පව්කාරයාට ගල් ගැසීම හෙවත් සෝභිත වැටලීම

ත්‍රිමාණ විසිනි

නෙත් එෆ්.එම්. නාලිකාවේ බැලුම්ගල වැඩසටහන මගින් දිගින් දිගටම රටට විණ කරන සොරුන් පිළිබදව තක්කඩියන් පිළිබදව අණාවරනය කිරීම සිදුකරණු ලැබීය. මේ අතර වඩාත් ජනතාව අතර ජනප්‍රියතාවයට පත් වූයේ ගාල්තැන්න ගාමිණී දේවගැතිතුමා හා රුවන්වැල්ලේ ඒ සෝභිත හිමියන්ය. ගාල්තැන්න ගාමිණී දේවගැතිතුමා සොරෙකු වංචාකාරයෙකු බවට බැලුම්ගලින් පුන පුනා ඔප්පුකර පෙන්වමින් තිබියදීත් ඔහු තවමත් ඔහුගේ හොර ජාවාරම දිගටම කරගෙන යයි. ඔහු මේ වන විට සිය ව්‍යාපාරය කරගෙන යන්නේ ලංකාවේ ඇත්ත කියන රූපවාහීනි නාලිකාවේ පිහිටෙනි. නෙත් එෆ්.එම් නාලිකාවේ ඇසෙන සත්‍ය ජනතාව දැඩිව විශ්වාස කරමින් ගාමිණි දේවගැතියා සොරෙකු වංචාකාරයෙකු බව මුලදී පිලිගනු ලැබීය. නමුත් පසුකාලීනව ඇසෙන සත්‍යයට වඩා බලන සත්‍ය ප්‍රමුඛ වූ බැවින් මේ දේවගැතිතුමා රත්තරන් දෑතින් හමුදාවේ සහයෝගයත් ඇතිව ජනතාවට සහල් මලු බෙදන ආකාරය ස්වර්ණවාහිනියේ ලයිවි ඇට් 8 තුලින් පෙන්විය. ඇත්ත දැන ගන්න ලයිවි ඇට් 8 බලන ස්වර්ණවාහිණී ප්‍රේක්ෂකයාට මේ බලන සත්‍ය ඇසෙන සත්‍යට වඩා ප්‍රබල බව අවබෝධ වූ බැවින් ගාමිණි දේවගැතිතුමා තවමත් ජනතාවට සරණ වන දේවදූතයෙකු බව ජනතාව විස්වාස කරන්නට විය. අවසානයේ නෙත් එෆ්.එම් නම් ශ්‍රව්‍ය මාධ්‍ය ස්වර්ණවාහිනිය නම් ශ්‍රව්‍ය ද්‍යෂ්‍ය මාධ්‍ය ඉදිරියේ පරාජයට පත් විය.

මේ නිසා තවමත් ගාමිණි දේවගැතිතුමා දෙවියන්ගේ නාමයෙන් ස්වර්ණවාහිනියේ පිහිටෙන් ජනතාවගේ රත්රං සොරා ගනිමින් සිටියි. මේ පසුපස තවදුරටත් හබායාම තම රේටින් අඩුවීමට බලපාන නිසා ගාමිණිට සොරා කන්නට ඉඩදී නෙත් නාලිකාව වෙනත් ගොදුරක් සොයා යන්නට තීරණය කළා විය යුතුය. ඒ අනුව ඔවුනට රුවන්වැල්ලේ ඒ සොභිත හමුවිය.

