දුමින්ද ට්‍රොලියේ දාගෙන යද්දී චුයින්ගම් එකක්‌ හපනවා මා දුටුවා - දුමින්ද සිල්වාගේ රියෑදුරු සාක්‌ෂි දෙයි

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය

දුමින්ද භාරතට වෙඩි තියන විට ඔහු සමඟ සිටි අනෙක්‌ අය, වෙඩි තියපන් කියා කෑගැසුවා - භාරත ලක්‍ෂ්මන්ගේ රියෑදුරු සාක්‍ෂි දෙයි

| සමන්ත ඉලේපෙරුම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා දෙසට පැමිණි දුමින්ද සිල්වා මහතා වෙඩි තියෙනවාත් සමඟ ඔහු සමඟ සිටි අනෙක්‌ අය වෙඩි තියපන් වෙඩි තියපන් කියලා කෑගැසුවා යෑයි භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ රියෑදුරු ලියනගේ සමන් ශාන්ත පෙරේරා මහතා ඊයේ (20 දා) කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ සාක්‌ෂි දෙමින් කියා සිටියේය.

ඒ මහතා එසේ කියා සිටියේ සිද්ධියට අදාළ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදීය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහි පරීක්‍ෂණ පවත්වනු ලබයි.

සාක්‌ෂි විභාගය නැරඹීමට ඝාතනයට ලක්‌වූ ප්‍රේමචන්ද්‍ර මහතාගේ පවුලේ අයද පැමිණ සිටි අතර අගතියට පත් ඒ අය වෙනුවෙන් නීතිඥවරු පිරිසක්‌ද පෙනී සිටියහ.

සහකාර පොලිස්‌ අධිකාරී ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂිකරු මෙසේ ද කියා සිටියේය.

මාර්ග සංවර්ධන අධිකාරියේ ජනාධිපති කාර්යාලයට අනුයුක්‌තව සිටින මා භාරත මහතාගේ රියෑදුරු ලෙස 1999 සිට සේවය කරනවා.

භාරත මහතාට වෙඩි තැබූ 08 දා මා ඒ මහතාගේ කැප්පෙට්‌ටිපොළ නිවසට උදේ 8.45 ට සේවයට පැමිණියා. පසුව අප භාරත මහතාට අයත් රතුපාට ලෑන්ඩ් කෲෂර් ජීප් එකෙන් කොළොන්නාවේ ඒ මහතාගේ නිවසට පැමිණියා. අප සමඟ ඇමැති ආරක්‌ෂක අංශයේ සාවින් ලක්‍ෂ්මන් මහතා, සාජන් ප්‍රියන්ත මහතා සමඟ භාරත මහතාගේ හිතවතෙක්‌ වන දමිත් ජයතිලක මහතාත් පැමිණියා.

කොළොන්නාවට එනවිට දහවල් 11 ට පමණ විතර වී තිබුණා. භාරත මහතාගේ ගේ ළඟ ඡන්ද පොළේ ඒ මහතා ඡන්දය දාලා ඇවිත් පැය භාගයක්‌ විතර ගෙදරට වෙලා සිටියා.

පසුව භාරත මහතා අප සමඟ ජීප් රථයෙන් වැල්ලම්පිටිය, කොටිකාවත්ත ප්‍රදේශවල යමින් විවිධ ඡන්ද පොළවල් අසලට ගියා. එහිදී භාරත මහතා ජීප් රථයෙන් බසිමින් විවිධ තැන්වලදී පාක්‌ෂිකයන් සමඟ කතා කළා.

එසේ යන අතරතුර කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චිගෙන් මගේ අතැති දුරකථනයට ඇමැතුමක්‌ ආවා. ඔහු කීවා "ලකී අයියාට ෆෝන් එක දෙන්න" කියා.

භාරත මහතා එම ඇමැතුමට කථා කර මට යළි දුරකථනය දෙමින් "රාජසිංහ ඉස්‌කෝලෙ ළඟ අපේ පාක්‌ෂිකයන්ට දුමින්ද සිල්වා ගහනවා" කියලා කිව්වා.

