ගඩාෆි ඝාතනය ( සියදිව් නසා ගැනීම ) සහ ලිබියාවේ අනාගතය


l නිලන්ත ඉලංගමුව සහ කිෂානි වැලිවිටිගොඩ

එක්සත් ජාතීන්ගේ මහා ලේඛම් බෑන් කී මූන් මහතා ලිබියාවේ හිටපු ජනාධිපති මුහම්මර් ගඩාෆි ඝාතනය කිරීම සම්බන්ධයෙන් කියා සිටියේ එය ලිබියාවේ ඓතිහාසික සංක්‍රාන්තියක් ලෙසය. මීට ස්වල්ප වෙලාවකට පෙර ලිබියාවේ අන්තර්වාර ආණ්ඩුව යටතේ මෙහෙයවන ආරක්ෂක බලඇණි විසින් ලිබියානු නායකයා තමන්ගේ උපන් ගම පිහිටි සිර්ටේහී බෝක්කුවක් ඇතුලෙහි සැඟවී සිටියදී අල්ලා ගැනීමෙන් පසු එහිදී මරා දැමූ බව වාර්තා වීම මෙම වසරේ ජගත් ජනමාධ්‍යට වැදගත් වූ ප්‍රධානතම පුවත් අතුරින් එකක් වන බව නිසැකය. ඉරාකයේ ජනාධිපති සදාම් හුසේන් ඇමෙරිකානු හමුදාව විසින් අල්ලා ගනු ලැබුවේ ඔහුගේ උපන් ගම වූ අල් ටික්රිට් හීදී බෝක්කුවක් ඇතුලෙහි සැඟවී සිටියදීය. කෙසේ වෙතත් ගඩාෆි ඝාතනය, ජපානයේ සුනාමි තත්වය මෙන්ම මැයි මාසයේදී පාකිස්තානයේදී අල් කයිඩා සංවිධානයේ නායකයා වන ඔසාමා බින් ලාඩන් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් සීල් භටයින් වෙත භාර වීමෙන් පසු මරා දැමීමට වඩා අවධානය දිනා ගන්නා පුවතක් වනු ඇත. ගඩාෆි සටනේදී මිය ගියේද / එසේත් නොවේනම් භාර වූ පසු මරා දැමුවේද? එසේත් නොවේනම් සටනේදී සිදුවන පරාජය දැක සිය දිවි නසා ගත්තේද යන්න තවමත් නිවැරදි ලෙස හෙළි නොවූ කාරණාවකි. දැනටමත් පාලක අන්තර්වාර ආණ්ඩුව මඟින් නිකුත් කරන පුවත් හැරෙන්නට අදාළ සටන සම්බන්ධයෙන් ස්වාධීන මාධ්‍ය වාර්තා පල වන්නේ නැත. ගඩාෆිගේ අදහස් වලට අනුව මෙන්ම ඔහුව නිතීය ඉදිරියට ගෙන ඒමට අන්තර්වාර ආණ්ඩුව මෙන්ම ඊට සහය වූ බටහිර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ අදහස් සැලකීමේදී ගඩාෆි මිය යාම සියදිවි නසා ගැනීමක් ඔස්සේ බොහෝ දුරට සිදු වූවා විය හැකිය. කෙසේ වෙතත් ජනාධිපති ගඩාෆි මීට අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළ ආකාරයෙන්ම අන්තිම ලේ බිංදුව දක්වා සටන් කොට ඇත. ඔහු ලිබියානු ඉතිහාසය එක් වන චරිතයක් වන බව අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ. නමුත් ලිබියාවේ අනාගතය කෙබඳු වේද? 
 හැත්තෑව දශකයේදී සී. අයි. ඒ. හෙවත් ඇමෙරිකානු එක්සත් ජනපදයේ ඔත්තු සේවය විසින් කර්නල් මොහම්මර් ගඩාෆිගේ මානසික ස්වභාවය ගැන ගැඹුරින් අධ්‍යනය කිරීම සඳහා නිලධාරියෙකු පත් කළේය. ඔහුගේ රාජකාරිය වූයේ ගඩාෆිගේ මානසිකත්වය පිළිබඳව දත්ත එකතු කිරීමය. සාමාන්‍යයෙන් සී. අයි. ඒ. සංවිධානය විදෙස් නායකයින්ගේ මානසිකත්වය පිළිබඳව තොරතුරු රැස් කිරීම ආරම්භ කරනු ලැබූවේ හතලියේ දශකයේ සිටය. කෙසේ වෙතත් පළමු වරට ගඩාෆිගේ මානසිකත්වය ඇතුලත් තොරතුරු 1981 දී ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත විසින් ප්‍රසිද්ධ කරනු ලැබුවේ සී. අයි. ඒ. මූලාශ්‍ර උපුටා දක්වමිනි. එහිදී ගඩාෆී වූ කලී ගැටුම් කාරී මානසිකත්වයක් ඇති තමන් පිළිබඳව ලඝු කොට තැකීමේ මානසික සංකීර්නයකට හිමි කම් කියන්නෙකු ලෙස විස්තර කොට තිබුණි. නමුත් 1994 දී පල කරනු ලැබූ ෆොරියන් පොලිසි සඟරාවට අනුව ගඩාෆි වූ කලී පිස්සු හැදුන නරියෙකු ලෙස හඳුන්වා දී තිබුණි. එම ගඩාෆි තව දුරටත් ජීවතුන් අතර නැත.