එතැන් පටන් කථාව දිග හැරෙන්නේ වෙනත් ආකාරයකටය. රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා බුදු දහමට කරණ විනාශ සම්බන්ධයෙන් ජාතියේ නාලිකාව බැලුම්ගල හරහා රටටම හෙළි කරණු ලැබීය. එය යූ ටියුබ් එක හරහා ලක්ෂ ගණනක් ඇසුවෝය. එම චීවරධාරියා කාන්තාවන්ට ලිංගික බලහත්කාරකම් වලට කථා කරණ අන්දම මොවුන් විසින් යෙදු කාන්තාවක් මාර්ගයෙන් අණාවරණය කරගනු ලැබීය. මෙහිදී ඔවුන් රටේ සමස්ත සංගරත්නයෙන් ඇයැද සිටියේ මේ චීවරධාරියාගෙන් බුදු සසුන බෙිරා ගන්නට පෙරට එන ලෙසයි. මෙය රටේ විවිධ ජනමාධ්‍ය ආයතන වලට උණු කැවුම් මෙන් විකිණිය හැකි ප්‍රවෘත්තියක් විය. සමහර වෙබ් අඩවි මෙම සංවාදය තම වෙබි අඩවිවල පලකරණු ලැබූවේ නෙත් නාලිකාවට ස්තූතිවන්ත වෙමිනි. අවසානයේ මේ චීවරධාරියාගේ රුවන්වැල්ලේ නිවස භික්ෂූන්වහන්සේලා හා ජනතාව විසින් වටලුනු ලැබීය. මේ පිරිස බලහත්කාරයෙන් මේ සිව් මහල් ප්‍රාසාදයට ඇතුලු වී තමන් නොවිදින සොභිත වින්දා යැයි තමන් සිතා සිටි රහස සොයා මෙම නිවස දෙවනත් කලෝය. එහෙත් අවසානයේ ඔහුනට හමුවූයේ අරක්කු බොතල් සැප සහසු ජීවිතයකට අවශ්‍ය කරණ භෞතික උපකරණ කාන්තා ඇදුම් වැනි දේය. මේවා පෙන්වමින් මෙන්න දෙදහස් පන්සීයක සම්බුද්ධ ශාසනය ඉවරයි යැයි ඔවුහූ මර හඩ තැලුවෝය. සෝභිත නම් තක්කඩියා මේ වන විටත් රට හැර ගොස් හෝ වෙනත් ප්‍රදේශයකට පැනගොස් සිටින බව සැමට අවබෝධ විය. අවසානයේ මෙතෙක් තමන් අත්නොවිදි සොභිත අත්විදි සියල්ල සුණුවිසුණු කර දමා සත්ගුණවත් උපාසක මහත්වරුන් හා කෝටියක් සංවරශීලී භික්ෂූන් වහන්සේලා සතුටින් විසිර ගියහ. ජනමාධ්‍ය ආයතන මෙය තවත් එක් ප්‍රවෘත්තියක් සේ පල කරමින් නිහඩ වූහ.

දැන් සෝභිත නැත. මේ නිසා නිරිමල පිවිතුරු බුදු දහම සුරක්ෂිතය. මෙවැනි තවත් සොභිතලා සිටිනවා නමි සොයා විනාශ කිරීමෙන් ගෞතම බුද්ධ රාජ්‍ය ගොඩ නගන්නට ජාතියේ නාලිකාවට අවස්ථාව උදාවී තිබේ.

බයිබලයේ එන කථාවක් අනුව පවිකාරයාට පලමු ගල ගැසිය යුත්තේ කිසිදාක පවක් නොකළ අයෙකු විසිනිය. මේ සොභිතගේ නිවසේ තිබුන දේවලට සමාන දෑ නොමැති පන්සලක් ලංකාවේ තිබෙනවා යැයි සිතන්නට හැකිද? හාමුදුරුවරුන් මත්පැන් සිගරට් බොන බවත් කාන්තාවන් ඇසුරුකරණ බවත් අත්තකිලමතානු යෝගීව ජීවිතය ගත කරණ බවත් නොදන්නා බෞද්ධයෙකු ඉන්නවා නම් ඔහු ඇස් කන් නෑසෙන අයෙකු විය යුතුය. ඒත් හිටි අඩියේම මේ දේවල් කළ පළමු පුද්ගලයා සොභිත පරිද්දෙන් මෙන්න සම්බුද්ධ ශාසනය ඉවර යැයි කෑමොර දෙන්නේ මන්ද යැයි ඔබ නිකමටවත් හිතුවාද? හාමුදුරුවරුන් දුරාචාරයේ නියැලෙන බවත් තමන් සමග එකට සොට්එක දාන බවත් අපි සමග කීවේ නෙත් එෆ්.එම් මිතුරන්මය.එවිට අප මෙහෙම ගියොත් බුදු දහමටත් වැඩේ හරිනේ දැයි විමසූ විට ඔව් ඉතින් ඒකට අපි මක් කරන්නද?යැයි විමසුවෙත් ඔවුන්මය. අපි දන්නවා හාමුදුරුවරු මෙහෙම තමයි කියලා ජනතාවත් දන්නවා හාමුදුරුවරු මෙහෙමයි කියලා. ඒ වුනත් අපි හැමෝම ඒක නොදන්නවා වගේ ඉන්නවා. මේකට තමයි නරුමවාදය කියන්නේ කියලා අපි කියන විට ඕකට මොකක් කීවත් වැඩක් නෑ. ඕවා නතර කරන්න අපිට තියා ආයේ බුදුහාමුදුරුවෝ ආවත් බෑ කී උදවියම අවසානයේ සොභිත නම් නරුමයාට වැඩේ දී සමිබුද්ධ සාසනය බෙිරා ගන්නට කටයුතු කළ අන්දම කදිමය. මේ නිවසේ තිබූ අරක්කු සිගරට් කාන්තා යට ඇදුම් වලට වඩා වැඩි ප්‍රමාණයක් සොයා ගන්නට තවත් පන්සල් කිහිපක් වැටලීමෙන් හැකිවන බව සහතිකය.