තවදුරක්‌ යනවිට මගේ දුරකථනයට එලෙසින්ම යළි ඇමතුමක්‌ ආවා. එයටත් කතා කළ භාරත මහතා අංගොඩ රාහුල ඉස්‌කෝලේ ළඟ හිටපු සභාපතිගේ භාර්යාවට, පාක්‌ෂිකයන්ට දුමින්ද එළව එළවා පහර දෙන බව මට ඔහු කීවා.

හිඹුටාන පටුමඟට හැරෙන හංදියේදී දුමින්ද සිල්වා මහතා වාහනවල එනවා දැක්‌කා. මුලින් ආපු ඩිෆෙන්ඩර් ජීප් රථය අප පසු කර නැවැත්තුවා. එහි ටී. 56 ගිනි අවි තියාගෙන 4 ක්‌ 5 ක්‌ සිටියා. එහි සිටි එක්‌ අයෙක්‌ මිරිහාන පොලිසියේ රාළහාමි කෙනෙක්‌. ඔහුගේ අතේ ටී. 56 ක්‌ තිබුණා. තවත් කීප දෙනෙක්‌ ටී. 56 තියාගෙන හිටියා.

දුමින්ද සිල්වා පැමිණි සුදුපාට ලෑන්ඩ් කෲෂර් ජීප් රථය අපේ ජීප් එක හරස්‌කර නැවැත්තුවා. එයත් එක්‌ක වෑන්, ජීප්, කාර් විස්‌සක්‌ පමණ තිබුණා. එම පුද්ගලයන් යළි දුටුවොත් හඳුනාගත හැකියි.

දුමින්ද සිල්වා මහතා ඔහු පැමිණි රථයෙන් බසිනවා දැක්‌කා. ඒ සමඟ භාරත මහතා කීවා අපේ වාහනය ඔහොම නවත්වන්න කියා. දුමින්ද සිල්වා බහිනවාත් සමඟ ඔහු සමඟ 100 ක්‌ විතර පිරිසක්‌ බැස ආවා. දුමින්ද සිල්වාගේ අතේ පිස්‌තෝලයක්‌ තිබුණා. ඔහු පසුපසින් ටී, 56 අතේ තියාගෙන 15 ක්‌ 20 ක්‌ විතර හිටියා. දුමින්ද සමඟ ඔහුගේ වාහනයේ සුදු මහත දකුණු අතේ පච්ච කොටා ඇඟට හිරවුණු ටී ෂර්ට්‌ එකක්‌ ඇඳ සිටි අයෙක්‌ද පිස්‌තෝලයක්‌ අතේ තියා ගෙන බැස්‌සා. ඒ අය අපේ වාහනය දෙසට ආවා. වාහන දෙක අතර අඩි 3 ක්‌ 4 ක්‌ පමණ පරතරයක්‌ තිබුණා.

මහෙස්‌ත්‍රාත්වරයා - ළ`ංවී තිබුණේ වාහනයද දුමින්ද සිල්වා මහතාද?

සාක්‌ක්‍ෂිකරු(- වාහනය ස්‌වාමීනි

ඒ සමග භාරත විගස වාහනයෙන් බැස ඉදිරියට ආවා. මමත් එවිට වාහනයේ දොර ඇරන් බැස්‌සා. එහිදී දුමින්ද සිල්වා මහතා "ඇයි මොකද" කියලා ඇසුවා. එවිට භාරත මහතා "මොනවාද? මේ කරන්නේ" කියා ඔහුගෙන් ඇසුවා. ඒ සමගම දුමින්ද මහතා භාරත මහතාගේ කම්මුලට පහරක්‌ ගැසුවා. භාරත මහතාත් දුමින්ද මහතාට ගැහැව්වා. එය ඔහුගේ කම්මුලට වැදුණා. ඒ සමග දුමින්ද මහතා සමග සිටි අයෙක්‌ ද ඉදිරියට පැන භාරත මහතාට ගැසුවා. ඔහු යළි දුටුවොත් හඳුනාගත හැකියි. කළු උස මහත මුහුණ පුරා රැවුල වැවී සිටි ඔහු ටී 56 ක්‌ අතේ තියාගෙන සිටියා. ඒ සමග භාරත මහතා වැටෙන්න ගියා. දුමින්ද සිල්වා පිස්‌තෝලයෙන් වෙඩි තැබුවා. ඔහු සමග සිටි අනෙක්‌ අය "වෙඩි තියපන්, වෙඩි තියපන්" කියලා කිව්වා. ඒ සමග භාරත මහතා දෙසට වෙඩි වදිනවා දැක්‌කා. වාහනය වටේට දහයක්‌ විතර වෙඩි තියාගෙන ගියා. මම වාහනයට නඟින්න හැදුවා. මටත් ඉදිරියේ සිටි අයෙක්‌ වෙඩි තිබ්බා. එය රියෑදුරු සුක්‌කානමට පහළින් වැදුණා.

