කුමන්ත්‍රණ න්‍යායන් සහ ශ්‍රී ලාංකිකයන්


අමිල ගුණරත්න 


මාට නොතේරෙන සහ තේරුම් ගත නොහැකි සෑම සමාජ දේශපාලන ආර්ථික ගැටළුවක්ම කුමන්ත්‍රණ න්‍යායන් සමග පැටලවීම ලංකාවේ දේශපාලකයන්ගේ සිට දේශීය බුද්ධිමතුන් දක්වා පිරිස නිබඳවම කරන කාර්යකි. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ , ලෝක බැංකු කුමන්ත්‍රණ , ආදී වශයෙන් මෙම කුමන්ත්‍රණ විශාල වපසරියකට යටත් වෙයි. මහාචාර්ය නලින්ද සිල්වාගේ සිට මහපොළ අහිමි වූ සරසවි සිසුවා දක්වා පිරිස මෙසේ කුමන්ත්‍රණ න්‍යායන් ගැන කතා කරනු අප අසා තිබේ. දේශපාලකයන් ද කුමන්ත්‍රණ න්‍යායන් ගැන කියති. කුමන්ත්‍රණ න්‍යායන් සහ ශ්‍රී ලංකා දේශපාලනය ගසට පොත්ත මෙන් එකට බැඳී තිබෙන්නකි. අපගේ දේශපාලකයන් බොහෝ දෙනෙකු තුල තිබෙන පැරනොයිඩ ලක්ෂණ මෙම කුමන්ත්‍රණ න්‍යායන් හරහා හඳුනා ගත හැක. නමුත් සමහර දේශපාලකයන් කුමන්ත්‍රණ න්‍යායන් භාවිතා කරන්නේ ජනතාව මුලා කිරීමටය.

1505 සිට 1948 දක්වා විදේශික අධිපත්‍යට යටත් වූ ලාංකික ජනතාව තුල ඇති Xenophobia හෙවත් විදේශිකයන් කෙරෙහි ඇති බිය තේරුම් ගත හැකිය. මෙවැනි භීතිකා විදේශික අධිපත්‍යට යටත් වී තිබු අප්‍රිකාවේ ඇතැම් රටවල් තුලද දැකිය හැකි වෙයි. උදාහරණයක් ලෙස නයිජීරියාවේ ඇතැම් ගෝත්‍රික පෙදෙස් වල ළමුන් සඳහා රෝග වැළැක්වීමට එන්නත් දීමට ප්‍රදේශික දේශපාලකයන් , ආගමික නායකයන්, ගෝත්‍රික නායකයන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කරුණු දක්වමින් විරෝධතා දක්වති. බටහිර නිෂ්පාදනය කරන ලද මෙම එන්නත් මගින් ස්වදේශිකයන් වඳ භාවයට පත් කරන බවට පැරනොයිඩ බියක් පතුරුවා හැර තිබේ. එම නිසා ළමුන් නොයෙකුත් රෝග මගින් අකාලයේ මිය ගියද ළමුන් එන්නත් කිරීම බොහෝ ගෝත්‍රික ජනතාව මැළිකමක් දක්වති. එන්නත් කිරීම ප්‍රවර්ධනය කරන දේශීය සුව සේවකයන් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නියෝජිතයන් ලෙසටද ලේබල් කරති.

කුමන්ත්‍රණ න්‍යායන් ආශ්‍රිත කොට ගෙන ලංකාවේ බොහෝ දේශපාලන වෙනස්කම් සිදුවී ඇත. උදාහරණයක් ලෙස 1971 කැරැල්ල සඳහා මුලික පදනම වැටෙන්නේ ජේ ආර් ජයවර්ධන හමුදා ආණ්ඩුවක් පිහිටවනු ඇත සහ ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ලංකාව ගිල ගැනීමට තැත් කරන්නේ යැයි යන පැරානොයිඩ බිය මතය. බෙන්තොට හෝටලය කළු ගලින් හදන විට එතැන ඇමරිකානු කඳවුරක් ඇති කරන බවද , ඇල්ල වැල්ලවාය මාර්ගය පළල් කරන විට ඇමරිකන් ගුවන් යානා බැස්සවීමට කරන්නක් ලෙසට එකල ජවිපෙ පාක්ෂිකයන් මෙන්ම මෙම කුමන්ත්‍රණ වලට පණ පෙවූ නායකයන්ද තදින්ම විශ්වාස කළහ. වර්තමානයේ ද මෙම කුමන්ත්‍රණ න්‍යායන් ජවිපෙ තුල හිඟ නැත. සෝමවංස - ගුණරත්නම් ගැටුම තුල සීඅයිඒ කුමන්ත්‍රණ , රෝ කුමන්ත්‍රණ මේ දිනවල නිබඳවම ඇසෙති.

එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රීලනිප ද තමන්ගේ පැවැත්මට කුමන්ත්‍රණ න්‍යායන් බොහෝ සෙයින් භාවිතා කොට තිබේ. හැන්සාඩ් වාර්තා කියවන විට 1970 සමගි පෙරමුණු රජය කොතෙක් දුරට කුමන්ත්‍රණ න්‍යායන් මත යැපුනේද යන්න පෙනී යයි. ලාම්පු කලගෙඩි සෙල්ලමේ දී ජේ ආර් ජයවර්ධන නිර්ධය ලෙස කුමන්ත්‍රණ න්‍යායන් මගින් ජනතාව ඇන්දුවේය. සමහර දේශපාලකයන් කුමන්ත්‍රණ න්‍යායන් වල අසත්‍ය බව දැන දැනත් ඒවා පුන්නක්කු සේ ජනතාවට බෙදා දෙති. සමහර දේශපාලන පක්ෂ වල රඳවා පැවැත්ම ඇත්තේ කුමන්ත්‍රණ න්‍යාය පදනම මතය. කල්පිත කුමන්ත්‍රණයක් නිර්මාණය නොකළේ නම් ඔවුනට පැවැත්මක් නැත. බිය සහ සැකය ජනතාවක් ඒකරාශී කිරීමට සහ ඔවුන්ගේ අවනත භාවය කීකරුකම ලබා ගත හැකි මාර්ගයකි. ද්‍රවිඩ නායකයන් ද උතුරේ ජාතිවාදය වැපිරීමට කුමන්ත්‍රණ න්‍යායන් බොහෝසෙයින් යොදා ගත්හ. තරුණ ප්‍රභාකරන් සන්නද්ධ වීමට මෙයද එක් හේතුවක් විය.

වර්තමානයේදී හෙළ උරුමය වැනි පක්ෂ පවා තමන්ගේ පැවැත්මට වරින් වර කුමන්ත්‍රණ න්‍යායන්ට පණ දෙති. සෝම හිමියන්ගේ අපවත්වීම පිළිබඳව අධිකරණ වෛද්‍ය විශේෂඥයන් තිදෙනෙකුගේ වාර්තාවට වඩා ඔවුන්ට ලාභදායක වුයේ අපවත් කරා යන කුමන්ත්‍රණ න්‍යායටය. එසේම කුමන්ත්‍රණ පැටව් ගැසීමද දැකිය හැකිය. උදාහරණයක් ලෙස මෑතකදී ඇති වූ හාල් වල ආසනික් ඇත යන කතිකාව ජෛව ත්‍රස්තවාදය දක්වා දිග් ගැස්සීමට ඔවුන් සමත් වුහ.

සමහරක් බුද්ධිමතුන් ද තමන් තුල ඇති අනාරක්ෂිත බව අනිසි බිය පොදු කුමන්ත්‍රණ න්‍යායන් තුලින් හෙළි දක්වති. මේ සඳහා හොඳම උදාහරණය මහාචාර්ය නලීන් ද සිල්වා ය. ඔහුගේ ලිපි විශ්ලේෂණාත්මකව කියවන විට මෙම අනාරක්ෂිත බව සහ අනිසි බිය පහසුවෙන් හඳුනා ගත හැක. ඔහු සෑම සමාජ ආර්ථික ගැටලුවක් හඳුනා ගන්නේ සහ අර්ථකථනය කරන්නේ කුමන්ත්‍රණ න්‍යායන් තුලිනි. මහාචාර්ය නලීන් ද සිල්වා ඇරුණු කොට ලංකාවේ බොහොමයක් ආචාර්ය මහාචාර්යවරු මෙම කුමන්ත්‍රණ න්‍යායන් තුල පැටලී සිටිති. වරක් දොරමඩලාව වැඩසටහනට සහභාගි වූ එක් මහාචාර්යවරයෙක් බිරින්දෑවරුන් දරුවන් ප්‍රසුත කරන විට සැමියන්ට සුතිකාගාරයට ගොස් තමන්ගේ බිරිඳ ළඟ සිටීමට සෞඛ්‍ය අමාත්යංශය මෑතකදී දුන් අවසරය විග්‍රහ කලේ එය සිංහල බෞද්ධ කමට එදිරිව අධිරාජ්‍යවාදීන් විසින් කල කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙසටය. වැදුම් ගෙයට පිරිමින්ට ඇතුළු වීමට තහනම් තැනක් බව මෙම මහාචාර්යවරයා තර්ක කළේය. එහෙත් අතීතයේ ලංකාවේ පිරිමි වින්ඹුවන් සිටි බව ඔහු දැන සිටියේ නැත.

