බිරිඳට බය ලංකාවේ මාධ්‍යවේදීන් පෙම්වතියට හොරෙන් ලව් කරන හැටි


ත්‍රිමාණ විසිනි 


ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්හි සේවය කරන මාධ්‍යවේදීන් අති බහුතරයක් බිරිඳට බය නිසා ඇයට ආදරය කරන බව පෙන්වුවත් ඔවුන් ඇත්තටම ආදරය කරන්නේ පෙම්වතියට බව වාර්තා කිරීමට අපට හැකිව තිබේ.

කරුණාකර මේ ප්‍රවෘත්තිය ගැන කලබල වී ‘පුහුල් හොරා කරෙන් දැනේ‘ ක්‍රමයට තමා කරදරයට පත් නොවී දිගටම කියවන ලෙස අපේ හිතවත් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු.

ලංකාවේ මාධ්‍යවේදීන් බහුතරයක් බිරිඳට හෙවත් ආණ්ඩුවට නැත්නම් කෙළින්ම කිව්වොත් ජනාධිපතිට බයයි. ඒ නිසා කථාවට ඔවුන් කියන්නේ අපි ආණ්ඩුවට ආදරෙයි කියාය. ඔවුන් තම මාධ්‍ය භාවිතයේදී ආණ්ඩුවට පක්ෂපතී වෙයි. එසේ කරන්නේ තමන් පක්ෂපාතී නිසා නොව අනෙක් හැමෝම ආණ්ඩුවට පක්ෂපාතී යැයි ඔවුන් සිතන නිසාය.

නමුත් රහසින් ඔවුන් ප්‍රේමකරන්නේ පෙම්වතියට හෙවත් එක්සත් ජාතික පක්ෂයටය. නමුත් ආණ්ඩුවට හෙවත් බිරිඳට ඇති බය නිසා ඒ බව ප්‍රකාශ නොකරයි. එක්සත් ජාතික පක්ෂය ලගදී බලයට පත්වෙන ලකුණක් නැති නිසා හෙවත් තම බිරිඳගෙන් වෙන් වී පෙම්වතිය විවාහකරගෙන ඇයට ප්‍රසිද්ධියේ ආදරය කිරීමට නොහැකි නිසා ඔවුන් සිටින්නේ කේන්තියෙනි.

එම කේන්තිය පිටවන්නේ එක්සත් ජාතික පක්ෂයට හෙවත් පෙම්වතියට නොයෙකුත් ආකාරයට බැණ වැදීමෙනි. විශේෂයෙන්ම එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පෙරළා ආදරය කරනු වෙනුවට ලෝකය පුරා සංචාරය කිරීම නිසා ඔවුහු කුපිත වෙති.

නව නායකයෙක් හෝ පත්වී එක්සත් ජාතික පක්ෂය කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ ජයග්‍රාහී මාවතට ගෙන එතැයි ඔවුහු බලාපොරොත්තුවෙති. එවැනි වෑයමකට සපෝට් ද කරති. එහෙත් බිරිඳට හෙවත් ආණ්ඩුවට ඒ ගැන ඉව වැටී රවා බැලූ විට ඔවුන් නැවතත් මෙසේ කියා කතු වැකි ආදිය ලියති.

“පිස්සුද ඩාලින්, මම ආදරේ ඔයාට (ආණ්ඩුවට ) නේ. අරකි (එ. ජා. ප. ය ) හරිම නැට්ටුක්කාරි.”

තමාට ආදරේ බව රහසින් ප්‍රකාශ කොට ඇති මාධ්යවේදී පෙම්වතුන්ගේ ආධාරයෙන් පළමුව පක්ෂයේ නායකත්වය ලබා ගෙන දෙවනුව රටේ නායකත්වයට පැමිණීමට උත්සාහ දරන එ. ජා. ප. යේ විකල්ප නායකයන් ගේ සිහින හදිසියේම ‘අහස් ලබ්බක් සේ‘ පොළොවට කඩා වැටෙන්නේ මාධ්‍යවේදී පෙම්වතුන් අවසාන විග්‍රහයේදී ආණ්ඩුවට හෙවත් බිරිඳට බය නිසා ය.

Tell a Friend