කතුවැකිය: "වෝහාරපති" මහින්ද

උගේ නීතිය එකම නිතීය රටේ නීතිය

නීති විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් පිරිනමන ලද ‘වෝහාරපති’ ගෞරව සම්මානය නීති විද්‍යාලීය විදුහල්පති ඩබ්ලිව්. ඩී. රොද්‍රිගෝ මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පිරිනමන අයුරු. ඇමැති රාවුෆ් හකීම් මහතා සහ අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ද මෙහි වෙති. ඡායාරූපය - සුදත් සිල්වා
කොළඹ නීති විද්‍යාලයේ 137 වැනි සංවත්සරය වෙනුවෙන් එම විද්‍යාලයේ පැවැති උත්සවයකදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඊයේ (29 වැනිදා) වෝහාරපති ගෞරව නාමය පිරිනමා ඇති බව අද පුවත්පත වල වාර්තා විය. අදාල වාර්තා වැඩිදුරටත් පේනවා දෙන අන්දමට , නීති විද්‍යාලයේ 100 වැනි කණ්‌ඩායමට අයත් ශිෂ්‍යයකුව සිට මෙරට පුරවැසියකුට අත්කර ගතහැකි ඉහළම තනතුර වන විධායක ජනාධිපතිධුරය දක්‌වා පැමිණි විශිෂ්ට ගණයේ ජන නායකයකු වශයෙන් නීති විද්‍යාලයට අත්කර දුන් ගෞරවය හේතුවෙන් මෙම "වෝහාරපති" ගෞරව සම්මානය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පිරිනැමීමට නීති විද්‍යාලයීය ශිෂ්‍යයන් පියවර ගෙන ඇත. මෙම ගෞරව සම්මානය ජනාධිපති වෙත පිළිගැන්වීම නීති විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. ඩී. රොද්‍රිගෝ මහතා විසින් සිදු කරන ලදී, එය අදාළ පුවත අවසන වන ආකාරයයි.

නීති විද්‍යාලයේ සිදුවන අක්‍රමිකතා පිළිබඳව සියලුම දෙනා දනිති. අදාළ වෝහාරපති සම්මානය මීට පෙර කී දෙනෙකුට පිරිනමා ඇත්තද එසේ ලබා ගත අය මෙරට නීතියේ උන්නතිය වෙනුවෙන් සිදු කළ සේවය කෙබඳුද කියා කීමට තරම් කිසිවක් නැත. ලංකාවේ නමට පමණක් ඇති සහ අධිපතිකාරී ඒකාධිපති බලයට විරුද්ධව පෙනී සිටින්නන් වෙනුවෙන් හෝ තමන්ගේ අයිතිය වෙනුවෙන් ස්වාධීනව පෙනී සිටින අයෙකු මර්ධනයට පමණක් නිතීය ක්‍රියාත්මක වේ. රාජපක්ෂට අදාළ සම්මානය ලබා දීම වූ කලි තවත් එක් දේශපාලන වුවමනා එපාකම් පිරි මසා ගැනීමට අල්ලස් දීමක් මිස වෙනත් ගත යුත්තක් මෙහි නැත.

අදාළ සම්මානය ජනාධිපති රාජපක්ෂට දීමට තරම් කිසිඳු සුදුසුකමක් ඔහුට නැත. එය ඔහුට ලබාදීම වූ කලී නීතියට කරන අවනම්බුවකි. එසේම ඔහු එය දත් විලිස්සාගෙන භාර ගැනීමද විලි ලැජ්ජාවකි. වත්මන් සමාජය තුළ නිතීය වූ කලි සාමූහික ජන කණ්ඩායමක සුඛ විහරණය වෙනුවෙන් එකඟ කර කරගත් පොදු නිර්ණායකයන් වුවත් ලංකාවේ නිතීය වූ කලී රාජපක්ෂගේ නීතිය වේ. එය වඩාත් හොඳින් තේරුම් ගැනීමට ඔහුගේ පුත්‍රයා අදාළ නීති විද්‍යාලයේ විභාගය සමත් වී " හොර ලෝයර්" මහත්තයෙක් වීමම ප්‍රමාණවත්ය. එකී හොරා ලංකාවේ දේශපාලාන භූමිකාව තුළ සිදු කරන තක්කඩි කටයුතු ගැන වැඩි දුරටත් කිව යුතු නොවේ. ජනාධිපති වරයා නීති විද්‍යාලයේ 100 වැනි කණ්ඩායමට ඇතුලත් වීම සහ එහි විභාගයෙන් සමත් වීමද තමන්ගේම පුත්‍රයා සිදු කළ අකාරයෙන් කළේදැයි නොදන්නෙමු. එය ඔහුගෙන්ම ඇසිය යුතු ප්‍රශ්නයකි.

ලංකාවේ පවතින ගැටලුව මෙයයි. මෙවැනි තක්කඩි සම්මාන ප්‍රධාන කටයුතු පෙර දා සිටම පැවතුනි. ඉන් ආයතනයක පැවතිය යුතු ගෞරවය ඉතා පහත ලෙස කෙලසුනු ලැබුවේය. ඉන් සිදු වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තිබු ශක්තිය සහ පිළිගැනීම හීන වී ඊට හොරකම ආදේශ වීමය. වෝහාරපති මහින්ද වූ කලි එකී පට්ටපල් බොරුවේ නිර්මාණයක් පමණි. ඔහුට ඇති කුසලතාවය එකී බොරුව ක්‍රමෝපායිකව හැසිරීමට ඇති හැකියාවයි. නමුත් අවසන් විග්‍රහයේදී මහින්ද අයියාද ඔහුගේ පුතණුවන්ද සුදු සළු පිරි පොරව සිටින හොරුන් දෙදෙනෙකි. ඔහු වටා සොටිමින් ඔහුට සම්මාන පිදීම වූ කලි බලි තොවිලයක යක්ෂයෙකුට බිලි දීම හා සමානය.

Tell a Friend