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ , ලෝක බැංකු කුමන්ත්‍රණ ,සීඅයිඒ කුමන්ත්‍රණ , වතිකානු කුමන්ත්‍රණ ආදිය ලොව නැතුවා නොවේ. එහෙත් තම විචාරාත්මක බුද්ධියේ ඇති ඌනතාවය නිසා සෑම සමාජ ගැටළුවක්ම මෙම කුමන්ත්‍රණ කන්නාඩිය තුලින් බැලීමෙන් සැබෑ කුමන්ත්‍රණ සහ එහි හානිකර බලපෑම ලඝු වී යයි. සමහර දේශපාලකයන් ශ්‍රී ලංකිකයා තුල ඇති විදේශිකයන්ට තිබෙන බිය තම වාසියට හරවා ගැනීමට කිසිදු හිරිකිතයක් නැත. මේ සඳහා අගමැතිවරයා විසින් මෑතකදී කල ප්‍රකාශයක් මගින් කරුණු පෙන්වා දිය හැකිය.

වව්නියාව බීජ ගොවිපළ භූමියේ පැවති ජාතික ගොවි සතිය හා කෘෂිකර්ම ප්‍රදර්ශනය නිල වශයෙන් ජනතාව සඳහා විවෘත කිරීමේ සමාරම්භක අවස්‌ථාවට එක්‌වෙමින් "අනේක දුක්‌ ගැහැට විඳිමින් ශ්‍රී ලාංකිකයා හෙළන ලේ දහඩිය හා කඳුලින් සැප විඳින්නේ විදේශිකයන් බවත්, මෙම යථාර්ථය සියලු ශ්‍රී ලාංකිකයන් අවබෝධ කර ගත යුතු බවත් අගමැති "දි. මු.ජයරත්න මහතා ප්‍රකාශ කොට තිබේ. නමුත් විශ්ලේෂණාත්මකව බලන විට පෙනී යන්නේ ශ්‍රී ලාංකිකයා හෙළන දහදිය කඳුළින් සැපවිඳින්නේ කිසිම වැඩක් නොකොට රට හුරා කන දේශපාලු නඩය බවයි. අගමැතිවරයාගේ කතාව නස්රුදීන්ගේ උපමාවකින් පැහැදිලි කල හැක. එක්තරා කාලයක දුර ඈත ගමක සොරු කණ්ඩායමක් වාසය කළහ. ඔවුන් මිනිසුන් දුක් මහන්සියෙන් වැපුරූ අස්වැන්නේ වැඩිපුර කොටසක් රාත්‍රී කාලයේ නිතරම සොරකම් කිරීමට පුරුදුව සිටියහ. ගොවින් තම අස්වැන්න අඩු වීම ගැන කලබල වූ විට සොර නඩයේ තලතුනා සොරෙක් මෙසේ කීය."නුඹලා මහන්සිවී වපුරන අස්වැන්න සොරකම් කරන්නේ විදේශ වල සිට පියඹා එන පක්ෂින්ය. උන් කිසිදු පපුවේ තෙතමනයක් නොමැතිව නුඹලාගේ දහදිය මහන්සිය සොරාගෙන යයි."

මින් කෝපයට පත් වූ ගොවින් දඬු මුගුරු ගෙන වෙනත් රටවල සිට පියඹා එන සංචාරක පක්ෂීහු එළවා දැමීමට පටන් ගත්හ. නමුත් දුප්පත් ගොවීන්ගේ අස්වැන්න අඩුවීම ඉන් නැවතුනේ නැත. ගොවින් දිනෙන් දින දිළිදුව කෘෂව ගිය අතර සොරමුල සැපසේ පුෂ්ටිමත්ව වැඩුනහ. කුමන්ත්‍රණ න්‍යායන් වල යටි අරමුණද නස්රුදීන්ගේ කතාවේ මෙනි. එමගින් සැබෑ ප්‍රශ්නය ප්‍රශ්නයට හේතුව සහ පිළියම වසන් කරයි.

ලංකාවේ ජනතාව කුමන්ත්‍රණ න්‍යායන් අවිචාරයෙන්ම විශ්වාස කරන ජන කොටසක් බවට සීග්‍රයෙන් පත් වෙමින් සිටිති. එයට එක් හේතුවක් වන්නේ ජනතාවගේ විචාරාත්මක බුද්ධිය ජනමාධ්‍ය ඇතුළු වෙනත් අංශයන් හරහා අඩපන කිරීම මගිනි. සමාජ ආර්ථික ගැටලුවක නියම හේතුව ජනතාවගෙන් වසන් කිරීමට කුමන්ත්‍රණ න්‍යායන් තරම් සාර්ථක දෙයක් නොමැත. එමගින් ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට හැරවිය හැකිය. නිරෝගී විචාරාත්මක බුද්ධිය ඇති ජනතාවක් පාලනය කිරීම අපහසු බව මයිකල් මුවර් පවසා තිබේ. එය සත්‍ය කරුණකි. රටක ජනතාව අවිචාරය විශ්වාස කරන තරමට සහ ලෙහෙසියෙන් බොරුවට රැවටෙන විට එය දේශපාලකයාට, වෙළෙන්දාට , ආත්මාර්ථකාමී පුජකයන්ට මෙන්ම ඊනියා බුද්ධිමතුන්ටද විශාල පහසුවකි.


Tell a Friend