ගඩාෆි මරා දැමීම පවතින දේශපාලන ප්‍රවණතාවය හමුවේ තීරණාත්මක සිදුවීමකි. විශේෂයෙන් අරාබියේ දේශපාලන අවදි වීම හෙවත් ඇමෙරිකානු සහ යුරෝපානු ආධාර යටතේ සිදු කෙරුණු වර්ණ විප්ලව මුල් කාලයේදී අහිංසාව මත තීරණය වූවක් වූ අතර එහි ප්‍රථම අදියරේදී එනම් පැරණි සෝවියට් බල කඳවුරුවල බලය බිඳ දැමූ අවදීයේදී හෙවත් ජෝර්ජියාව, යුක්රේනය, කසස්තානය, ලෙබනනය ආදී රටවල ක්‍රියාත්මක වූ ආකාරයට වඩා වෙනස් ස්වරූපයක් ටියුනිසියාව, ඊජිප්තුව, යේමනය, බහරේනය, මෙන්ම ලිබියාවේදී දැක ගත හැකි විය. මින් ඛේදනීයම සිදුවීම වූයේ ලිබියාව තුළය. ලිබියානු නායකයා මරා දැමීම ( ඔහු සිය දිවි නසා නොගත්තේ නම් ) මඟින් ලිබියානු නව පාලනය සිදු කොට ඇත්තේ සංඛේතීය අත්වැරද්දකි. ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර යුතුව තිබුණි.

ලිබියාව වූ කලී අපිකානු මහාද්වීපයේ දළ දේශීය අදායම වැඩිම රට වේ. අනෙක් රටවලට සාපේක්ෂව දුප්පත් කම අඩු රටක් වන අතර එහි ගඩාෆි භූමිකාව සිදු කළ කාර්ය භාරය ලඝු කළ හැකිනම් හැක්කේ ඔහු නීතියේ ආධිපත්‍ය වෙනුවට තම අභිමතාර්ථය ප්‍රමුඛ කොට ගැනීමත් සාදාරණ මැතිවරණ නොපවත්වා වසර 42 යන තෙක් අඛණ්ඩව පාලනය කිරීමත්ය. 
ගඩාෆි සැඟවී සිටි ස්ථානය
කෙසේ වෙතත් ලිබියාව දක්වා පැමිණි විනාශයේ ගමන් මඟ ගැන නැවත හැරී බැලීම වැදගත් යැයි සිතේ. මේ නිසා අප්‍රිකාවේ රාජ්‍යන් රැසක මිලියන ගණනාවක් වූ ජනතාවට වන්දි ගෙවීමට සිදු විය. වර්ෂ 1884 - 1885 දී පැවැත් වූ බර්ලින් සම්මන්ත්‍රණයෙන් පසු යුරෝපිය බලයන් අතර අප්‍රිකාව බෙදී යාමක් සිදු වූ අතර අවුරුදු 20 ක් තුළදී මිලයන 10 ක් පමණ වන සිදු වූ මිනිස් ඝාතන සහ කම්කරුවන්ට මුහුණ පාන්නට වූ වධ හිංසා අධීක්ෂණය කිරීම තුළින් බෙල්ජියම විසින් කොංගෝවට බලපෑම් ඇති කළේය. බ්‍රිතාන්‍ය බලය සුඩානය තුළ ව්‍යාප්ත කිරීමට දැරු උත්සාහයේදී 1189 සැප්තැම්බර් 2 වන දින බ්‍රිතාන්‍ය විසින් සුඩාන වැසියන් 11,000 ක් මරුමුවට පත් කළ අතර 16,000 ක් තුවාල ලැබිය.

මජී මජී නමැති ජනපද නීතියට එරෙහිව ක්‍රියාත්මක වූ කැරැල්ල මැඩපැවැත්වීම සඳහා 1905 සිට 1907 දක්වා කාලය තුළ ජර්මානු හමුදාව 300,00 කට වැඩි පිරිසක් ටැන්සානියාවේදී ඝාතනයට ලක් කෙරින.

1904 දී නැමීබියාව තුළ පැවති කලහකාරී තත්වය මර්ධනය කිරීම සඳහා ජර්මනිය විසින් කණ්ඩායම් එවනු ලැබිය. එම කලබලකාරී තත්වයේදී රණවිරුවන් 65,000 ක් සහ ජනගහනයෙන් 80% පමණ වන නාමා වැසියන් 10,000 ක් ඝාතනයට ලක් විය. එම සිද්ධීන් 2004 වසරේදී ජර්මනිය විසින් සිදු කළ සමුහ ඝාතන පිලිබඳ වගකීම භාර ගත්තාටත් පසුව සිදු විය.