ඒ අවස්‌ථාවේ වාහන වලින් බැස සිටි භාරත මහතාගේ ආරක්‍ෂයන් වෙඩි තියනවා දැක්‌කේ නෑ. පසුපස ඩිපෙන්ඩර් රථයේ සිටි මිරිහාන පොලිසියේ රාළහාමි ටී 56 ලෝඩ් කරගෙන බැහැලා වෙඩි තියාගෙන ආවා. මම පැදවූ වාහනයේ පිටුපස භාරත මහතා වැටී සිටියා. එම රාළහාමි වැටී සිටි භාරත මහතා දෙසට ගිනි අවි එල්ල කරමින් වෙඩි තිබ්බා. ඒ සමග මම වාහනයට නැඟ හරවා ගත්තා.

ඒ සමග වම් පැත්තට වන්නට අඩි 7 ක්‌ 8 ක්‌ ඉදිරියෙන් දුමින්ද සිල්වා මහතා වැටී සිටිනවා දැක්‌කා. ඔහුට කවුරු වෙඩි තැබුවාද කියා මා දුටුවේ නෑ. ඔහුගේ මූණේ ලේ තැවරී තිබුණා. දමිත් ජයතිලකත් භාරත මහතා ළඟ වැටී සිටියා. පොලිස්‌ සැරයන් ගාමිණී මහතා වෙඩි වැදී ඇසක්‌ එළියට ඇවිත් සිටියා. හකීම්ටත් වෙඩි වැදී ඇති බව දුටුවා. පසුව දැනගත්තා කුමාරටත් වෙඩි වැදී ඇති බව.

වාහනය හරවා ගන්න විට දුමින්ද සිල්වාගේ වාහනය අපේ වාහනයේ හැප්පුවා. ඉඩක්‌ තිබුණු ඉදිරියෙන් වාහනය හරවාගෙන මායි සංජීවයි, අෂාන් සමග එක්‌වී භාරත මහතාව වාහනයට දාගත්තා.

භාරත මහතා කිසි දෙයක්‌ කතා කළේ නෑ. භාරත මහතා දාගෙන එනකොට අතරමඟදී මිරිහාන කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ හා මුල්ලේරියාව පොලිසියේ ඕ. අයි. සී. මහත්තයාගේ ජීප් රථ ද දුමින්ද සිල්වාගේ වාහන පිටුපසින් තිබෙනවා දැක්‌කා. ඊට පෙරත් උදේ දී සපුමල් උයනේදීත් අපිට දේශබන්දු මහතා හමුවුණා.

භාරත මහතා අයි. ඩී. එච්. රෝහලට ගෙන ගොස්‌ පසුව ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලේ පොලිස්‌ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගියා. එහිදී දැනගත්තා මියගිය බව.

මෙම සිද්ධිය පිළිබඳව මීට පෙර මා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ප්‍රකාශයක්‌ ලබා දුන්නා.

අනතුරුව පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌කි දුන් දුමින්ද සිල්වා මහතාගේ රියෑදුරු වන බාලසූරිය ආරච්චිගේ චමින්ද මහතා මෙසේ කියා සිටියේය.

විදුලිබල අමාත්‍යංශයේ කාර්මික සේවකයකු ලෙස සේවය කරන මා දුමින්ද සිල්වා මහතාගේ රියෑදුරු ලෙස සේවය කරනවා.