සොම හාමුදුරුවන්ගේ ජනප්‍රිය බුදු දහමත් සමගම ජෝක් එකක් බවට පත්වූ බුදු දහම වර්ථමානය වන විට අසපු බුදු දහම දක්වා රූපාවතරණය වී විකාරයක් බවට පත්ව තිබේ. ඇතැමෙකු සිතන්නේ නගරයේ නොතිබුනාට තවමත් ආරන්‍යවාසි භික්ෂූන් තුල යම් සාරයක් තිබිය හැකි බවයි. නමුත් අකමැත්තෙන් වුවද අපට කියන්නට ඇත්තේ ලංකාවේ අනෙක් සියලු සමාජ හර පද්දතීන් සේම බුදු දහමද ධනවාදී සමාජ ප්‍රපංචය විසින් තමන්ගේ අණසකට නතුකර ගෙන අවසන් බවයි.

පාර්ලිමේන්තුවේ එදා සිටි කොල්වින්ලා ඇන් ඇම් ලා වෙනුවට අද සිටින්නේ රන්ජන්ලා පබාලා මරවින්ලා හා මුතු හෙට්ටිගමලාය. අධිකරණයේ එදා සිටි අපක්ෂපාති ගෞරවනීය විනිසුරන් වූ නෙවිල් සමරනොන් ලා මාක්ස් ප්‍රනාන්දුලා වෙනුවට අද සිටින්නේ සරත් නන්ද සිල්වලාගේ ගොලයන්ය. පොලීසිය රජයේ අතකොලුව වන අතරම හමුදාව රජයේ හදවත වී තිබේ. නීතිය වෙනුවට ව්‍යතිරේකයන් නීතිය බවට පත් කර ගනිමින් හදිසි නීතියෙන් රට පාලනය කරද්දී ජනතාවට ආසනික් හාල්වල සිට බාල සිමෙන්ති දක්වා සියල්ල මිලට ගන්නට සිදුව තිබෙි.

ඉතින් තව දුරටත් සොභිතලා පෙන්වීම මගින් ජාතියේ නාලිකාවට මැජික් කාරයන් වන්නට හැකි වුනත් රටට අවශ්‍ය වන්නේ දේශපාලන වෙසකි. බුදු දහම ඇත්තටම ආරක්ෂා කරන්නට නම් සැබෑ සමාජ ව්‍යපාරයක් රටට අවශ්‍ය බව පිලිගැනීම වැදගත්ය.රුසියානු විප්ලවයෙන් පසු ලෙනින් විසින් මධ්‍යම පල්ලිය පිළිසකර කරන්නට යැයි උපදෙස් දුන්නේ ආගම ජනතාවගේ අධ්‍යත්මික කැඩපත වන බවට මේ ශ්‍රේෂ්ඨ නායකයා පිළිගනු ලැබූ බැවිනි. රටකට අවශ්‍ය වන්නේ සැබෑ නායකයෙකු විනා නිනම්ම නිකම් ජනතා සේවකයෙකු නොවේ. නෙත් එෆ්.එම් නාලිකාවට මෙි රටේ සමාජ වෙනසක් කරන්නට හැකි නම් තවදුරටත් මේ රට වෙනස් කරන්නට සැබැ සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය වන්නේ නැත.

Tell a Friend