ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙලේ දේශනය වර්ජනය කිරීම

අමිල ගුණරත්න

දර්ශන මේදිස් විසින් ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙලේ දේශනය වර්ජනය කිරීම පිළිබඳව මගේ මිත්‍ර බන්දුල විජේසිරිවර්ධන විසින් විද්යුත් තැපැල් ලිපියක් මා වෙත ඒවා තිබුණු අතර ඔහුගේ අදහස අනුව එය ලාභ ජනප්‍රියතාවය ලැබීම සඳහා මේදිස් විසින් කල ලාමක විරෝධතාවකි. ඔහු පෙන්වා දෙන පරිදි මිට මාසයකට පමණ පෙරදී දර්ශන මේදිස්ට සමන් කුමාරගේ නගාමැරූ අල පොත පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබූ විටකදී ගොඩගේ සම්මාන උළලේ කථාවට සූදානම් විය යුතු බැවින් පැමිණීමට නොහැකි බව ඔහු දන්වා ඇත. මෙම සම්මාන ප්‍රදානෝත්සවය ධනේශ්වර රාජ්‍ය තන්ත්‍රයේ නිල සහභාගිත්වය සහිතව සිදු කෙරෙන බව දැනගැනීම නිසා ගොඩගේ ජාතික සාහිත්‍ය උලෙලේ දේශනය වර්ජනය කිරීමට මේදිස් තීරණය කල බව කීවද එය ප්‍රශ්නාර්තයකට යටත් වෙයි. ඒ මක්නිසාද යත් දැනට වසර ගණනක් පුරා ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙල පැවැත්වෙන අතර ඒ සඳහා සැමවිටම ආණ්ඩුවේ දේශපාලාඥයෙක් සහභාගී වීම සිදු කෙරුණි. මෙය මේදිස් දැන නොසිටියේ යැයි සිතීම උගහටය. එම නිසා ලාභ ජනප්‍රියතාව තකා යටි අරමුණු සහිතව මෙවැනි බෝල් විරෝධතා පැවැත්වීම මගින් සැබෑ විරෝධතාවයන් යට යන බව බන්දුල විජේසිරිවර්ධන පවසයි.

බන්දුලගේ ලිපියේ සෑම කරුණක්ම මම අනුමත නොකරමි. නමුත් මෙම විරෝධතාවය මිට වඩා වෙනස් ආකාරයකින් කිරීමට තිබුන බව යන අදහසට මම එකගය. සාහිත්‍ය උළෙලකට දේශපාලාඥයන්ගේ සහභාගිත්වය එල රහිත දෙයක් වුවද ලකුණු දමා ගැනීම සඳහා මළ ගෙවල් වල පවා රිංගන මෙම භූතයන් ජාතික සාහිත්‍ය උළෙලට සහභාගී වුවා යයි කියා සාහිත්‍යට අමුතු ගැම්මක් හෝ හානියක් සිදු වන්නේ නැත. අනෙක සාහිත්‍ය කන්නදැයි ඇසූ දේශපාලකයන් මෙරටේ සිටි බව මතක් කර ගනු වටී.

යම් ලෙසකින් වෙනත් ආකාරයකින් විරෝධතාවයක් පැවැත්වීමට දර්ශන මේදිස්ට හැකි වුයේ නම් මම වඩාත් සතුටට පත් වෙමි. සාහිත්‍යකරුවන් විරෝධතාව පළ කල යුත්තේ දේශපාලන තන්ත්‍රයට පමණක්ම නොවේ. ඔවුන්ව හුරාගෙන කන පොත් ප්‍රකාශකයන්ටද විරෝධතාව එල්ල විය යුතුය. මේදිස් කියන පරිදි ගොඩගේ ජාතික සාහිත්‍ය උළෙලට ඇමතිවරයෙකු ගෙන්වීමට සිරිසුමන ගොඩගේ මහතා තීරණය කොට ඇත්තේ නගර සභාවෙන් ඉටු විය යුතු සේවාවන් නිසි පරිදි ලබා ගැනීමට පහසු වනු සඳහාය. මෙය කිසි ලෙසකින් අපට අරුමය දනවන පුවතක් නොවේ. බොහෝ පොත් ප්‍රකාශකයෝ සාහිත්‍යකරුවාට වඩා දේශපාලකයන්ට ඔලුව නමති. ඔවුන් සාහිත්‍යකරුවන්ට සලකන්නේ පොල්කුඩු ගානටය.

ලංකාවේ සෑම පොත් ප්‍රකාශකයෙක්ම නිර්මාණකරුවන් හුරා කති. ගොඩගේ මුදලාලි මරදානේ තට්ටු ගොඩනැගිල්ලක් ගැහුවේ මාතරින් සල්ලි අරගෙන ඇවිත් නොවේ. දයාවංස ජයකොඩි සෝම හාමුදුරුවන්ගේ බණ අච්චු ගසා විකිණුවේ ධර්ම දානයට නොවේ, විජිත යාපාගේ සාප්පුවට ලේබකයන්ගේ පොත් දැමු විට ඔහු එම පොත් විකුණු පසු මුදල් නොදී ලේබකයන් රස්තියාදු කරති. මානව සාරාර්ථ ගැන කතා කරන සරත් විජේසුරිය ලේබකයන්ට පොලු තියති, විදර්ශන ප්‍රකාශකයෝ අධිපති ජනක ඉනිමන්කඩ වැඩිපුර පොත් මුද්‍රණය කොට අඩු ප්‍රමාණයක් ලේබකයාට පෙන්වති. මෙකී නොකී වශයෙන් ලංකාවේ සෑම පොත් ප්‍රකාශකයෙක්ම නිර්මාණකරුවාට කොකා පෙන්වා වසරකට වරක් ඔවුන්ට කැරට් අලයකින් සම්මාන දෙති. එම නිසා කලා දඩයමක, අදහස් ප්‍රකාශනයට විලංගු දැමීමක, සහ පොදුවේ ප්‍රජාතන්ත්‍ර අයීතීන් කප්පාදුවක යෙදී සිටින පාලන තන්ත්‍රයට විරෝධය පෙන්වන ගමන් ලේබකයන්ගේ දහදිය මහන්සිය හුරාගෙන කන පොත් මුදලාලිලාට ද විරෝධය පෙන්විය යුතුය.

Tell a Friend