9 ශ්‍රේණියේදීත් විශේෂ විභාගයක් අපොස සා.පෙළ විභාගය විෂය ධාරා 5 ක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි
නිලන්ත මදුරාවල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය විෂය ධාරා පහක් යටතේ වර්ග කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ගණිත, විද්‍යා, කලා, වානිජ හා තාක්‍ෂණික වශයෙන් විෂය ධාරා වෙන් කෙරෙන අතර 9 වැනි ශ්‍රේණියේදී පැවැත්වෙන විශේෂ විභාගයකින් පසුව තමන් 10 හා 11 ශ්‍රේණිවලදී අධ්‍යයනය කිරීමට අපේක්‍ෂා කරන විෂය ධාරාව තෝරාගත යුතුය. ලබන වසරේ හය වැනි ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ගෙන් මෙම ක්‍රමය ආරම්භ කෙරේ. ඒ සඳහා ලබන වසරේදී හය සිට නව වැනි ශ්‍රේණිය දක්‌වා වන විෂය නිර්දේශයන් වෙනස් කිරීමට ද නියමිතය. නව වැනි ශ්‍රේණියේදී පවත්වන විභාගයෙන් අනතුරුව තමන් තෝරා ගන්නා විෂය ධාරාවට අනුව අමතර විෂයන් 3 ක් හැදෑරීමට සිසුන්ට සිදුවනු ඇත. මව්බස, ගණිතය, ඉංගී්‍රසි, විද්‍යාව, බෞද්ධ ධර්මය, ආගම වැනි ප්‍රධාන විෂයයන් හයට අමතරව මෙම විෂයන් තුන හැදැරිය යුතු වෙයි.
මීට අදාළව අධ්‍යාපන ලේකම් එච්. එම්. ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගියදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගේ එකඟතාව ඊට ලැබී ඇත. මෙම මාසයේ මැද භාගයේදී පැවැත්වෙන අධ්‍යාපනය පිළිබඳ උපදේශක කාරක සභාවට ද මෙම නව ක්‍රමය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
1977 වසරට පෙර ද මෙම ක්‍රමය ක්‍රියාත්මක වූ බව එම ආරංචි මාර්ග සඳහන් කෙළේය.

Post a Comment