එදින උදේ 6.30 ට පමණ මා දුමින්ද සිල්වා මහතාගේ නිවසට පැමිණියා. එදා ප්‍රාදේශීය සභා ඡන්දය නිසා දුමින්ද මහතා සමග කොළොන්නාව ආසනයේ පාක්‌ෂිකයන් හමුවන්න ගියා. එම වාහනයේ දුමින්ද මන්ත්‍රීතුමාත් පී. ඒ. ෂෙහාන් අන්සර්, චරිඳු, ගලබොඩ අය සිටියා. මගේ අතේ ආයුධයක්‌ තිබුණේ නෑ. අනෙක්‌ අය අත ද ආයුධ තිබුණා දැයි දන්නේ නෑ. දුමින්ද මහතා ළඟ ද ආයුධ තිබුණා දැයි දන්නේ නෑ. වෙනදා ඇමැති ආරක්‍ෂකයන් සමග ගියත් ඒ අය එම වෙලාවේ ඇවිත් නොසිටි නිසා අපි ජීප් එකෙන් ගියා. පසුපසින් කළු පාට ඩිපෙන්ඩර් ජීප් එකක්‌ ආවා. එහි දුමින්ද සිල්වා මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් සිටියා. ඒ අය ළඟ ආයුධ තිබුණා දැයි මා දන්නේ නෑ. ඒ අය සිවිල් ඇඳුමින් සිටියා. එම රථයේ ලංකා, සුරංග, මාතර චමින්ද, චන්දන අමිල යන අය හිටියා.

ඒ වෙලාවේ දුමින්ද මහතාගේ ගෙදරින් පිට වුණේ එම වාහන දෙක පමණයි. අපි ඔරුගොඩවත්තේ තමිල්නාඩු වත්තට ගියා වෙලාව උදේ 7.00 ට විතර ඇති. එතැනදී දුමින්ද මන්ත්‍රීතුමා බිමට බැස වත්ත දෙසට ගියා. කීප වරක්‌ මා චාඡ් කරන්න දාලා තිබ්බ ඒ මහතාගේ ෆෝන් එක ගිහින් දුන්නා.

දුමින්ද සිල්වා මහතා ළඟ ඇමැති ආරක්‍ෂක නිලධාරීන් 11 ක්‌ ඉන්නවා. පොලිසියේ ද ඇමැති ආරක්‍ෂක අංශයේද නොවන අය සිවිල් ඇඳුමින් සිටිනවා. පොලිස්‌ නිලධාරීන් 3 දෙනෙක්‌ ඉන්නවා. ඒ අය නමින් අනුර ප්‍රවීන්, හේමන්ත, මිරිහාන මිරිහාන පොලිසියට අනුයුක්‌තව සේවය කළ අය. තමිල්නාඩු වත්තේදී දුමින්ද මහතා සමග සිටි හේමන්ත අත ටී 56 ක්‌ තිබුණා. ඇමැති ආරක්‍ෂක අංශයේ අය ළඟ පිස්‌තෝල තිබුණා.

සවස 3.00 ට විතර අපි තමිල්නාඩු වත්තෙන් පිට වී ආවා. එහිදී දුමින්ද මහතාගේ වාහනයට තරිඳු, ගලබොඩ චමින්ද යන අය නැග්ගා. චමින්ද යන අයව දෙමටගොඩ චමින්ද නමින් ද හඳුන්වනවා.

අපේ ඉදිරිපසින් ඇමැති ආරක්‍ෂක අංශයේ ඩිපෙන්ඩර් කැනෂික්‌ කළු ජීප් රථය පසුපසින් පුල් බොඩි ඩිපෙන්ඩර් කළු පාට ජීප් එක ද ආවා. මා පැදවූ වාහනය මැදින් ගමන් කළා.

එතැනින් ඔරුගොඩවත්ත හරහා වැල්ලම්පිටියෙන් අංගොඩ රාජසිංහ විද්‍යාලය ළඟට ආවා. එතැන ඡන්ද පළක්‌ තිබුණා. අපේ වාහනය නතර කළ පසු දුමින්ද මහතා බැස ගියා. ඒ දෙසින් කෑගැසීමක්‌ ඇසුණා. ඒ සමග පැමිණි දුමින්ද මහතා ජීප් එකට නැගලා ඉදිරියට ආවා.

