද්‍රීය ඉස්මතු කිරීම් ආදී අරමුණුවලට සිරගත වෙමින් තිබුණු අයුරු අප ඇස් පනාපිටම දුටුවෙමු. එමෙන්ම විවිධ කරුණු අරභයා ඉදිරිපත් වූ පාඨක අදහස් සම්බන්ධයෙන් පවා ඉදිරිපත් වූ වාරණයන්ද අපගේ කළකිරීම දැඩි කිරීමට හේතු විය.
මෙවන් වාතාවරණයක් හමුවේ පැන නැගි ගැටුම් හමුවේ එම අඩවියේ අන්තර්ජාල ලිපිනය හිමි පරිපාලනය විසින් වහාම වෙබ් අඩවියේ පුවත් පළකිරීම නතර කරන ලෙස දන්වා සිටින ලදී. ඉන්පසු යළිත් වරක් "ලංකා ට්රූත්" වෙත පණදීමට අප උත්සාහ කළද එයටද අදාල බලධාරීන් විසින් බාධා කර තිබේ.
ඒ අනුව තවදුරටත් "ලංකා ට්රූත්" ලෙස ඔබ හමුවට පැමිණීමට නොහැකි වාතාවරණයක් උද්ගත වී තිබේ. මේ තත්ත්වය යටතේ "ලංකා ට්රූත්" හි සමස්ත කාර්ය මණ්ඩලය ලෙස අප සියලූ දෙනාට ඉන් සමුගැනීමේ වේදනාත්මක තීරණයට එළඹීමට සිදුව තිබේ. අපට "ලංකා ට්රූත්" වෙතින් රැගෙන යාමට ඇත්තේ කළක් තිස්සේ අප ලබාගත් මිහිරි අමිහිරි අත්දැකීම් පමණකි. එහෙත් නව ගමනක් ඇරඹීම සඳහා එය හොඳටම ප්‍රමාණවත් යැයි අපි විශ්වාස කරමු. එමෙන්ම ප්‍රාග්ධන උගුල්වල නොපැටලී පරිස්සම් සහගතව පියවර තැබීමටද අපි දැඩි සේ අධිෂ්ඨාන කරගෙන සිටිමු.
ඒ අනුව හෙට (08) පටන් lankaviews නමින් නව අන්තර්ජාල නවාතැනකදී පාඨක ඔබ හමුවීමට අපි අදහස් කර සිටිමු. වඩා යහපත් ලෝකයක් ගොඩනැ`ගීම උදෙසා පවත්නා සමාජය විවේචනාත්මකව විමසීමටත් පාඨක ඔබ සම`ග වඩාත් විවෘත සහ සහෝදරාත්මක සංවාදයක් ගොඩනැගීමටත් එහි දොරකවුළු හෙට සිට විවර වන බවද සියලූ වෙබ් පාඨකයින්ට මෙසේ දන්වා සිටිමු.
Post a Comment