පරිපාලන නිලධාරීන් ලෙස හමුදා නිලධාරීන් පත් කිරීම

අමිල ගුණරත්න

මිලිටරිකරණයේ එක් ප්‍රතිපලයක් ලෙස හිටපු හමුදා ජෙනරාල්වරු සහ බ්‍රිගේඩියර්වරු සිවිල් පරිපලනයට අනියුක්ත කිරීම දැන් විලාසිතාවක් බවට පත් වෙමින් තිබේ. පරිපාලන සේවයේ තනතුරු දැන් ක්‍රමක් ක්‍රමයෙන් විශ්‍රාමලත් හමුදා ජෙනරාල්වරු සහ බ්‍රිගේඩියර්වරු අතට පත් වෙමින් පවතියි. මෙහි අතුරු විපාක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන්ටද නොතේරෙන හැඩකි. පරිපාලන සේවය සහ හමුදා සේවය යනු එකක් නොව දෙකකි. පරිපාලන සේවයේ තනතුරු දිය යුත්තේ විශ්‍රාමලත් හමුදා නිලධාරීන්ට නම් ශ්‍රී ලංකා පරිපාලන සේවය විසුරුවා හැර පරිපාලන සේවයේ නිලධාරීන් සහ නිලධාරිනියන් සංචිතයට (සයිබීරියාවට ) යැවිය හැකිය. ජනතාව සමග වැඩ කිරීමේදී නම්‍යශිලීතාව ඉවසීම දැනුම අවශ්‍ය කෙරේ. හමුදා නිලධාරීන් පුරුදුව ඇත්තේ නියෝග දීමටය. එම නිසා ජනතාව සමග සමීපව වැඩ කරන සමහර හමුදා නිලධාරීන්ට කාර්යාලයේ සේවකයන් සහ සේවය සොයාගෙන එන ජනතාව පෙනෙන්නේ තමන්ගේ නියෝග ඉටු කිරීමට බැඳී සිටින සොල්දාදුවන් ලෙසටය. පරිපාලන සේවයට එන බොහෝ විශ්‍රාමලත් හමුදා ජෙනරාල්වරුන්ට සහ බ්‍රිගේඩියර්වරුන්ට ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ දක්වා පාසල් අධ්‍යාපනයක් පමණි. දැනට සිවිල් පරිපාලන සේවයේ සිටින විශ්‍රාමලත් හමුදා නිලධාරීන් 99% ආසන්න පිරිසකට ඇත්තේ අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම් ඇති අය බව බොහෝ දෙනා නොදනිති. උදාහරණ ලෙස ත්‍රිකුණාමල දිසාපති ලෙස සේවය කරන ජෙනරාල් ටී ටී ආර් ද සිල්වා , පුනරුත්තාපන අමාත්‍යංශයේ පරිපාලන නිලධාරියෙකු ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් එල් සී පෙරේරා , හිටපු පුනරුත්තාපන කොමසාරිස් ජෙනරාල් දයා රත්නායක වැනි නිලධාරීන්ට අපොස උසස් පෙළ දක්වාවත් අධ්‍යාපනයක් නොතිබුණු අතර ඔවුන්ගේ අමාත්‍යංශ වල සේවය කල ලිපිකරුවන්ට සහ කළමනාකරණ සහකාරවරුන්ට උපාධි ද තිබුණි. මේහේතුන් නිසා පරිපාලනයේ දී බොහෝ ගැටළු මතු විය.

විකල්ප පුවත්පත හෙළිදරව් කරන අන්දමට මෑතකදී හමුදා කඳවුරු වලට නායකත්ව පුහුණුවට යැවු සමහරක් සරසවි සිසුන්ට අමුතුම අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. එය විකල්ප පුවත්පත පෙන්වා දෙන්නේ මෙසේය.

හමුදා නිලධාරීන් අපට කතා කළේ “ළමයි” යනුවෙනි. ඇතැම් විට එම නිලධාරීන්ට අපේ වයසේම පසුවන්නන් විය හැකිය. අපව “ළමයි” කිරීමටත් ඔවුන් “සර්” කිරීමටත් හේතු වූයේ අප උසස් පෙළ සමත් වීම සහ ඔවුන් උසස් පෙළ අසමත් වීමදැයි මට සිතුණි. ඇතැම් විට එය ඔවුන්ගේ නිල ඇඳුමද වන්නට පුළුවන. මට නැගැණු ලොකුම ගැටළුව වූ සුළු හෝ ගෞරවයකට පාත්‍ර වීමට මේ රටේ පුරවැසියන් ලෙස අපට අයිතියක් ඇති බව කිසිදු දෙමව්පියෙකුට හෝ සිසුවෙකුට මතක් නොවීමයි.

Tell a Friend