එහිදී කෑගැසුවේ කවුද කියා දන්නේ නෑ. එතැනින් මීටර් 70 ක්‌ 75 ක්‌ පමණ ඉදිරියට එන විට කඩපොළ ළඟ 8 ක්‌ 10 ක්‌ සිටියා. එතැන වාහනය නතර කරන ලෙස දුමින්ද මහතා කීවා. වාහනය නවත්වනවා සමග භාරත මහතාගේ වාහනයත් පැමිණ ඉදිරියේ නතර කරනවා දුටුවා. රතුපාට ජීප් රථයක්‌ වූ එය අපේ වාහනයට මීටරයක්‌ පමණ දුරින් නැවැත්තුවා.

එවිට භාරත මහතා බහින්න සූදානම් වෙනවා දැක්‌කා. මම දුමින්ද මහතාට කීවා ලකී ඉන්නවා කියලා. ඒ සමග දුමින්ද මහතා ජීප් එකෙන් බැස්‌සා. දුමින්ද මහතා භාරත මහතා දෙසට ගොස්‌ දෙදෙනා අතර බහින්බස්‌වීමක්‌ වනවා දුටුවා.

දුමින්ද මහතා ජීප් රථයෙන් බහින්න පෙර කීවා "කාටවත් වෙඩි තියන්න එපා" කියලා. ඒ අය අත ආයුධ තිබුණා ද කියා මා දන්නේ නෑ. භාරත මහතා අත ද ආයුධයක්‌ තිබෙනවා දැක්‌කේ නෑ. නමුත් ඔහු වාහනයෙන් බහින්න පෙර යම් දෙයක්‌ බලනවා දැක්‌කා. භාරත මහතා බහිනවාත් සමග තවත් දෙතුන් දෙනෙක්‌ ඔහු සමග බැස්‌සා. දුමින්ද මහතා භාරත මහතාට බොහෝ සමීපව කතා කරනවා දුටුවා.

ඒ සමග අපේ අය කියනවා ඇසුණා දුමින්ද මහතාට වෙඩි තැබුවා කියා. වෙඩි තබන කිසිවකු මා දුටුවේ නෑ. දුමින්ද මහතා හෝ භාරත මහතා වෙඩි තබනවා මා දුටුවේ නෑ. මා හට ඇසුනේ වෙඩි හඬ පමණයි. මා විසින් ඒ සමග වාහනය හරවා ගත්තා. දුමින්ද මහතා උඩුබැලි අතට වැටී සිටියා. භාරත මහතා ඔහුගේ ජීප් රථයේ හැංගි හැංගි ඉන්නවා දැක්‌කා. පසුව මා වාහනය වේගයෙන් පසුපසට ගන්නා විට භාරත මහතාගේ වාහනය පාරට දැම්මා. මගේ වාහනය එහි හැපුනා. එහිදී මා දුටුවා භාරත මහතා මැදි කරගෙන දෙදෙනෙක්‌ වෙඩි තියමින් දුවනවා.

මේ වන විට දුමින්ද මහතාව ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් ජීප් එකට දැම්මා. එහි ඇමැති ආරක්‍ෂක පුද්ගලික ආරක්‍ෂක නිලධාරීන් සිටියා. එය ඉදිරියෙන් ගියා. මා ජීප් එකේ පසුපසින් යන විට ටික දුරකින් දුමින්ද මහතාව ගෙන ගිය වාහනය නතර වුණා. එතැන රේඩියෝ පොලිස්‌ කාර් රථයක්‌, පොලිස්‌ ජීප් රථයක්‌ නතර කර තිබෙනවා දැක්‌කා.

එතැන මිරිහාන කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි තෙන්නකෝන් මහතා සිටිනවා දැක්‌කා. එතැනින් දුමින්ද මහතාව මගේ රථයට දාගෙන ජයවර්ධනපුර රෝහලට ගෙන ගියා. එහිදී මා දැක්‌කා මන්ත්‍රීතුමාව ට්‍රොලියේ දාගෙන යනකොට එතුමා චුයින්ගම් එකක්‌ හපමින් සිටියා.

යළිත් ශාන් අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ සාක්‌ෂි දුන් දුමින්ද සිල්වා මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරී මංජුල ප්‍රසාද් හෙට්‌ටිආරච්චි මහතා මෙසේ පැවැසීය.