එසේම, 1911 වර්ෂයේ ඔක්තොම්බර් මාසයේදී ඉතාලිය විසින් ලිබියාවේ ට්‍රිපොලි නගරයට බෝම්බ ප්‍රහාර එල්ල කල අතර ට්‍රිපොලි නගරය තුළ ජනපද ස්ථාපිත කිරීම සඳහා ඉතාලි හමුදාවන් එහි ස්ථානගත කරනු ලැබිය. අධිරාජ්‍යට එරෙහි වීම නිසා ඉතාලිය විසින් ලිබියාවේ ට්‍රිපොලි නගර වැසියන් 4 න් 1 ක් සමූල ඝාතනය කළ බව ඔක්තෝම්බර් 26 වන දින මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබිය.

මේ අතර, 1920 සහ 1921 කාලය තුළ බ්‍රිතාන්‍ය ජනපද ක්‍රමයට එරෙහිව ඉරාකයේ කැරැල්ලක් ක්‍රියාත්මක විය . එය මැඩ පැවැත්වීම සඳහා බ්‍රිතාන්‍යය විසින් ඉරාක වැසියන් 10,000 ක් මරුමුවට පත් කළේය.

අප්‍රිකානු ඉතිහාසය රුධිරයෙන් ලියවී ඇත්තේ එලෙසය. ලිබියාව මෙන්ම අනෙකුත් අප්‍රිකානු රටවල් බටහිර බලයේ රූකඩයන් බවට පත් කර ගැනීමට කළ උත්සාහයන් වලදී මිලියන ගණනක් වූ ජනතාව මිය ගියහ. හිටපු ලිබියානු නායක ගඩාෆි ඝාතනය වූ කලී පුවතක් මිස ඉන් ලිබියාව සැබෑ නිදහසක් සහිත වූ සමාජයක් වෙත තල්ලු වේ යැයි සිතීම උගහට වන්නේ එහි බටහිර ආධිපත්‍යට යළිත් නතුවීම අනිවාර්ය සාධකයක් වන බැවිනි. ලිබියානු ආක්‍රමණය පටන් ගත් මාර්තු මාසයේදී මා විසින් ඉදිරිපත් කළ අදහස මෙහිදී උපුටා දැක්වීම වැදගත් වේ, " ........... ගෝලීය දේශපාලනය හැඩ ගැසී ඇත්තේ එලෙසය. ටියුනිසියාවේ සහ ඊජිප්තුවේ දකින්නට නොලැබුණු ආකාරයේ දිග් ගැස්සී ගිය මාරාන්තික අරගලයක් ලිබියාවෙන් දැක ගත හැකි වනු ඇත. එය මහා ඛේදවාචකයක් වනු නියතය. සැබවින්ම ඇමෙරිකානු හමුදා ප්‍රධානි අද්මිරාල් මයික් මුලන් සඳහන් කළ ආකාරයට ලිබියාවේ තත්වය උගුලකට සිරවීමක් හා සමාන වනු ඇත. විශේෂයෙන් ගැටලුව ඇති වන්නේ ගඩාෆි මරා දැමීම හෝ ඔහුට වෙනිසියුලාව හෝ වෙනත් හිතවත් රටකට පැන යාමට හැකිවන ලෙස පසුබිම සැකසීම නොවේ. ගැටලුව වන්නේ ලිබියානු ජනතාව අපේක්ෂා කළ විප්ලවය ඇමෙරිකානුවන්ට හෝ ඊට හිතවත් බටහිර බලකායට කළ හැකිවේද යන්නයි. එය අදාළ බලවේගයට කළ නොහැකි බව මේ වන විටත් ඔප්පු වී හමාරය. ඒ නිසා ලිබියාව විෂයෙහිලා මැජික් බලාපොරොත්තු විය නොහැකිය." එසේම ලිබියාවේ අනාගතය ප්‍රභල අභියෝගයක් වන්නේ එහි ජනතාවට තමන්ගේ සැබෑ අවශ්‍යතාවය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වාතාවරණය නිර්මානය වීමේ සම්භාවිතාවය ඉතා අඩුය. එසේම පාලක ආණ්ඩුවට එරෙහිව එල්ල වන ප්‍රහාර ගඩාෆි මරා දැමීමෙන් පමණක් නවතින්නේ යැයි සිතීම උගහටය. ලිබියානු විපල්වය වූ කලී බටහිර බලයෙන් සන්නද්ධ වූ රුධිරයෙන් නැහැවී ගිය මර්ධනය කේන්ද්‍රය කරගනිමින් සිදු කළ මූසල මෙහෙයුමක් මිස නිදහස කේන්ද්‍රකරගත් ජනතාවගේ විප්ලවයක් නොවේ.


Tell a Friend