අමිල ගුණරත්න
ශ්‍රී ලාංකිකයා හෙළන දහදිය කඳුළින් සැපවිඳින්නේ විදේශිකයන් අගමැති දි. මු. (දිරච්ච මුල් ) ජයරත්න පැවසූ බව දිවයින පුවත් පත වාර්තා කරයි. වව්නියාව බීජ ගොවිපළ භූමියේ පැවැත්වෙන ජාතික ගොවි සතිය හා කෘෂිකර්ම ප්‍රදර්ශනය නිල වශයෙන් ජනතාව සඳහා විවෘත කිරීමේ සමාරම්භක අවස්‌ථාවට එක්‌වෙමින් "අනේක දුක් ගැහැට විඳිමින් ශ්‍රී ලාංකිකයා හෙළන ලේ දහඩිය හා කඳුලින් සැප විඳින්නේ විදේශිකයන් බවත්, මෙම යථාර්ථය සියලු ශ්‍රී ලාංකිකයන් අවබෝධ කර ගත යුතු බවත් "දි. මු. ජයරත්න මහතා ප්‍රකාශ කොට තිබේ. නමුත් අපගේ විශ්ලේෂණාත්මක බුද්ධියට පෙනෙන්නේ එය එසේ නොව ශ්‍රී ලාංකිකයා හෙළන දහදිය කඳුළින් සැපවිඳින්නේ කිසිම වැඩක් නොකොට රට හුරා කන ( දිරච්ච මුල් ජයරත්න ද ඇතුළු) දේශපාලු නඩය බවයි.
මෙම පරපුටු නඩය ගැන ඇල්කෙමියා මෙසේ ලියයි. (උපුටා ගැනීම ඇල්කෙමියාගේ වෙබ් අඩවියෙනි ) … නිසි අධ්‍යාපන සුදුසුකම් නැතිව, අත්දැකීම්/පළපුරුද්ද නැතිව, ඉහළම වරප්‍රසාද ලබමින්, පාර්ලිමේන්තුවේ සභා වාරයක වචනයක් හෝ කතා නොකර, ලාබෙට ලැබෙන බත් එක ගිලදමා, කිසිදු වැඩක් නොකර කිසිදු දර්ශනයක් නැතිව වසර පහක් සිට විශ්‍රාම වැටුපක් ගත හැකි ලොවේ එකම තනතුර ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී තනතුරයි. නැති බැරි අය ඇති හැකි අය වන්නට පටන් ගන්නේ ඉන් පසුවයි. බයිසිකලේ ගිය එකා පෙජරෝවේ යයි. හන්දියේ කඩෙන් බඩු ගත් එකා කාර්ගිල්ස් එකට යයි. පැපොල් කෑ එකා – ඇපල් කයි. හොරෙන් කසිප්පු ගහපු එකා බ්ලූ ලේබල් ගහයි. හන්දියේ ටේලර්ගෙන් ඇඳුම් මස්සවාගෙන ඇඳපු එකා හමීඩියාස් යයි. ගෙදර ඇති කරපු වල් බල්ලා වෙනුවට ගෝලඩන් රිට්‍රීවර්ලා එයි. දවල්ට රොටි කෑ පුතා, පීසා නැතුව මරහඬ දෙයි. කොටින්ම කියතොත් පරම්පරා හතක් වත් ගොඩ යයි….
කෙසේ නමුත් දිරච්ච මුල්ට අනුව ශ්‍රී ලාංකිකයා හෙළන දහදිය කඳුළින් සැපවිඳින්නේ විදේශිකයන්ය. මේ කතාව අසන අපට නස්රුදීන්ගේ කතාවක් මතක් වේ. එක්තරා කාලයක දුර ඈත ගමක සොරු කණ්ඩායමක් වාසය කළහ. ඔවුන් මිනිසුන් දුක් මහන්සියෙන් වැපුරූ අස්වැන්නේ වැඩිපුර කොටසක් රාත්‍රී කාලයේ නිතරම සොරකම් කිරීමට පුරුදුව සිටියහ. ගොවින් තම අස්වැන්න අඩු වීම ගැන කලබල වූ විට සොර නඩයේ තලතුනා සොරෙක් මෙසේ කීය.
"නුඹලා මහන්සිවී වපුරන අස්වැන්න සොරකම් කරන්නේ විදේශ වල සිට පියඹා එන පක්ෂින්ය. උන් කිසිදු පපුවේ තෙතමනයක් නොමැතිව නුඹලාගේ දහදිය මහන්සිය සොරාගෙන යයි."
මින් කෝපයට පත් වූ ගොවින් දඬු මුගුරු ගෙන වෙනත් රටවල සිට පියඹා එන සංචාරක පක්ෂීහු එළවා දැමීමට පටන් ගත්හ. නමුත් දුප්පත් ගොවීන්ගේ අස්වැන්න අඩුවීම ඉන් නැවතුනේ නැත. ගොවින් දිනෙන් දින දිළිදුව කෘෂව ගිය අතර සොරමුල සැපසේ පුෂ්ටිමත්ව වැඩුනහ. දිරච්ච මුල් සියාගේ අලුත්ම බයිලාවද මිට දෙවැනි නැත.
Post a Comment