දුමින්ද සිල්වා මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙක්‌ ලෙස සේවය කරන මා කලක්‌ ඊ.ඒ.පී. පුද්ගලික ආරක්‍ෂක සේවයේ සේවය කළා. ඊට පෙර හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්‌තව සේවය කළා. සේවයට වාර්තා නොකර සිටියදී දුමින්ද සිල්වා මහතාගේ උපකාරයෙන් නීත්‍යනුකූලව හමුදාවෙන් ඉවත් වී ඔහුගේ පෞද්ගලික ආරක්‍ෂක සේවයට එක්‌ වුණා.

සිද්ධිය සිදු වූ දින දුමින්ද මහතා සමග මා තමිල්නාඩුවට ගියා. එහිදී අප සමග ගලබොඩ නමැති අයෙක්‌ හිටියා. ඔහු පාතාල සාමාජිකයෙක්‌ බව පසුව දැනගත්තා. චමින්දත් එතැන සිටියා. ඔහු පච්ච කොටා සිටි මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අයෙක්‌ බව දැනගන්න ලැබුණා.

ඔවුන් සමඟ අප තමිල්නාඩුවෙන් පිටවෙලා මුල්ලේරියාව දෙසට ආවා. එතැනදී සර් එතැන හිටපු ගෑනු කට්‌ටියක්‌ සමග කතාකරමින් මොකද මෙතැන කරන්නේ කියලා ඇහුවා. ඇය ඡන්ද දාන්න ආව බව කීවා. එවිට ඇසුවා කාටද ඡන්දෙ දැම්මේ කියා. ඇය කීවා මගේ මහත්තයාට කියලා. එතකොට කවුද කීවා ඒ සෝලංග ආරච්චිගේ පවුල කියලා. එතැන සිටි පිරිමි අයෙක්‌ගෙන් අපේ කෙනෙක්‌ ඇසුවා "ඇයි ඇයි උඹ ඔරවන්නේ කියා අපේ කට්‌ටිය එතැන හිටපු කාන්තාව තල්ලු කර ගැහැව්වා.

එතැනින් පිටවී එනවිට භාරත මහතාගේ ජීප් රථය හමු වුණා. එහිදී භාරත මහතා බැස විත් දුමින්ද මහතා දෙසට ඇඟිල්ල දිගු කරමින් "මේ අපේ ගම් දනව් හු.... මේවායේ රඟපාන්නේ කොහොමද යකෝ" කියා ඇසුවා.

භාරත මහතා අත උස්‌සනවාත් සමඟ අපේ සර් ගැහුවා. භාරතගේ අත පිස්‌තෝලයක්‌ තිබෙනවා දැක්‌කේ නෑ. එතකොට සර් ගහපු පාරකට භාරත වැටුනා. ඒ සමග ඩෝං ගාලා හඬක්‌ ඇහුණා. අපේ අත ආයුධ තිබුණේ නෑ. ඒ සමග කමාන්ඩෝ සියල්ලෝ දිව්වා. භාරතගේ අයෙක්‌ ආයුධත් අතේ අරං දුවනවා දැක්‌කා. එය රිවෝල්වරයක්‌.

මුහුණේ රැවුල තිබූ අයෙක්‌ භාරතගේ පැත්තට වෙඩි තිබ්බා. දෙමටගොඩ චමින්ද කෑගැසුවා අරූට තියපන් අරූට තියපන් කියලා. ටී 56 න් වෙඩි තිබ්බේ සරත් කියන කෙනෙක්‌.

භාරත මහතා බිම දිගේ ඇදී යන විට චමින්ද කීවා අරූට ගහපන් අරූට ගහපන් කියලා. එවිට සරත් කියන අයෙක්‌ භාරත දෙසට වෙඩි තිබ්බා.

මෙහිදී ඒ. ඩී. කෞෂාන් ධනංජය මධුසංඛ නමැති අයෙක්‌ ද සාක්‌කි දුන්නේය.

වැඩිදුර විභාගය අදට (21 දාට) කල් තැබූ මහෙස්‌ත්‍රාත්වරයා අගතියට පත් පාර්ශ්වය මගින්ද සාක්‌කිකරුවන් ඇත්නම් ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.


Tell a Friend